වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

විමලවීර මාස්ටර් පුණ්‍යාගේ නහය ඇද බව කියයි

"පුණ්‍යා හීන්දෙනිය හුඟාක් හොඳින් රඟපාන්නීය. රුක්මණී දේවි, ප්ලෝරිඩා, කැලැරිස් ද සිල්වා යන තිදෙනාම දැන් විශ්‍රාම ලබන කාලය පැමිණ ඇති හෙයින් හිස එක විදිහකට තබාගෙන හැකියාව තිබෙන මට්ටමෙන් තව ඉහළට දියුණු කොට ගත හැකිනම් සිංහල තිරයට තරුණ කතා නායිකාවක් නැති පාඩුව මේ නිළියට පිරිමසාලිය හැකිය". මේ 1963 ඔක්තෝබර් 02 වෙනිදා දිනමිණ පත්‍රයට ජයවිලාල් ලියූ විචාරයෙන් කොටසකි.

පුණ්‍යා හින්දෙනිය නම් නිළිය ගැන සිනමා විචාරකයන්ගේ තිබුණේ යහපත් ප්‍රතිරූපයකි. ඇය රඟපෑ අව්‍යාජ ගැමි චරිත නිරූපණය ඔවුනගේ ප්‍රසංශාවට ලක් විය. 'සිකුරු තරුව' චිත්‍රපටය නැරඹූ දා මා ප්‍රාර්ථනා කළේ පුණ්‍යාට සමාන රුවක් ඇති යුවතියකට පෙම් කිරීමටය. මා ඉගෙන ගත් පාසලේ ගැහැනු ළමයි නොසිටි නිසා ඉරු දින දහම් පාසලේ ගැහැනු ළමයි අතරින් එවැන්නියක සෙවුව ද තෝරා ගැනීමට නොහැකි විය. මා මිත්‍ර කැමරා ශිල්පී ඩොනල්ඩ් කරුණාරත්න ද මගේම සිතිවිල්ලේ සිටි බව අප දෙදෙනාත්, පුණ්‍යාත් සහභාගි වූ රූපවාහිනී වැඩ සටහනකදී කීවේය.

'කුරුලු බැද්දේ' - රන් මැණිකා, 'සිකුරු තරුවේ - අනුලා, 'ගම්පෙරළියේ' නන්දා, 'රන්සළු' හි සුජාතා, 'පරසතු මලේ' කමලා ආදි චරිත රඟපෑ පුණ්‍යාට ප්‍රේක්ෂකයන් ප්‍රේම කිරීම අරුමයක්ද? ඇය රඟපෑ සීමිත චිත්‍රපට අතරින් සිකුරු තරුව, ගම්පෙරළිය, රන්සළු චිත්‍රපටවලට ඇය සරසවිය සම්මාන හිමි කර ගත්තාය. එකල ඇයට රසිකයන් පෙම් හසුන් ලියූහ. 'සරසවිය' පුවත්පතින් මේ රසිකයන් තම සිතැඟි ප්‍රකාශ කළහ. ප්‍රේම කළෝය. එවැනිම සිතිවිල්ලකින් යුත් ඇගේ රසිකයකු වූ මොනරාගල වෛද්‍යවරයකු ඇයට පෙම් කළ සියලුම රසිකයන් පරාජය කරමින් ඇගේ දයාබර සැමියාවීමේ භාග්‍ය උදා කර ගත්තේය. ඔහුගේ නම මිල්රෝයි බෙවර්ලි ද සිල්වා නානායක්කාරය. මිල්රෝයි - පුණ්‍යා විවාහ දිවියට වසර 50 සපිරෙන්නේ ලබන වසරටය.

පුණ්‍යා හා මිල්රෝයි ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම විටම මට දුරකතනයෙන් කතා කොට ඔවුන් ලංකාවේ පදිංචි කොළඹ රැජින පාරේ පිහිටි ක්වීන්ස් රෙසිඩන්ට් එපාට්මන්ට් හිදී හමු වී ආගිය තොරතුරු විමසති. එහිදී අනිවාර්යයෙන්ම 'සරසවිය' පුවත්පත මතක් කරන්නීය. එහිදී එකල සරසවිය කර්තෘවරයාව සිටි මියගිය විමලසිරි පෙරේරා, කලා සංස්කාරක හා ප්‍රධාන කැමරා ශිල්පියාව සිටි මියගිය නිමල් පෙරේරා (අභයවර්ධන), නියෝජ්‍ය කර්තෘ ලක්ෂ්මන් වික්‍රමසිංහ, ඩයස් ගුණරත්න (අද මහාචාර්ය) කුමාරදාස වාගීස්ට (මියගිය) ආදීන් ගැන මතක් කිරීමට ඇය අමතක නොකරන්නීය.

