වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

ගෙදර ගෑස් කාන්දුවෙන් අනතුරට ලක් වූ ගීතාගේ තත්ත්වය සුව අතට

හදිසි අනතුරකට ලක්ව පිලිස්සුම් තුවාල ලැබ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින සම්මානනීය නිළි ගීතා කුමාරසිංහ මේ වන විට යම්තාක් දුරට සුවය ලබමින් සිටින බව අප කළ විමසීමකදී ඇගේ එකම සහෝදරයා වූ තිලක් කුමාරසිංහ පැවසීය. ඉකුත් පළමුවැනිදා සවස නිවසේ ඇති වු ගෑස් කාන්දුවක් හේතුවෙන් ගීතා මෙලෙස අනතුරකට ලක් විය. ඇගේ අත් සහ පාදයකට තුවාල වී තිබිණි. නාවල පිහිටි ඇගේ නිවෙසේදී මෙම ගෑස් කාන්දුව සිදුව තිබේ. ගීතා මේ වන විට එම පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි. දැනට එම ඒකකයෙහි ප්‍රතිකාර ලැබුව ද ඇයට බරපතළ තත්ත්වයක් නැති බව තිලක් වැඩිදුරටත් පැවසීය. ගීතාගේ සුවදුක් විමසා බැලීමට බොහෝ දෙනෙකු පැමිණීම හේතුවෙන් විෂබීජයක් ඇයට ශරීරගතවේ යැයි බියෙන් වෛද්‍යවරුන් ගීතාව දැඩි සත්කාර ඒකකයේ තබා ඇති බව තිලක් අවසන සඳහන් කරලීය.

අපට කවදත් හිතැති ගීතා කුමාරසිංහට සරසවිය ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරයි.


රුක්මණී සංගමයට ජනපති ඇස

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් සනත් වීරසූරිය මහතා විසින් රුක්මණී දේවි අනුස්මරණ සංගමයේ නිලධාරීන් සමඟ පසුගිය අගෝස්තු 26 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පත්වන ලදී.

ඊට සහභාගී වූ ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් සනත් වීරසූරිය, කලා කටයුතු උපදේශක, අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක, සංගමයේ නිර්මාතෘ, සභාපති හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් ඡායාරූපයේ වෙති.

මෙම සාකච්ඡාවට රුක්මණී දේවි අනුස්මරණ සංගමයේ නිලධාරීන් විසිතුන් දෙනෙකු සහභාගී වූහ.


කීර්තිගේ සීතල යුද්ධය වැඩ ඇරඹේ

කිර්ති බණ්ඩාරගේ නවතම සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගියදා දලුගම සරසවිය චිත්‍රාගාරයේදී පැවැත්විණ. සීතල යුද්ධය ලෙසට නම තබා ඇති එය බ්‍රිගේඩියර් ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. කරුණාරත්නගේ සම නිෂ්පාදනයකි. වසන්ත කුමාරසිරි, අනූෂා දමයන්ති, චිලී තිවංක, නුවංගි ලියනගේ, උපතිස්ස බාලසූරිය, ප්‍රසන්න ෆොන්සේකා, රමණී ෆොන්සේකා, දයානන්ද හේවගේ, උපුල් විරසිංහ, සමන් අල්මේදා, සැනෙට් දික්කුඹුර, සුගත් මොරගහකුඹුර, මෝමන් පළිහවඩන ආදී නළු නිළියන් රංගනයේ යෙදෙති.

ආර්. පී. තිස්ස විධායක නිෂ්පාදනයෙන් දායක වන මෙහි ආර්. පී. අනුර සහ නිහාල් නන්දන පෙරේරා නිෂ්පාදන සහායකයන් ලෙස කටයුතු කරයි. දිනේෂ් කුමාර කැමරා අධ්‍යක්ෂවරයාය. රංජිත් නවරත්නගේ සංගීත අධ්‍යක්ෂණයකි. රවී චන්ද්‍රසිරි සටන් අධ්‍යක්ෂවරයාය. කමල් තිලකරත්න කලා අධ්‍යක්ෂණයෙන් ද, තුෂාර ජාගොඩ අංග රචනයෙන් ද, චින්තක පතිරණ නිෂ්පාදන කළමනාකරණයෙන් ද දායක වෙති. තිලකරත්න ලියනගේ සහාය අධ්‍යක්ෂවරයාය. නිරෝෂා විරාජිනි සමඟ දමයන්ති ජයසූරිය ගීත ගායනයෙන් එක්වෙති. ධම්මික සල්වතුර සමඟ කීර්ති බණ්ඩාර ගීත රචනා කොට තිබේ.


