වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




TOILETS සහ POLITICS

TOILETS සහ POLITICS

ඉන්දියාව ලෝකයේ කවර තරමේ බලවතෙකු වුව ද හින්දි චිත්‍රපට කවර තරම් විභූතිමත් ලෝකයක් ගෙන හැරපෑව ද ඉන්දියාව ගැන සිතූ සැනින් සිහියට නැගෙන්නේ මහ පාරේ වුව ශරීර කෘත්‍ය කරන්නා වු රටක් යන අප්‍රසන්න හැඟීමය. කවර තරමේ දියුණුවක් ලැබ්ව ද ඉන්දියානුවන්ගේ එකී පුරුදු මකවා හෝ හදා ගත නොහැකිය. මේ සම්බන්ධයෙන් ඉන්දියානු ප්‍රභූවරුන් උපහාසයට ලක් කළ යාං හෑලි ද එමටය. කෙසේ වෙතත් ටොයිලට් එක් ප්‍රේම් කතා නම් සිනමා කෘතිය ඉන්දියාව වෙලා ගත් මෙම ගැටලුවේ එක් පාර්ශවයක් හෙළි කරන ලද්දේ ඉතා සියුම් සමාජ විවරණයක් හා නිර්දය සමාජ විවේචනයක් සමඟය. සංස්කරණ ශිල්පියකු ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළ ක නාම යෝජනා ලත් ශ්‍රී නාරායන් සිං ගේ මුල්ම සිනමා කෘතිය වන ටොයිලට් එක් ප්‍රේම් කතා සිනමාකරුවක් සතු විය යුතු ද්වේෂයෙන් තොර සමාජ විවරණය පමනක් නොව ඒ සඳහා ඔහු උපයෝගී කර ගන්නා සංයමය ද මනාව ඇගයිය යුත්තක් ව පවතී. වෙනත් සිනමාකරුවකු අත සමාජ විවරණය කොයි හැටි වෙතත් ඉතා අප්‍රසන්න හැඟීමක් ගෙන දිය හැකි වැසිකිළි මාතෘකාවක් විටෙක හාස්‍යෙයන් ද විටෙක අනුකම්පාවෙන් ද ගොඩ නැගීම සිනමාකරුවාගේ සමාජ දෘෂ්ටිය පෙන්නුම් කෙරූවකි. සංස්කරණ ශිල්පියක් සිනමා අධ්‍යක්ෂණයේ දී තමන් ම එකී කාර්යන් ද්විත්වයම පවරා ගැනීම යනු අතුරේ යන කාර්යයකි.ටොයිලට් එක් ප්‍රේම් කතා චිත්‍රපටය පුරා ද එම දෝෂය දැක ගත හැකි වෙයි.

චිත්‍රපටය සත්‍ය සිදුවීමක් පාදක කොට තැනූවක් බැව් ආරම්භයේම කියා සිටියි. ඒ ඉන්දියාවේ මධ්‍ය ප්‍රෙද්ශයේ ජීවත් වන අනිතා නරේ නම් කාන්තාවක් වැසිකිළියක් නොමැති වීම නිසා සිය සැමියා ගේ නිවස හැර යෑමේ පුවතයි. වාර්තා සිනමාකරුවකු වන ප්‍රවීන් උවයිස් චිත්‍රපටයේ කතාව සිය මනිනි නම් වාර්තා චිත්‍රපටයෙන් හොරා ගත්තක් බවට චෝදනා කරයි.

සිනමාකරු සිය චිත්‍රපටය සඳහා පාදක කර ගනුයේ ඉන්දියාවේ මන්දාගොන් නම් ගම්මානයයි. එය එ ගම දුම්රිය පොළ මගින් අපට පෙන්වා දෙනු ලබයි.එම ගම්මානය ඉන්දියාවේ වඩාත්ම ඉක්මනින් දියුණුවට පත් වන ප්‍රාන්තයක් ලෙස සැලකෙන චතිශ්ගාර් ප්‍රාන්තයේ පිහිටියකි. මන්දාගොන් දුම්ර්ය පොළෙහි ශීඝ්‍රගාමි දුම්රිය මිනිත්තු හතක් නවතා තබන්නකි. දුම්රියක් යනු සම්ප්‍රදාය ඇතුළත අලුත් යුගයක් දක්නා සංකේතයකි. ඉතා තදින් මුල් බැස ගත් ආගමික සිරිත් සතු ගැමියෝ තම නිවසේ වැසිකිළියක් තැනීම පාපයක් ලෙස සලකති. එහෙත් ශුද්ධ වූ ගවයා ට නිවස ඇතුළත ඇත්තේ ඉතා වැදගත් තැනකි.

