වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




නාට්‍ය පෙළ කියවිය යුත්තේ නිෂ්පාදනයක් හැටියටයි

නාට්‍ය පෙළ කියවිය යුත්තේ නිෂ්පාදනයක් හැටියටයි

චාමික හත්ලහවත්ත

චාමික හත්ලහවත්තගේ ‘පඹයයි ළමයයි’ හා ‘ මකරට’ නාට්‍ය පෙළ එළිදැක්ම මේ මස 13 වැනිදා පස්වරු 2.30 සිට පස්වරු 6.00 දක්වා දෙහිවල එස්. ද එස්. ජයසිංහ රඟහලේදී පැවැත්වෙයි. ඒ පැවැත්වෙන කෘති එළිදැක්ම නම්කර ඇත්තේ ‘ළමයින්ට පොතයි, වැඩිහිටියන්ට පොතයි’ යනුවෙනි. මේ කෘති ද්විත්වය එළිදැක්වීමට අමතරව ළමා හා යොවුන් නාට්‍ය දැක්මක් ද පැවැත්වීමටත් නියමිත ය. මෙලෙස සිදුවන කටයුත්ත පිළිබඳ චාමික හත්ලහවත්ත සමඟ ‘සරසවිය’ට කළ කතාබහකි.

නාට්‍ය පෙළ කෘති එළිදැක්ම සිදුවන්නේ ද්විත්ව අදියරකින්. පළමු අදියරේදී සිදුවන එළිදැක්වීම කුමක්ද?

ඒ කාලයේ මා ගුරුවරයකු ලෙස සේවය කළේ ගල්කිස්ස ලලිත් ඇතුලත් මුදලි විද්‍යාලයේයි. එහි සිටින කාලයේ මා ළමා හා යොවුන් නාට්‍ය ගණනාවක් ම නිර්මාණය කළා. ඒ සමස්ත ලංකා පාසල් නාට්‍ය උලෙළ සඳහායි. එහිදි සමස්ත ලංකා නාට්‍ය උලෙළ දහතුනකදී ම ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඒ නාට්‍යවලට හැකියාව ලැබෙනවා. මේ අතරින් හොඳම නාට්‍ය පහක් මුද්‍රණයක් ලෙස එළිදැක්වෙන්නේ ‘පඹයයි ළමයයි’ යන නාමයෙන්. ඒ දිනයේදී ම ඒ කෙටි නාට්‍ය පහ වේදිකා ගත කිරීමත් විශේෂත්වයක්. ‘පඹයයි ළමයයි’ ළමා හා යොවුන් නාට්‍ය දැක්ම සමඟ පොත් එළිදැක්ම ආරම්භ වන්නේ පස්වරු 2.30ටයි. එතැන් පටන් සවස 4.30 දක්වා කාලය ඇතුළත ඒ කාර්ය සිදුවීමට නියමිතයි.

දෙවැනි අදියරේදී සිදුවන නාට්‍යය කෘතිය එළිදැක්වීම පෙළ ගැසී තිබෙන්නේ වැඩිහිටියන් වෙනුවෙන්ද?

දෙවැනි අදියරේදී සිදුවන්නේ ‘මකරට’ වේදිකා නාට්‍ය පෙළ එළිදැක්වීමයි. එය ආරම්භ වන්නේ සවස 4.30ටයි. පස්වරු 6.00 දක්වා දිවෙන මේ කටයුත්ත ආරම්භ වන්නේ ‘මකරට’ වේදිකා නාට්‍ය පිළිබඳ කරන සංවාදයකින්. මේ සංවාදය සඳහා සහභාගි වන්නේ නාට්‍යවේදී කේ.බී හේරත්, කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨාධිපති මංජුලා විදානපතිරණ, මහාචාර්ය මංගල සේනානායක, මහාචාර්ය මංගලිකා ජයතුංග, ප්‍රදීප් චන්ද්‍රසිරි, මාධ්‍යවේදී හා විචාරක සුලෝචන වික්‍රමසිංහ ඇතුළු විද්වතුන් රැසක්. ඒ සංවාදයෙන් පසුවයි පසුවයි ‘මකරට’ වේදිකා නාට්‍යය ඇතුළත් කෘතිය එළිදැක්වෙන්නේ.

‘පඹයයි ළමයයි’ කෘතියට ඇතුළත් කෙටි ළමා නාට්‍ය මොනවාද?