'දැන් පුණ්‍යයි, මිල්රෝයි මුනුපුරු මිනිබිරියන්ගේත් සුරතල් බලනවා. විවේකයට මොනවද කරන්නේ' යැයි වරක් මම ඇසුවෙමි.

'අපි දැන් ජීවත් වෙන්නේ එංගලන්තයේ හාර්ට්ෆර්ඩිෂාර් කියන විචිත්‍ර ප්‍රාන්තයේ නිසංසල පරිසරයක. එහාට වසන්තය උදා වෙනවාත් සමඟම රෝස කුසුමින් ද, ගෙට නැවුණු පොප්ලර් ගස්වල සුළඟේ දඟලන කොළවලින් සිලි සිලියෙන් ද සැනසෙමින්. හරිත වර්ණ සහිත අවට දර්ශනය තවත් ප්‍රබෝධවත් කරමින් සියොතුන් නඟන කන්කලු ගී නාදයෙන් කවුළුව විවර කර භාවනානුයෝගීව සවන් දී සිටීම මගේ විනෝදාංශයක්.'

පුණ්‍යා ඉංග්‍රීසි හා සිංහල බසින් කෙටිකතා ලියන්නීය. ඇය මීට කලකට ඉහත 'බ්‍රින්දා' නමින් කෙටිකතා සංග්‍රහයක් පළ කළාය.

'මම කෙටිකතා ලියන කොට මගේ සැමියා මිල්රෝයි ගෙදර නොසිටීම කියලවත් කර ගන්නට බැරි දෙයක්. එයා ගෙදර හිටියොත් 'ඔයාට පිස්සුද තිස්සෙම කතා ලියන්නේ' කියලා අහනවා. ඒ වුණාට එයා මගේ වැඩවලට බාධා කරන්නේ නැහැ. මා නිර්මාණය කරන චරිතවලට දුක්ඛ දෝමනස්සයන්ට සරිලන සානුකම්පීය 'අඩාජියෝ ඉන් ජී මයිනර්' නම් තැටිය යාන්තමට පසුබිමින් ඇසීමට සලස්වා දෙනවා.

හීන්දෙනිය විදානරාළගේ පුණ්‍යා හීන්දෙනිය මීරිගම දී උපන්නේ 1938 ජූලි 31 වෙනිදාය. මීරිගම ශාසනවර්ධන පන්සලත්, පිරිවෙනත් පිහිටා තිබුණේ ඇගේ නිවස පිහිටි වත්තේ සීමාවේය. එහි වැඩ විසූ අපවත් වී වදාළ මේධංකර නායක හිමියන් ඇගේ පියාගේ ළඟම ඥාතියෙකි.

'මම ඉගෙන ගත්තේ මීරිගම ප්‍රාථමික විද්‍යාලයේ. අද ඩඩ්ලි සේනානායක විද්‍යාලය. ඊට පස්සේ මීරිගම මහා විද්‍යාලයේ. මම මුලින්ම චිත්‍රපටයකට පෙනී සිටියේ සිරිසේන ිවිමලවීර මාස්ටර්ගේ 'අසෝකා' චිත්‍රපටයේ. ඒ 1954 වසරේ. අපිට නැටුම් ඉගැන් වූ පණීභාරත මහත්තයා දවසක් අපේ ගෙදර ආවා.

'ඔන්න මහත්තයා අපේ ඉස්කෝලේ ළමයින්ට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා සිංහල චිත්‍රපටයක නැටුම් දර්ශනයක් ඉදිරිපත් කරන්න. අපි තීරණය කළා ඉස්කෝලේ ගැහැනු ළමයින් එක්ක පුණ්‍යාවත් එක්ක යන්න.'

'ඉතින් ඒක හොඳ දෙයක්නේ' තාත්තා කිව්වාට අම්මා තදින්ම විරුද්ධ වුණා. තාත්තාගේ කැමැත්ත නිසා පණීභාරත සර් අපිව කිරිබත්ගොඩ නව ජීවන චිත්‍රාගාරයට එක්ක ගියා. එහිදී අපේ උඩරට හා ගැමි නැටුම් දෙකක් කැමරා ගත කළා. විමලවීර මාස්ටර්ට හරිම සතුටුයි. අපි සමුගන්න අවස්ථාවේ පණීභාරත සර් විමලවීර මාස්ටර්ට මාව පෙන්නලා මෙහෙම කිව්වා.

'මාස්ටර් මෙයාගේ නම පුණ්‍යා. හොඳට සින්දු කියන්නත් පුළුවන්, නැටුම්වලටත් දක්ෂයි, බැරි ද මාස්ටර්ගේ චිත්‍රපටයක රඟපාන්න අවස්ථාවක් දෙන්න'

විමලවීර මාස්ටර් මාව ළඟට කැඳවලා මගේ මුහුණ එහාට මෙහාට හරවලා මෙහෙම කිව්වා.