චිත්‍රපටයට පාදක වනුයේ කේශව් නම් නිසි වයස එළැඹුණ ද සිය පියා විසින් අපල යැයි සළකා විවාහය පසු කළ තරුණයකු වටාය. අපලය දුරු වීම සඳහා ඔහු විවාහ කර දෙනුයේ එළ දෙනකටය. (පුදුමයක් නොවේ.අභිෂේක් බච්චන් සමග විවාහයට පෙර අපල දුරු කිරිමට අයිශ්වර්යා රායි විවාහ කර දුන්නේ ගසකට ය) එහෙත් සියල්ල වෙනස් වනුයේ අලුතින් සිතන්නට දන්නා ඉංග්‍රිසියෙන් ඉගෙන ගත් ජයා නම් යුවතිය මුණ ගැසිමත් සමගය. එම චරිතය සඳහා සිනමාකරු තෝරා ගන්නේ සම්ප්‍රදායික ජනප්‍රිය නිළියක නොව යාශ් රාජ් සමාගමේ නළු නිළියන් තෝරා ගැන්මේ වසර ගණනාවක් කටයතු කළ භූමි පෙදන්කාර්ය. සම්ප්‍රදායික ජනප්‍රිය නිළියක යෙදුවා නම් සිනමාකරු සහමුලින්ම ඇද ගෙන වැටීම නොවැළක්විය හැක. කේශව්ගේ චරිතය සඳහා ඉන්දියාවේ ජනප්‍රිය නළුවන් කිහිපදෙනෙකු කරා ගිය ද ඔවුන් එය මග හැර ගිය වග වාර්තා වෙයි. අක්ෂේ කුමාර් නොපැකිළිවම එය බාර ගත්තේය.

කේශව්, ජයා විවාහ කැර ගනුයේ මහත් උප්පරවැට්ටි රාශියක් දමමිනි. ගැටලුව මතු වනුයේ ඇය නිවසට කැන්දා ගෙන පැමිණි පසුවය. නිවසේ වැසිකිළියක් නැත.රාත්‍රියේ සැමියා සමග මංගල යහනේ සිටින බිරිඳ පුබුදුවා ලනුයේ අසල් වැසි ගැහැනුන් විසිනි.ඒ වැසිකිළි යෑමට අසල වන පෙතට යන්නටය. චාරිත්‍රානුකූල දැඩි මතධාරියකු වන කේශව් ගේ පියා නිවසේ වැසිකිළියක් තැනීමට විරුද්ධය. එයට පෙර පිරිමින් විසින් කිසිදු අපහසුතාවයකින් තොරව මහ දහවලේ වුව ප්‍රසිද්ධියේ ශරිර කෘත්‍ය කරන අයුරු සිනමාකරු සියුම්ව පෙන්වා දෙයි. චිත්‍රපටය ආරම්භයේ ම ගැමි ගැහැනුන් කුකුළා අතින් අරන් අසල වන රොදට පියමං කරන අයුරු මගින් ද සිනමාකරු කේශව් මුහුණ දිය හැකි අකරතැබ්බය ගැන ඉඟි කරවයි. මෙහි තිර රචනය සංජේ ලීලා බන්සාලි ගේ ගලියොන් කී රාස් ලීලා රාම් ලීලා චිත්‍රපටයේ තිර රචනය කළ සිද්ධාර්ත් සිං සහ ගරීමා වාහල් දෙ‍දෙනාගෙනි. ගැහැනුන් මෙම සමාජ සම්ප්‍රදාය ඇතුළත කවර තරම් මානුෂිය ගැටලුවකට මුහුණ දෙන්නේ ද යන්න පුන පනා නොකියන සිනමාකරු එම භිෂණාත්මක හැඟිම අප වෙතට කා වැද්දිමට සමත් වෙයි. එය භීෂණයක් ලෙස ම විසින් හඳුන්වනුයේ එබදු ඉරණමකට අප මුහුණ පෑවොත් යන ආකල්පය සිත් හි දරා ගෙනය.

කෙසේ වෙතත් ටොයිලට් චිත්‍රපටය නිර්මාණය කිරීමේ දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි විසින් ක්‍රියාත්මක කරනු ලබන ස්වාච් භාරත් අභියාන් වැඩ පිළිවෙළ නැතහොත් ඉන්දියාව පිරිසිදු කරවීමේ වැඩ පිළිවෙළට ඉන් සහායක් ලබා දෙන බව සිනමාකරු පවසයි. ඒ අනුව මෙම චිත්‍රපටය දේශපාලන න්‍යාය පත්‍රයක් සඳහා යොදා ගත්තක් වෙයි. එහෙත් එය සිනමා කෘතියන් විනා දේශපාලකයන් ගොනාට ඇන්ද වූ අපට හුරු සිනමා ව්‍යාපෘතියක් නොවේ. චිත්‍රපටයක් නොවීමය.

