වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




මෙන්න අපේ වාහනේ අලුත් පරපුරේ තරු තමන්ගේ වාහන ගැන කියන කතා

මෙන්න අපේ වාහනේ අලුත් පරපුරේ තරු තමන්ගේ වාහන ගැන කියන කතා

කලාකරුවකු කියන්නේ ටිකක් කාර්යබහුල චරිතයක්. ඒ හින්දම ගමන් බිමන් එහෙමත් වැඩියි. කලාකරුවෝ බොහොමයක් ක්ෂේත්‍රයේ ස්ථාවර වුණ ගමන් පෞද්ගලික වාහනයක් ගන්න උත්සාහ කරන්නේ ඒ තත්ත්වය මත. ඇතැම් අය කොහොම හරි තමන්ගේ සිහින වාහනයම මිල දී ගන්නවා. සමහරුන්ට එහෙම නොහැකි වුණත් තමන්ට ගන්නට පුළුවන් වාහනයක් මිල දී ගන්නවා. මෙවර අප අපේක්ෂා කළා ක්ෂේත්‍රයේ කිහිප දෙනෙකුව තෝරාගෙන ඔවුන් පාවිච්චි කරන වාහනය ගැන අහන්න. පළමුව අපි තෝරා ගත්තේ නව පරපුරේ ජනප්‍රිය නිළි ඩිනක්ෂි ප්‍රියසාද්ව. ඩිනක්ෂි දුන්නු පිළිතුර ගැන ඔබ පුදුමයට පත්වේවි. ඇයට පෞද්ගලික වාහනයක් නැහැ. ඩිනක්ෂිට පසුව ක්ෂේත්‍රයට පැමිණි රංගන ශිල්පීන් බොහෝ දෙනෙකුට වාහන තිබුණත් ඇය නම් තවම වාහනයක් ගන්න හිතලවත් නැහැ. ඇයට මුදල්වලින් අඩුපාඩුවක් තියෙනවා කියලත් හිතන්න බැහැනෙ. ඒත් ඇයට වාහනයක් නැහැ. ඩිනක්ෂි තවම වාහනයක් ගන්න හිතලා නැත්තේ ගෙදර පවුලේ වාහනයක් තියෙන නිසා. ඒක මිනි පැජරෝ එකක්. ඒකෙන් තමයි ඇය තමන්ට අවශ්‍ය ගමන් එහෙ මෙහෙ යන්නේ.

මේ දිනවල විකාශය වන දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය රංගනය නිසා සිය ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ කරගෙන ඉන්න කෙනෙක් තමයි දෙනුවන් සේනාධි. දන්නවද ඔහු පාවිච්චි කරන වාහනය මොකක්ද කියලා. ඒක සුසුකි එව්රි වාහනයක්. දෙනුවන් එයට හරිහ ආසයි සහ ආදරෙයි. ඔටෝ වාහනයක් නිසා ගමනටත් පහසුයිලු. මේ වන විට ඔහු එය රැගෙන ටික කාලයක් වෙනවා.

වසර හතක් තිස්සේ චන්න පෙරේරා පාවිච්චි කරන්නේ ජගුවර් එක්ස්ටයිප් වාහනයක්. ඒක වඩාත් ජනප්‍රිය යුරෝපීය රටවල. චන්න කාලයක් තිස්සේ ආසාවෙන් ඉඳලා තියෙනවා ජගුවර් වර්ගයේ වාහනයක් ගන්න. මොකද ඒක සුලබ නැති නිසා. 2010 චන්න එය ගන්න කාලෙදි අන්කොමන් වාහනයක් වුණත් මේ වන විට ලංකවේ එය වැඩිපුර දක්නට තියෙනවා. ඒත් චන්න නම් තවම තම ජගුවර් රථය විකුණන්නට අදහසක් නැතිලු. රංගන ලොව මුතු පබලුව ලෙස විරුදාවලිය ලත් මුතු තරංගාගෙනුත් අපි ඇහැව්වා පාවිච්චි කරන වාහනය ගැන. ඇය කළේ පළමුව හිනාවෙන එක.

