වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ඔබමයි පුංචි තිරයේ ආදර අම්මා

පරිසරයට ආදර පානා සුදු අම්මා
යශෝරාවයේ බලදේවගේ අම්මා
විලසට කළ රැඟුමන් නැත නිම්මා
ඔබමයි පුංචි තිරයේ ආදර අම්මා

ළමාතැනී විලසින් බක්මහ දීගේ
ඩැනියෙල් මුතුමාල සමඟින් කෑ දීගේ
මතකයි එදා කළ රැඟුමන් අද වාගේ
ඔබටයි මැතිණියනි මේ මල් කළඹ මගේ

එස්. ඒ ප්‍රේමලතා
රැක්ගහතොටුපල
බණ්ඩාරගම


අයිරාංගනී සේරසිංහ මැතිණියනි ඔබට දිගාසිරි

සබරගමුවෙ වලව්වකින් මතු වී ආ දිළෙන මැණික
අයිරාංගනී මීදෙනිය යි රුව ගුණයෙන් වැඩුණි හනික
දෙවන බසත් හදාරමින් උගත්කමින් ඉහළ තැනක
වේදිකාව සිනමාව ද ටෙලි තිරයෙද රඟ පෑ හැක

ඕනෑම චරිතයක් රඟන්නට දස්කම් දක්වන්නේ
පරිසරවේදිනියක් ලෙස සේවය කරමින් ඉන්නේ
කුලය ධනය බලය ද නැත ඇය පෙන්වන්නේ
රටේම ජනතාව එනිසයි ගරු බුහුමන් දක්වන්නේ

රටට සම්පතක් වූවා අග්‍රගණ්‍ය නිළිය ලෙසින්
පොදු ජනයා වෙතට ආවෙ යශෝරාවේ රඟපාමින්
තවමත් මතකයට එන්නේ සුදු හාමිනේ කියන නමින්
දිගුකල් වැජඹෙන්න මැතිණී රිදී තිරය ඔප කරමින්

ආර්. ඒ සෝමා රණසිංහ


රම්‍යා ඔබට දීඝායු

'කැලණි පාලම' වේදිකා නාට්‍යය ආලෝකමත් කරන රම්‍යා වනිගසේකර ඔබට දීඝායු.

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල

කොටුගොඩ


උරේෂාට සුබ උපන්දිනයක්

පුංචි දේටත් තරහ ගන්නේ ඇයි ගීතයෙන් ජනප්‍රියත්වයට පත් වූ උරේෂාට සුබ උපන්දිනයක්. ඉතාමත් මිහිරි ගී ගියමින් සිනමා ලෝකයද ගීතවත් කරන ඔබගේ සංගීත දිවි මඟ සාර්ථක වේවා. ඉදිරියේදී තවත් මිහිරි ගී සමඟින් අප හමුවට එන්න.

වික්‍රමසුන්දර දයාරත්න

රෝහිණී දයාරත්න

දිවුලපිටිය


පුබුදු චතුරංග ඔබ විශිෂ්ටයි

පුබුදු චතුරංග ඔබ සිනමාවේ සහ රූපවාහිනියේ විවිධ චරිත මවමින් දක්වන ප්‍රතිභාව විශිෂ්ටයි. මෙවර රයිගම් ටෙලි සම්මාන උලෙළේ විශිෂ්ටතම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම එය ඔප්පු කර පෙන්වූවා. සාර්ථක චරිතාංග නළුවකු ලෙස තවත් ඉදිරියට යාමට ලැබෙන නිර්මාණයකම චරිත සාර්ථකව වගකීමෙන් ඉදිරිපත් කිරීමට වග බලා ගැනීම ඔබ සතු වගකීමක්.

නිමල් කුලසේකර

අඟුලාන


පුබුදුට සුබ පැතුම්

පුබුදු ඔබ අප කලා ක්ෂේත්‍රයට සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. 'ප්‍රවේගය', 'මායා' වැනි සිනමා නිර්මාණ ඔස්සේ ඔබ එය ඔප්පු කළා. මෙවර රයිගම් ටෙලි සම්මාන උලෙළේ හොඳම නළුවා ලෙසින් සම්මාන ලබා එය තහවුරු කළා. පුබුදු ඔබට සුබ පැතුම්.

කෙනත් පෙරේරා

වැලිගම්පිටිය

ජා-ඇල


දමිතා ඔබ අපට තරුවක්

දමිතා අබේරත්න දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් සහ ගායිකාවක්. කිසිම කෙනෙකුට නොදෙවෙනි ඔබට තව තවත් සාර්ථකව ඉදිරියට යාමට සුබ පැතුම්.

සාගර

අනුරාධපුර


රුක්මල් නිරෝෂ්ට සුබ පැතුම්

එදා ඔබ ළමා චරිත වලින් හමු වූ රුක්මල් නිරෝෂ් දිගු නිහඬතාවකින් පසු යළි රංගනයට පිවිසීම ගැන අපට සතුටුයි. තාරුණ්‍ය යේ සිටින ඔබ එවැනි චරිත සමඟින් කරනා රංගනයට සුබ පැතුම්. ඉදිරියටත් රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් කරනා නිර්මාණ සාර්ථක වේවා යි පතමි.