'මේ ළමයගේ නහය කැඩිලනේ. කැමරාවට ඔය ලක්ෂණය හොඳට පේනවා. සිනමාවට මේ ළමයා කොහොමවත් ගැළපෙන්නේ නැහැ.'

එදා මට නැටුම් දර්ශනයට හිටියට රු. 20 ක් ලැබුණා. ඒක මට හීනයක් වගේ. ඒ මුදල වියදම් කරන්න මට මාසයක් ගත වුණා' පුණ්‍යා පරණ කතාවක් අපට මතක් කළාය.

කෙසේ වෙතත් පුණ්‍යාට චිත්‍රපටයක සුළු චරිතයක් ලැබී ඇත්තේ ඇගේ පාසලේ විදුහල්පතිතුමා සමඟ චිත්‍රපට අධ්‍යක්ෂ විමලනාත් දිසානායක ඇගේ නිවසට පැමිණි නිසාය. චිත්‍රපටය 'පටාචාරා'ය. ඇයත් පාසලේ සිසුවියන් කිහිප දෙනෙක් මේ චිත්‍රපටයේ පටාචාරාගේ යෙහෙළියන් ලෙස රඟපෑමට අවස්ථාව ලැබූහ. ප්‍රධාන චරිත රඟපෑමට තෝරා ගෙන සිටියේ ආනන්ද වීරකෝන් සහ කෑගල්ලේ ප්‍රිම්රෝස් පෙරේරාය. එය අතරමඟ නතර වූ චිත්‍රපටයක් විය. තම ඥාතියකුගේ මාර්ගයෙන් පුණ්‍යාගේ සිනමා ජීවිතය ඇරඹුණේ 'දෙයියන්නේ රටේ' චිත්‍රපටයෙනි.

'මාව දෙයියන්නේ රටේ කැතරින්ට චිත්‍රපටයට තෝරා ගත්තේ නිෂ්පාදක නීතිඥ එස්. ඩී. ද එස්. සෝමරත්න මහත්තයා. එහි මගේ රඟපෑම හරියට වේදිකා නාට්‍යයක රඟපෑමක් වගේ. දකුණු ඉන්දියානු අධ්‍යක්ෂවරයෙක් යටතේ අසීරු රඟපෑමක් කළේ. මට දෙබස් කියලා දුන්නේ ධර්ම ශ්‍රී කල්දේරා. රඟපෑමට උපදෙස් ලැබුණේ ප්‍රධාන නළුවා වූ සේනාධීර කුරුප්පුගෙන්. හැබැයි මේ චිත්‍රපටයේ රඟපෑමෙන් මට ලැබුණු ලොකුම වාසිය සිරීපාදේ මහ ගිරි දඹ දොළොස් වරක් නැග්ගා. මස්කෙළියේ කඩ මණ්ඩියේ සිට මහ ගිරි දඹ තෙක් පාන්දර ගමන් අරඹා හවසට පහතට බසින්නේ දැඩි මහන්සියෙන්. හැබැයි සීත ගඟුලෙන් වතුර ටිකක් නාගත්තාම ගමන් මහන්සිය නිවෙනවා' පුණ්‍යා කීවාය. මේ චිත්‍රපටයේ රඟපෑම සඳහා ඇයට රු. 1,500 ක් ලැබී ඇත.

ඉන් පසු 'ශ්‍රී 296' හා 'සුනීතා' චිත්‍රපටයේ රඟපෑ චරිත දෙකටම රු. 3500 ක් ලැබුණ බව සිනාසෙමින් පැවසුවාය. ඇය රජයේ කලායතනයේ නැටුම් විද්‍යාලයට බැඳී නර්තනය ඉගෙන ගත්තේ විමලා ගුණරත්න (අමරදේව) චිත්‍රා අල්ගම හා විමල් නයනාන්ද මිතුරු මිතුරියන් සමඟය.

පුණ්‍යා පවසන්නේ තම රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂය 'කුරලුබැද්ද' බවයි.

'අපේ ගමේ මීරිගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටි ජෝන් අමරතුංග මහත්තයා 'කුරුලු බැද්ද' චිත්‍රපට ගත කරනවා කියලා ආරංචි මාත්‍රයෙන් දැනගන්න ලැබුණා. ඒ කාලේ ගුවන් විදුලි නාට්‍යයක් හැටියටත් කුරලුබැද්ද ජනප්‍රියයි. ඒ නාට්‍ය ලිව්වේ පී. කේ. ඩී. සෙනෙවිරත්න මහත්තයත් අපේ ගම කිට්ටුව හක්ගල්ලේ. මට ඒ චිත්‍රපටයේ රන්මැණිකා වෙන්න වාසනාව ලැබුණා. දයානන්ද ගුණවර්ධන, ඩී. ආර්. නානායක්කාර, මිලී කහඳව, එස්. ඒ. ජේමිස් යන නළු නිළියන් එක්ක මා ගත කළ දවස් මට අමතක කරන්න බැහැ. දවසක් රූපගත කිරිම් අතර සුබ ආරංචියක් ගෙනාවා ජෝන් අමරතුංග මහත්තයා.