මට තම වාහනයක් නැහැනේ. මං සල්ලි එකතු කරනවා වාහනයක් ගන්න. තව රුපියලක් අඩුයි. ඒකයි ගත්තේ නැත්තේ. ඇය ලබා දුන්නේ එවැනි පිළිතුරක්. ඒක අහලා අපිට හිතුණා ඇයට රුපියලක් ලබාදෙන්න වාහනයක් ගන්න කියලා.

මිහිර සිරිතිලක නිතරම දුර ගමන් යනවලු. ඒ නිසා ඔහු පාවිච්චි කරන වාහනය මැස්ඩා ත්‍රී වර්ගයේ එකක්. ඒක දුර ගමන්වලට සුපිරියි කියලා මිහිර කියනවා. මේ වන විට ඔහු එම රථය රැගෙන අවුරුද්දයිලු. පසුගියදා නිමාව දුටු රයිගම් ටෙලීස්හි ජනප්‍රියම නළුවා වුණේ රුවන් පෙරේරා. ඔහුගෙන් ඇහැව්වා අපි පාවිච්චි කරන වාහනය ගැන. රුවන්ට තියෙන්නේ මරුටි රථයක්. රුවන් වැර වෑයමෙන් උපයා ගත් මුදල්වලින් තමයි ඒක අරගෙන තියෙන්නේ. අපරිමිත උත්සාහයෙන් ක්ෂේත්‍රයේ ඉදිරියට ආ කෙනෙක් තමයි රුවන් කියන්නේ. ඔහු මුල් යුගයේ එහෙ මෙහෙ ගියේ යතුරු පැදියෙන්. තවමත් ඒක ඔහු ගාව තියෙනවා. ළඟදීම මරුටියත් විකුණලා වෙන හොඳ වාහනයක් මිලදී ගන්නවා කියලා ඔහු කිව්වා.

ලක්ෂිකා ජයවර්ධනටත් වාහනයක් නැතිලු. ඇය කලක් තිස්සේ පෙරුම් පුරනවා වාහනයක් ගන්න. ඒත් තවම ඒ සිහිනයට ළඟාවන්න බැරි වුණාලු. ලක්ෂිකාගේ සිහින වාහනය තමයි අලුත් මිනිකූපර් එක. ළඟදී පටන් ගන්න බිස්නස් එකෙන් පසුව මිනිකූපර් එක මිලදී ගන්න හිතාගෙන ඉන්නවා කියලා කිව්වා.

අප ඊළඟට යොමු වුණේ තාරුකා වන්නිආරච්චි වෙතට. ඇයට තිබිලා තියෙනවා සිහින වාහනයක්. ඒක සමානයිලු ඇක්වා හයිබ්‍රිඩ් රථයට. ඒ හින්දම තාරුකා එම රථයක්ම හාහාපුරා කියලා මිලයට අරන්. ඇය කියනවා කවදාවත් ඒක විකුණන්න අදහසක් නැතිලු. මේ වන විට අවුරුදු තුනක් වෙනවා තාරුකා එම රථය මිලට අරන්. ඒකේ ගමන් කිරිම හරිම පහසුයි කියලා ඇය කියනවා.

පුබුදු චතුරංග පුංචි කාලේ ඉඳලා ජීප්වලට හරිම ආසයිලු. කවදා හරි ජීප් එකක් තමන්ගේ පෞද්ගලික වාහනය කරගන්නවා කියලා ඔහු හිතාගෙන ඉඳලා. පුබුදු දැනට පාවිච්චි කරන්නේ ජීප් රථයක්. වර්ගය සැංයොන්ග් කොරැන්ඩෝ. නම කියාගන්න ටිකක් අපහසුයි නේද. ඒත් පුබුදුට නම් ඒ ජීප් එක හරිම පහසුවක්ලු ගෙන එන්නේ. ලංකාවට අනුබද්ධ ආයතනයක් මඟින් බෙදා හරින එම ජීප් රථය ඩීසල් එකක්. පුබුදු වසර දෙකක් තිස්සේ එම ජීප් රථය පාවිච්චි කරනවාලු.