සිනමාව දේශපාලන සමාජ පණිවිඩයක් උදෙසා භාවිතා කිරීම ඉන්දියානු සිනමා ඉතිහාසයේම ප්‍රසිද්ධ කරුණකි. සිනමාව සිය දේශපාලන පණිවිඩය සමාජ ගත කිරීම සඳහා යොදා ගත් නායකයන කිහිප දෙනෙකු පිළිබඳ ලෝක සිනමාවේ

ඉතිහාසයේ සොයා ගත හැකි වෙයි. එනම් ඉන්දියාවේ මහත්මා ගාන්ධි, සෝවියට් දේශයේ වී.අයි. ලෙනින්, සහ චීනයේ මා ඕසේතුං ඒ අතර ප්‍රමුඛ වෙයි. අමෙරිකාව මෙන්ම ඉන්දියාව ද සිය ව්‍යාප්තවාදී ආකල්ප ලෝකය වෙත ගෙන යෑමට සිනමාව වාහකයක් ලෙස භාවිතා කරති. කොටින්ම දෙවන ලෝක මහා යුද සමයේ අමෙරිකාව එයට සම්බන්ධ නොවි සිටිය දි එරටින් යුද්ධයට මුලින් පැටළුණේ හොලිවුඩ් සිනමා නිෂපාදකයන්ය. ඒ ඔවුන් බහුතරය යුදෙව්වන් නිසාවෙනි.

මා ඕසේතුං සිය සංස්කෘතික විප්ලවය සමයේ ඉතා දරුණු ලෙස සිනමාව සිය දේශපාලන ප්‍රචාරය සදහා යොදා ගත්තේය. එහෙත් මෙම චිත්‍රපට කෙතරම් බංකොලොත් අන්දමින් චීන නායකයා ඇන්දුවාද යත් ඒවා නැරඹු රසිකයන් සිය ප්‍රවේශ පත්‍රයේ මිල ආපසු ගෙවන ලෙස නිර්නාමිකව සිනමාහල් වලට දැන් වු වග වාර්තා වෙයි. චින සිනමාව ලොව දිනන්නට පටන් ගත්තේ පසු කාලිනව බිහි වූ චිනයේ සිව් වන පරම්පරාවේ සිනමාකරුවන් වෙතිනි. ඒ වන විට චීන දේශපාලනය සහමුලින්ම වෙනස් ව තිබිණ. ලෙනින් සිනමාව වාහකයක් කොට ගෙන රුසියාව පුරාම සිය දේශපාලන මතවාද පමණක් නොව ඔහු විසින් බිහි කරන ලද නව රාජ්‍යෙය් සිහින ලෝකය ද ගෙන හැර පෑවේය. එහෙත් ගාන්ධි අනුගමනය කළේ එයට වඩා වෙනස් ක්‍රමවේදයකි. ඔහු ඒ වන විට සිටි ඉන්දියානු සිනමාකරුවන් ගේ කෘතින් හරහා සිය පණිවිඩය සියුම්ව මහජනයා වෙත මුදා හැරියේය. මෙයට ඉන්දියාවේ සිව් කොණ සිටි බොහෝ සිනමාකරුවන් ස්වෙච්ඡාවෙන්ම වාගේ දායක වූහ. වත්මන් පාකිස්ථානයට අයත් ලාහෝරයේ සිනමාව ද එකල අයත් වූයේ ඉන්දියානු සිනමාවටය. මේ නිසා අලුත් ඉන්දියාවක් පිළිබඳ ගාන්ධිගේ පණිවිඩය ඉක්මනින් නූගත් ඉන්දියානුවන් වටහා ගත්හ. සිසිර් කුමාර් බහදූර්, මාස්ටර් විනයාක්. සොරාබි මෝඩි, පානි මජුම්දර් වැනි සිය ගණනක් සිනමාකරුවන් ගාන්ධි අනුගාමිකයන් වෙමින් ඉන්දීය නිදහස් සටනට අවශ්‍ය පණිවිඩය ජනතාව වෙත ගෙන ගියහ. ඒ සඳහා ඔවුන්ට බ්‍රිතාන්‍ය බලධාරින්ගේ ඇස් වසන්නට සිදු විය. පසු කලක පවා නයාදෝර් වැනි ජනප්‍රිය චිත්‍රපට හරහා ශ්‍රී නේරු ගේ දේශපාලන මතවාද සාමාන්‍ය ජනයා වෙත ගෙන යෑමේ අවස්ථා සුලබ විය.

කෙසේ වෙතත් නාරායන් සිං සිය සිනමා කෘතිය හරහා ගෙන එන්නේ ද එවැනි දේශපාලන ප්‍රකාශනයකි.එය ටොයිලට් ප්‍රශ්ණයක් වුව ගාගන්නේ නැතුව සිනමාකරු ගොඩ ගන්නේය. ඒ ඉන්දියානු ආකල්ප දෙස සම්ප්‍රදායෙන් බලන්නට මෙන්ම මිනිස් අවශ්‍යතාවක් දෙස සානුකම්පිතව හා බුද්ධිමත්ව සිතීමේ ඵල විපාක ද වටහා දෙමිනි. කොටින්ම පොලිටික්ස් නමැති ටොයිලට් වලේ නොවැටී සියල්ල පිරිසිදු කරන්නට සිනමාකරු සමත් වෙයි.