පතිරාජගේ ස්වරූප හෙට එයි

ආචාර්ය ධර්මසේන පතිරාජ විසින් අධ්‍යක්ෂණය කරන ලද ඔහුගේ නවතම සිනමාපටය වන ස්වරූප මෙම මස 08 වැනිදා සිට එනම් හෙට සිට රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීම ආරම්භ වේ. ඩබ්ලිව්. ජයසිරි, නීටා ප්‍රනාන්දු, ලක්ෂ්මන් මෙන්ඩිස්, විමල් කුමාර ද කොස්තා, චමිලා පීරිස්, ප්‍රියා රණසිංහ, විශ්වජිත් ගුණසේකර, තුසිත ලක්නාත්, දයා තෙන්නකෝන්, රිනී ද සිල්වා, ඩී. බී. ගංගොඩතැන්න, සංගීතා පල්ලියගුරුගේ, ඩී. රම්‍යා මෙහි රංගනයේ යෙදෙයි. ආචාර්ය ධර්මසේන පතිරාජ සමඟ එරික් ඉලයප්ආරච්චි මෙහි තිර රචනය කොට ඇත. මොහාන් මාබෝටුවන ස්වරූප හි නිෂ්පාදකවරයා වේ.


ඈෂ්ලි ආසියා පැසිපික් සිනමා ජූරියට

ආසියානු සිනමා කේන්ද්‍රයේ සභාපතිවරයා සහ ආසියා පැසිපික් සිනමාවේ සංවර්ධනය සඳහා වූ නෙට්පැක් නැමැති ජාත්‍යන්තර සංවිධානයේ විධායක අධක්‍ෂකවරයා සහ ජූරි සම්බන්ධීකාරක වූ ඈෂ්ලි රත්නවිභූෂණ රුසියාවේ ව්ලැඩිවොස්ටොක් නගරයේ පැවැත්වෙන ආසියා - පැසිපික් සිනමාව පිළිබඳ වූ 15 වැනි ‘‘පැසිපික් මෙරීඩියන් ’’ සිනමා උලෙළේ නෙට්පැක් ජූරියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමට නිමිතය.

එම ජූරියේ ඔහුගේ අනෙකුත් සාමාජිකයන් වන්නේ ඉන්දුනීසියාවේ ප්‍රමුඛ පෙළේ සිනමාකාරියක වන රත්නා සරුම්පත් සහ රුසියාවේ ප්‍ර‍කට සිනමා සරසවියක් වන මොස්කව් හි ඍට්ධ්ම් සහ ලොමොනොසොව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සිනමා තිර රචනය පිළිබඳ මහාචාර්යවරයා වන වෙස්වොලොද් කොර්ෂොනොව්ය.

ඇෂ්ලි පසුගිය සරසවිය සම්මාන උලළේ ජූරි සභාපති ලෙසද කටයුතු කළේය.


කවරයේ කතාව

අද කවරය සැරසෙන්නේ විනූ සිරිවර්ධනගේ රුවිනි. රූ රැජන තරගාවලියක් ඔස්සේ කලා ක්ෂේත්‍රයට පැමිණි ඇය මේ වන විට ටෙලි නාට්‍ය, සිනමාව සහ වේදිකාව යන අංශය ත්‍රිත්වයේම දස්කම් දක්වන්නීය. මේ දිනවලදී දෙව්ලියේ ටෙලි සිතුවම හරහා ඔබට සමීප වන ඇය ඇහැළේපොල කුමාරිහාමි සිනමා නිර්මාණයේ කැපී පෙනෙන චරිතයකින් සිනමාවේ ද නමක් තැබීය.