'පුණ්‍යා ගැන ලෙස්ටර් මහත්තයා ඇහැව්වා. ගම්පෙරළිය චිත්‍රපට ගත කරන්න යනවලු. නන්දාගේ චරිතයට පුණ්‍යාව තෝරගෙන.'

ලෙස්ටර් මහත්තයාගේ චිත්‍රපටයක රඟපෑමට ලැබීම නිළියකට ලැබුණු ලොකු වරප්‍රසාදයක්. මට මුල්ම සරසවිය සම්මාන උලෙළේ සම්මාන දෙකක්ම ලැබුණා. 1963 වසරේ තිරගත වූ සිකුරු තරුවට හා ගම්පෙරළිය චිත්‍රපටවල අනුලා හා නන්දාගේ චරිත දෙක වෙනුවෙන්. ඊළඟට මම පරසතු මලේ කමලාත්, රන්සළු හි සුජාතාත් වුණා. සිරි ගුණසිංහගේ 'රන්වන් කරල්' කෙටි චිත්‍රපටයෙත් රඟපෑවා.

පුණ්‍යා ගම්පෙරළිය නියෝජනය කරමින් මෙක්සිකෝ චිත්‍රපට උලෙළත් නියෝජනය කළාය.

'මම මේ චිත්‍රපට උලෙළට ගියේ සුමිත්‍රා පීරිස් හා හෙන්රි ජයසේන එක්ක. එන ගමනේ අපි ඇමරිකාවට ගියා. ඒ කාලයේ අපේ තානාපතිතුමා සර් සෙනරත් ගුණවර්ධන මහතා. නිව්යෝක්වල එක්සත් ජාතීන්ගේ සංවිධාන ගොඩනැගිල්ලේ 47 වැනි මහලේ අපිට සාදයක් තිබුණා. එදා එහිදී මුල්වරට මගේ ප්‍රියතම කවියා, ගීත රචකයා මුල්වරට හමු වුණා. ඒ මහගමසේකරව. අපි එදා තට්ටු 47 ක් උඩ ඉඳලා 'මේ සිංහල අපගේ රටයි' ගීතය මුළු ලෝකයටම ඇහෙන්න හයියෙන් මම ගායනා කළා හෙන්රි, සේකර, සුමිත්‍රා සමඟ.'

'රන්සළු' චිත්‍රපටයේ රඟපෑමෙන් පසු පුණ්‍යා හා මිල්රෝයි විවාහය වූහ. මනාලියගේ යෙහෙළියන් වූයේ සෝභනී අමරසිංහ හා නිලන්ති විජේසිංහය. විවාහයෙන් පසු නව යුවළ විදේශ ගත වූහ. මේ යුවළගේ පුතු අනූප නානායක්කාර හා පූර්ණමී නානායක්කාර විශේෂඥ වෛද්‍යවරුන්ය. දැන් මේ යුවළ මුනුබුරු මිනිබිරියන්ගේ සුරතල් බලමින් විවේකී ජීවිතයක් ගත කරති.

ලන්ඩනයේදී අපි බෞද්ධයා නාලිකාව බලනවා. බෞද්ධ පොතපත කියවනවා. අපි දැන් වයසයි. ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ගෙන එන්නේ මිල්රෝයි. අපේ ගෙදර රණ්ඩු ඇති වෙන්නේ මිල්රෝයි ගේන කෑම ජාති නිසා. ගෙදර ඕනෑවටත් වඩා ගොඩ ගැහිලා තියෙන දේවල්ම මිල්රෝයි නැවත නැවත ගේනවා.

'මොනවද? මිල්රෝයි ඔයා ගෙනත් තියෙන්නේ. මේ ගෙනත් තියෙන බඩුවලින් කඩයක් දාන්න පුළුවන්'. මම ඔහුට දොස් කියනවා. කෑම ගේනව වගේම මිල්රෝයි උයන්නත් දක්ෂයි. අපි රණ්ඩු වෙවී යාළු වෙවී සාමයෙන් ජීවත් වෙනවා' පුණ්‍යා සිනාසෙමින් කීවාය.

'මම කැමති බල්ලන්ට. පුණ්‍යා කැමති බළලුන්ට. ඒ විතරක් නෙවෙයි අපේ ලන්ඩන් ගෙදර මිදුලට නරිත්, පරෙවියෝ, ලේන්නුත් නිතර එනවා. මේ සත්තු පුණ්‍යාගේ හොඳම යාළුවෝ' මිල්රෝයි කීවේය.