‘ඉතිහාසයෙන් මිනිහෙක්’, ‘පඹයයි ළමයයි’, ‘ලෝකය එනකං’, ‘සඳ ළඟට’, ‘යන්තරේ මන්තරේ’ යන කෙටි ළමා නාට්‍ය පහයි මේ කෘතියට අන්තර්ගතව ඇත්තේ. එහිදි ‘ඉතිහාසයෙන් මිනිහෙක්’ නාට්‍යයේදී සිදුවන්නේ ළමයා පාඩම් කරන විට ඉතිහාසයෙන් මිනිහෙක් ඇවිත් ළමයා සමඟ කතාබහ කිරීමයි. ‘පඹයයි ළමයයි’ කෙටි ළමා නාට්‍ය හරහා වර්තමාන අධ්‍යාපන රටාව නිසා ළමයා උන්මත්තක භාවයට පත්වීම පිළිබඳත්, ඒ හරහා ළමයා කොපමණ පීඩනයට ලක්වන්නේ දැයි යන්නත් විමසනවා. ‘ලෝකය එනකං’ නාට්‍යයේදී සුනාමිය නිසා මුළු ගමම විනාශ වීම නිසා ඉතිරි වුණු කොල්ලන් පස් දෙනෙකු ගම ගොඩනැඟීමට දරන උත්සාහයයි විදහා දැක්වෙන්නේ. මෙහිදි ඔවුන් අතීත සිදුවීම් විස්තර කරමින් කරන කතාබහ අතරයි නිර්මාණය ගලා යන්නේ. මේ විදියට අනෙක් නිර්මාණත් විවිධ තේමා හරහා නිර්මාණය වුණා.

ඔබ ළමා නාට්‍ය නැවත වේදිකා ගත කිරීමට පෙලඹෙන්නේ ඉදිරියේදී ඔවුන් සමඟ රටවටා යන්නට සිතාගෙනද?

අද ළමයින් වෙනුවෙන් බිහිවන වේදිකා නාට්‍ය නිර්මාණ අඩුයි. ඒ නිසා ඉදිරියේ දී ඔවුන් වෙනුවෙන් මේ නාට්‍ය කිහිපය ගම් දනව් කරා වේදිකා ගත කිරීමේ යම් අදහසකුත් අපේ සිතේ පවතිනවා. පාසලේ සිටි කාලයේ දී ඒ කාර්ය කිරීම අපහසු වුණා. එදා සිදු නොවුණු මේ කාර්ය අදවත් ක්‍රියාවට නැංවීමටයි අප සිතාගෙන සිටින්නේ. ඒ කටයුත්ත අප සිදු කරන්නේ ළමයින් පිළිබඳ සිතායි. අධ්‍යාපනික වශයෙන් වැදගත්කමක් තිබෙන මේ නාට්‍ය එලෙස වේදිකා ගත කිරීමත් වඩාත් වැදගත්.

ඔබ නාට්‍ය පෙළ කෘති ලෙසට එළිදැක්වීමට සිතුවේ ළමයින්ගේ රසවින්දනයට යම් බලපෑමක් කිරීම සඳහා ද?

ඒ කාරණයත් එක් හේතුවක්. අධ්‍යාපනික වශයෙන් වැදගත් වීම ඇතුළේ මෙහි තිබෙන වටිනාකමත් මිල කළ නොහැකියි. ඒ වගේම අද පාසල්වල හයේ පන්තියේ පටන් එකොළහ පන්තිය දක්වා නාට්‍ය හා රංගකලාව පිළිබඳ හදාරන දරුවන් රැසක් වගේම ඔවුන්ට උගන්වන ගුරුවරුන් රැසකුත් සිටිනවා. මේ සියලුදෙනාට ම මොනවගේ නාට්‍ය ද කළ යුත්තේ, මොනවගේ නාට්‍ය ද ඉගෙන ගත යුත්තේ යන්න පිළිබඳ අදහසත් නාට්‍ය නැරඹීමෙන් ලබාගත හැකියි. මෙහි තිබෙන විශේෂත්වයක් වන්නේ මේ නාට්‍යවල රඟපාන්නෙත් පාසල් දරුවන් ම වීමයි. කාලයක් මා මෙවැනි නාට්‍ය කිරීම සඳහා ළමයින් පුහුණු කළා. ඔවුන් වගේම මෑතකදී පුහුණු කළ පාසල් ළමයින් පිරිසකුත් මේ වේදිකා නාට්‍යවල රංගනයට සහභාගි වනවා. එහිදී උසස් පෙළ හදාරමින් සිටින හා හදාරලා අවසන් වුණු දරුවන් ද ඊට ඇතුළත්. ඒ මඟින් අධ්‍යයනයේ යෙදෙන අයට පහසුවක් සැලසෙන අයුරිනුයි මා මේ ළමා කෙටි නාට්‍ය කිහිපය වේදිකා ගත කිරීමට සිතාගෙන සිටින්නේ.

