වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත්ම තාලේ රොමියේ ජුලියට් කතාවක්

පාරමී හා නිශාට මැදි වූ විමුක්තිගේ කතාව

අලුත්ම තාලේ රොමියේ ජුලියට් කතාවක්

මේ ගමන එන වග කිසිවෙකු නොදන්නා බව දැනගෙන විමුක්ති හිත හදා ගනියි. ආපසු යන්නට හැරෙයි. ඔහුගේ ඇස් අදහා ගත නොහැකි වෙයි. පාරමීගේ හෑන්ඩ් බෑගය එතැනය. වහ වහා විමුක්ති එය අතට ගනියි. එහි පාරමිගේ ජංගම දුරකථනය තිබේ.

එක්තරා පාන්දර යාමයක මහනුවර බස්නැවතුමේ එක් අරමුණකින් කල්මරන තරුණියකි. ඇය පරමීය. පාරමී මෙලෙස බලා සිටින්නේ ජීවිතයේ දෛවෝපගත ගමනක් යෑමට තම පෙම්වතා වන විමුක්ති පැමිණෙන තුරුය. කාලය ඉගිලීගොස් නගරය මහා කලබලයක් වනතුරුම ඇය එතැනම සිටින්නේ දැඩි අධිෂ්ඨානශිලී බවකිනි. මේ මොහොතේ විමුක්ති තමා දෙස බලා සිටින වගක් පාරමී සිහිනෙකින් හෝ නොදනී. පාරමීගේ අධිෂ්ඨාන පාරමිතාව හමුවේ පරාජයට පත්වන විමුක්ති ප්‍රමාද වී පැමිණයාක් මෙන් ඇය අසලට ගොස් ඇගේ අත අල්ලා ගත්තේය.

මං හිතුවා ඔයා එන එකක් නැහැ කියලා.

ඒ විමුක්තිගේ ප්‍රථම හඬ අවදි කිරීමය. කිසිදු ප්‍රමාදයකින් තොරව පාරමීගේ අතගෙන විමුක්ති ගමන් කරන්නේ කඳුකරයට යන දුම්රිය මැදිරියක් වෙතය. දෙදෙනාගේ මේ ගමන අතිශය තීරණාත්මකය. එය කෙළවර වන්නේ ඔවුන් ගිවිසගත් ලෙසින්ම ලෝකාන්තයෙන් පැන දිවි නසා ගැනීමෙන් බව දන්නේ ඔවුනොවුන් පමණි. මේ වන විට පාරමී ගැබිනියකි. දෙදෙනාගේ ආදර සම්බන්ධය එතරම්ම දුරදිග ගොසිනි. මේ විවාහයට විමුක්තිගේ මව දැඩිව විරුද්ධ වන්නේ වස බී මිය යන බව තර්ජනය කරමිනි. මේ තත්ත්වයට හේතුව පාරමී අයත් කුලය පහත් එකක් නිසාවෙනි. ඇය විමුක්ති නිසා කුස පිළිසිඳ ගත් දරුවා කෙදිනක හෝ හදා වඩා ගැනීමට එකඟ වෙයි.

සමාජ සම්මතයට පිටුපා විවාහවීම හෝ මිය යා යුතු බව පාරමී දැඩිව විශ්වාස කරයි. විමුක්ති පාරමීට අවංකව ආදරය කළත් සිය මව විසින් ගෙන එන විවාහ යෝජනාවක් තුළ අතරමංවීමට ඔහුට සිදු වේ. ඇය ඕස්ට්‍රේලියාවේ උපාධියක් හදාරා පැමිණ සිටින ඔවුන්ගේ ඥාාති සොයුරියක් වන නිශාය. ඇය සුරූපීය. පාරමීට වඩා සමාජශීලී තරුණියකි. විමුක්තිට ගැළපෙනම කෙනා නිශා බව විමුක්තිගේ මව තීරණය කරයි. එහෙයින් විමුක්ති සිටින්නේ අතරමං වූ තැනකය. කිසිදු අයුරකින් පාරමීව ද අතහැර යාමට ඔහු සූදානමක් නැත. මේ හේතුවෙන් දෙදෙනාම මිය යා යුතු බවට තීරණය කරයි. ගිවිසගත් ලෙසම කාලය උදාවෙයි. අවසන දෙදෙනාට දෙදෙනා මොහොතක් බලා සිටියි.

යළි අගාධය දෙස බලයි. අවසන සුසුම්පොද වා තලයට මුසු කරමින් ලෝකාන්තයෙන් පනින්නට සැරසෙයි. එනමුදු අවසන් තත්පරයේදී විමුක්ති තම අදහස වෙනස් කර ගනියි. එහෙත් පාරමී ඒ බව හාංකවිසියක්වත් දන්නේ නැත. ඇය අගාධයට වැටෙයි. විමුක්තිගේ හදගැස්ම වැඩි වෙයි. එහෙත් සියල්ල සිදුවී අවසානය. මේ ගමන එන වග කිසිවෙකු නොදන්නා බව දැනගෙන විමුක්ති හිත හදා ගනියි. ආපසු යන්නට හැරෙයි. ඔහුගේ ඇස් අදහා ගත නොහැකි වෙයි. පාරමීගේ හෑන්ඩ් බෑගය එතැනය. වහ වහා විමුක්ති එය අතට ගනියි. එහි පාරමිගේ ජංගම දුරකථනය තිබේ. වෙව්ලන දෙඅතින් විමුක්ති එය පණ ගන්වයි. එය පිරික්සා බලන විමුක්තිට හසුවන්නේ පාරමී තම මවටත් යෙහෙළියකටත් යැවු කෙටි පණිවුඩ දෙකකි. එහි තමන් විමුක්ති සමඟ ලෝකාන්තයෙන් පැන මිය යන බව සඳහන්ව ඇත. විමුක්තිට කිසිත් කර කියාගත නොහැකි තත්ත්වයක් උදාවෙයි.

අනුරුද්ධ ජයසිංහගේ නවතම සිනමාපටය වන එක දවසක අපි දිග හැරෙන්නේ එකී කතා පුවත ඔස්සේය. එහි විමුක්ති ලෙස පුබුදු චතුරංග රංගනයේ යෙදෙයි. පාරමී වනුයේ නයනතරා වික්‍රමආරච්චිය. සෙසු චරිතයන් වීණා ජයකොඩි, මේධා ජයරත්න, නයනා හෙට්ටිආරච්චි, පවිත්‍රා වික්‍රමසිංහ, දිස්නි රාජපක්ෂ සහ රොහාන් රණතුංග රංගනයේ යෙදෙයි.

එක දවසක අපි නිෂ්පාදන කණ්ඩායම:

කැමරා අධ්‍යක්ෂණය - චින්තක සෝමකීර්ති

සංස්කණය - අජිත් රාමනායක

පසුබිම් සංගීතය - නවරත්න ගමගේ

කලා අධ්‍යක්ෂණය - සංජීව කරුණාරත්න

ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි

අංග රචනය - සශික හේරත්

නිෂ්පාදන කළමනාකරණය - සමීර හසුන්

තිර රචනය - අනුරුද්ධ ජයසිංහ

ඉදිරිපත් කිරීම - යුනිවර්සල් මීඩියා

ජාත්‍යන්තර සම්බන්ධිකරණය - ධනුෂ්ක ගුණරත්න සහ උදිත ලක්මාල්

මාධ්‍ය සම්බන්ධීකරණය - ඇන්ටන් ජේ. ප්‍රනාන්දු