සුනිල් බී වේහැල්ල

ගෝනපොල


දැන් ටීවී එපා වෙලා

පරක් තෙරක් නොමැති නොයෙක් විලාසිතා මවමින් පෙන්වන නානාප්‍රකාර වෙළෙඳ දැන්වීම් සංඛ්‍යාව නිසා ප්‍රේක්ෂක අපට ‍ටෙලි නාට්‍යයක් හෝ සාකච්ඡාවක් හෝ නරඹන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. දැන් නම් රූපවාහිනිය නැරඹීමත් එපා වෙලා තියෙන්නේ.

මැණිකේ විල්වල

තිලකරත්න විල්වල

තටාකය පාර

කෑගල්ල


චිත්‍රසේන සමරමු

මෙරට මුද්‍රා නාට්‍ය කලාවේ පියා මෙන්ම වන්නේ චිත්‍රෙස්නයන් ය. අපේ සිංහල මුද්‍රා නාට්‍ය කලාව ජාත්‍යන්තර කීර්තියට පත් කිරීමේ ගෞරවයද ඔහුට හිමිවේ. 1961 වසරේ වේදිකා ගත කළ 'කරදිය' එතුමාගේ නිර්මාණශීලීම මුද්‍රා නාට්‍ය වේ. චිත්‍රසේනගෙන් පසු වජිරා ද, දූ දරුවන් සහ මිණිපිරියන් ද එම නර්තනය උරුමය සුරැකීම අගය කරමු.

ඩඩ්ලි ගෝමස්

කටුබැද්ද

මොරටුව


රොබින් ඔබට චිරං ජයතු

අපේ සිනමාවේ සටන් නළුවකු ලෙසින් රොබින් ප්‍රනාන්දු කළ රංගනයන් අපට කිසිදා අමතක නැත. නළුවෙකු ලෙසින් පමණක් නොව සටන් අධ්‍යක්ෂවරයකු ලෙසින්ද කළ සේවය අප්‍රමාණය. දශක පහකටත් අධික කාලයක් සිංහල සිනමාවට මෙහෙවර කළ රොබින් ඔබට චිරං ජයතු.

ආර්. ඒ. ඒ. රාජපක්ෂ

සුදර්ශනපුර

රාස්සගල

බලංගොඩ


දෙවැනි ඉනිමේ අනුහස්

දෙරණ නාලිකාවේ විකාශය කෙරෙන දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය යේ අනුහස් ලෙසින් රඟන රවීන් කණිෂ්කගේ රංගනය අගෙයි. රවීන් ඔබට මගේ සුබ පැතුම්.

ක්‍රිෂා ක්‍රිෂාන්ති


නළුවන් අතර සම්පත ලයනල් දැරණියගල

සිංහල සිනමාවේ නළුවන් අතරින් සම්පතක් බඳු වූ කිසිදා අමතක කිරීමට නොහැකි ලයනල් දැරණියගල ගැන කිසිම අයුරකින් සිහිපත් නොකිරීම කනගාටුවට කරුණකි.

ගාමිණි මහවෙලගේ

පිළියන්දල


ප්‍රින්ස් ඔබට නිවන් සුව

තමාට උරුම වූ ලාලිත්‍ය කටහඬකින් ගී ගැයූ නැසී ගිය ප්‍රින්ස් උදය ප්‍රියන්ත කලාකරුවාට නිවන් සුව පතමි.

අයිලීන් සෝවීස්

සොයිසාවත්ත

වැලිසර

රාගම


විපුල් ධර්මප්‍රිය මතකය

"සඟවන්න එපා හසරැල්" කියා දිවුල්ගනේට ලියූ ඔබ

"සුළඟේ ලෙළෙනා මල් සේ දඟ පා" කියා ශාලිතට ලියූ ඔබ

"සුරිඳුනේ" කතරගම දෙවියන් ගැන ආත්මාට ලියූ ඔබ

තව තවත් ගී රැසක් අපට තිළිණ කළ ඔබ

නිවේදකයකු ලෙස වෙළෙඳ සේවයෙන් අප ඇමතූ ඔබ

සහෝදරයකු සේ ළඟින් සිටි විපුල් ධර්මප්‍රිය ජයසේකර

කලාකරුවාණෙනි,

ඔබ අපෙන් වෙන් වී වසර තුනක් ගත වුවද

තවමත් ඔබ අප සමඟය . . .

ජගත් චන්ද්‍රසිරි

පූජා ජගත්සිරි

මීරිගම පාර

පස්යාල


සනත් ඔබට සුභාශිංසන

සනත් ගුණතිලක අපේ රටට සිටින දක්ෂ රංගන ශිල්පියෙක් සේම දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. මෑත කාලීනව කළ දේශනවලදී ඔහුගේ චතුර කථිකත්වය ද වටහා ගත්තෙමු. එම දේශන ඉතාම සිත්ගන්නා සුළුය. සනත් ඔබට සුභාශිංසන.

ආනන්ද වික්‍රමආරචිචි

ඉහළතල්දූව


බැද්දේ කුලවමිය

ආනන්ද අබේනායකගේ අධ්‍යක්ෂණයෙන් ඉරිදා රාත්‍රි විකාශය වූ බැද්දේ කුලවමිය හරවත් නාට්‍යයකි. හොඳ අවසානයක් කරා යොමු කළ එහි චරිත මනා සංයමකින් හා දක්ෂ අන්දමින් යෙදා තිබීම විශේෂයි. නදී, චාන්දනී සහ මහේන්ද්‍ර පෙරේරාගේ රංගනයන්ට තුති මල්. ආනන්ද අබේනායක ප්‍රසංසනීය වේ.

රංජිත් අමරසිංහ

වල්පොල