මේ කෙටි නාට්‍ය පෙළ එක්තරා වයස් සීමාවක ළමයින් පිරිසකට සීමාවක් දැක්වීමක් සිදුවනවා ද?

එහෙම වන්නේ නැහැ. ඕනෑම දරුවෙකුට මේ නාට්‍ය පෙළ රස විඳීය හැකියි. වැඩිහිටියන්ට වුණත් මේ නාට්‍ය පෙළ කියැවීමෙන් දරුවන් පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත හැකියි.

ඔබ ‘මකරට’ නාට්‍ය පෙළ කෘතියේ දී නාට්‍ය පෙළට අමතරව තිරය පිටුපස සිදුවන අනෙක් කාර්ය පිළිබඳත් විස්තර කිරීමට විශේෂ හේතුවක් තිබෙනවා ද?

නාට්‍ය පෙළ පමණක් අඩංගු කරමින් කෘතියක් එළිදැක්වීම ඇතුළේ අප යම් ස්ථානයකට කොටුවන බවයි හැඟෙන්නේ. එවිට ඒ නිර්මාණය සඳහා දායක වූ අනෙක් නිර්මාණකරුවන් ගැන සඳහන් වන්නේ නැහැ. එසේ නොවිය යුතු බවයි මගේ හැඟීම වුණේ. ඒ නිසා මා නාට්‍ය පෙළට ම පසුතල, රඟපෑම, නිෂ්පාදනය ඇතුළු අනෙකුත්, නාට්‍යයකට අවශ්‍ය සියලු ම අංශවලට අදාළ ලෙස ලියන ලද ලිපි කිහිපයකුත් ඇතුළත් කිරීමට උනන්දු වුණා. එලෙස මා කළේ නාට්‍ය පෙළක් කියවන පාඨකයාට පිටපතෙන් පමණක් නාට්‍යයක් තේරුම් ගැනීමට නොහැකි නිසයි.

ඔබ අදහස් කරන්නේ නාට්‍ය පෙළක් යනු සාහිත්‍යමය පෙළක් පමණක් නොවන බව ද?

නාට්‍යයක් කියන්නේ සාහිත්‍යමය පෙළක් පමණක් නොවෙයි. එය නිෂ්පාදනයක් ලෙස එළියට පැමිණීමේ දී සිදුවන වෙනස්කම් මේ නාට්‍ය පෙළ කියවන පාඨකයාට පැහැදිලි විය යුතුයි. උදාහරණයක් විදියට මගේ නාට්‍ය නිර්මාණ දෙස බැලුවොත් මා ලියූ නාට්‍ය පිටපත් නිෂ්පාදනයේ දී බොහෝ වෙනස්කම්වලට ලක් වූ බව පැවසිය යුතුයි. රචකයා ලෙස මා නාට්‍ය පෙළ එළි දැක්වුවත් එහි පෝෂණය වීම පිටුපස බොහෝදෙනා සිටින බව පාඨකයන් හඳුනා ගත යුතු කාරණයක්. නැතිනම් බොහෝදෙනා සිතාගෙන සිටින්නේ නාට්‍ය රචකයා විසින් ලියන ලද පිටපත ඒ ආකාරයෙන් ම නිර්මාණයට දායක වන බවයි. එය එහෙම නොවන බව හැඟවීමටයි මා නාට්‍ය පෙළට මෙවැනි අමතර ලිපි කිහිපයක් එකතු කිරීමෙන් සිදු කළේ.

ඔබගේ නිර්මාණවල සාර්ථකත්වය පසුපස රැඳී තිබෙන්නේ ඒ රහස නොසඟවා හෙළි කිරීම ද?

මගේ නාට්‍ය සාර්ථක වුණා නම් සාර්ථක වූයේ මා එලෙස නාට්‍ය පිටපතට වැඩ කිරීමට ඉඩ තබා නාට්‍ය පිටපත ලියන ලද නිසයි. ඒ වගේම නිෂ්පාදනයේ දී ඒ කාරණාවලට නම්‍යශීලී වී වෙනස් කිරීම නිසාත්, අවශ්‍ය ආකාරයට පිටපත කපා කොටා ශුද්ධ කළ නිසයි වඩාත් හොඳ නිර්මාණ බිහිවුණේ. නිතරම නාට්‍ය පිටපත බෝම්බයක් දමා පුපුරුවා හරිමින් නිෂ්පාදනයට අවශ්‍ය ආකාරයෙන් ගොඩනැංවිය යුතු බවයි මා පවසන්නේ. ඒ මඟින් අවසානයේ හොඳ නිෂ්පාදනයෙන් හොඳ නාට්‍ය පිටපතක් නිර්මාණය වී තිබෙනවා. මේ නිසා නාට්‍ය යනුවෙන් මා අදහස් කරන්නේ සාමූහික කාර්යයක් බවයි.

වර්තමානය වන විට නාට්‍ය පිටපත සාහිත්‍යමය පිටපතක් වී අවසන් නේ ද?

නාට්‍ය පිටපතක් සාහිත්‍යමය පිටපතක් ලෙස සියල්ලන්ට ම කියැවීමට තිබීම වැදගත්. ඒ මඟිනුයි නාට්‍ය සාහිත්‍යයක් බිහිකළ හැක්කේ. එහෙත් මා මේ සාහිත්‍යමය නාට්‍ය පිටපතට නිෂ්පාදන කොටස ඇතුළත් කරන ලද්දේ අනාගතය පිළිබඳ සිතලයි. එනම් දිනෙක මේ පිටපත සාහිත්‍යමය නාට්‍ය පෙළක් ලෙස සලකා නාට්‍ය වේදිකා ගත නොවුණොත් එය ගැටලුකාරී තත්ත්වයක්. ඒ නිසයි මා නාට්‍ය පෙළට නිෂ්පාදන කාර්ය ඇතුළත් කරන්නේ. කෙදිනක හෝ ඒ නාට්‍ය පෙළ කියවන නිර්මාණකරුවකු එය නිෂ්පාදනය කිරීමට සිතුවොත් ඔහුට නිවැරැදි ලෙස ඒ නිර්මාණය කර ගැනීමට හැකිවේවි. එවිට ඔවුන් එවැනි නාට්‍ය පෙළක් කියවන්නේ නිෂ්පාදනයක් විදියටයි. එයයි විය යුත්තේ.

එහෙත් අද බිහිවන බොහෝ නාට්‍ය පෙළට ඔබ පවසන අයුරින් නිෂ්පාදන කාර්ය ඇතුළත් කරන්නේ නැහැ?

නිෂ්පාදන කාර්ය පිළිබඳ ලිවීම පහසු නැහැ. එය බරපතළ කාර්යයක්. එය සිදු කළේ කාර්ය බහුල ශිල්පීන් රැසකුත් මගේ ඉගෙන ගන්න ශිෂ්‍යයන්ගේත් මූලික උදව්වෙන්. ඒ සඳහා මගේ ශිෂ්‍යයන්ට ස්තුති කළ යුතුයි. මෙහි තිබෙන භාරධුර බව නිසාමයි බොහෝ නිර්මාණකරුවන් නාට්‍ය පෙළ කෘතියක් බවට පත් කිරීමේ දී නිෂ්පාදන කාර්ය ඇතුළත් නොකරන්නේ. එහෙත් මා එය සාර්ථකව කළ බවත් හැඟෙනවා. මගේ ඊළඟ නිර්මාණයේ දී ඊටත් වඩා සාර්ථකව ලියැවුණු නිෂ්පාදන කාර්ය දැක්වීමක් ඇතුළත් කිරීමට සිතාගෙන සිටිනවා. මේ කාර්ය කිරීමේ දී මට උදව් කළ ගුණසේන සහ සමාගමත් මා මෙහිදී සිහිපත් කළ යුතුයි. ඔවුන් නාට්‍ය පෙළ මුද්‍රණය කිරීමට භාර නොගන්න මගේ සිතේ තිබුණු අදහස සිහිනයක් වීමටත් ඉඩ තිබුණා. ඒ නිසා මා වේදිකාවට ආදරය කරන සියල්ලන්ට ම ආරාධනය කරන්නේ වෙනස්ම විදියේ කෘති එළි දැක්වීමකට සහභාගි වී වෙනස් ම අත්දැකීමක් විඳගන්න කියලයි.