වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ ගීතාංජලියට පසුවදන ලිව්වේ අමරදේවයන්

මගේ ගීතාංජලියට පසුවදන ලිව්වේ අමරදේවයන්

මාධව වෛද්‍යරත්න

කලා ක්ෂේත්‍රෙයන් බැහැර වෙනත් ක්ෂේත්‍රවල කාර්යබහුලවන අතරේදී කලා කටයුතු වෙනුවෙන් කැපවී සිටින අය ද වෙති. පූර්ණ කාලීනව කලාවට දායක වෙන්නට අවස්ථාව නොලද ද ඔවුන් හැකි පමණ තම නිර්මාණ එළිදක්වමින් කලාවට සමීපවනු දැකිය හැකි වේ. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න ද එවැනි විශේෂ චරිතයකි. පරිපාලන ක්ෂේත්‍රයේ වගකීම් දරමින් ඔහු සිංහල සාහිත්‍යය වෙනුවෙන් ද නිර්මාණකරණයේ යෙදෙන්නේය. ඔහු සිය නවතම පරිවර්තන කෘතිය 'මහා කළු කුළුණ' එළිදැක් වූයේ පසුගිය මාර්තු මාසයේදීයි.

* කලා අංශයට නැඹුරු වෙන්න විශේෂ හේතුවක් ඇති?

කුඩා අවදියේ පටන්ම කලා අංශයට මගේ නැඹුරුවක් තිබුණා. කලාවට නැඹුරුවන ඕනෑම කෙනෙක් මුලින්ම හොඳ රසිකයෙක් විය යුතුයි. හොඳ සාහිත්‍ය ඇසුරක් තිබිය යුතුයි. අද වගේ නෙවෙයි ඒ කාලේ අපට පොත පත කියවීමට විශාල අනුබලයක් තිබුණා. මාපියන් පවා අපට තෑගි විදියට දුන්නේ වටිනා පොත පත ආදිය යි. අපේ කුඩා අවධිය සෝවියට් සාහිත්‍ය අපේ රට කරා පැමිණෙමින් තිබූ කාලයක්. 'තෑග්ග', 'හත් පෙති මල', 'නොගැලපෙන රෝද' වගේ රුසියානු කතන්දර අපි කියෙව්වේ හරිම ආසාවන්. මම 'ඔලිවර් ට්විස්ට්' පොත කියෙව්වේ පහේ පන්තියේදී. ලොකු පොතක් වුණත් ඒක අරගෙන තාත්තාගේ ලොකු හාන්සි පුටුවේ වාඩිවෙලා ඒක කියවලා අවසන් කරලා දවල් කෑම කන්න නැගිට්ටේ හොඳටම හවස් වුණාටත් පසුවයි.

* ඔබ කලාවට ළෙංගතු කළේ පොත් කියවීම වෙන්න ඇති?

පොත් විතරක් නෙවෙයි, පුවත්පත් ගුවන්විදුලිය ඔස්සේත් හරවත් දේ රසවින්දනය කරන්න අවස්ථාව ලැබුණා. අද වගේ එදා අපට නරඹන්න රූපවාහිනි තිබුණේ නැහැ. නවකතා, කෙටිකතා, පුවත්පත්, ගුවන්විදුලි නාට්‍ය ආදි මේ හැම දෙයකින්ම අපේ රසිකත්වය පුළුල් වුණා. ගුරුවරු පවා අපි කියවීමට යොමු කළා. මට මගේ කුඩා වියේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේදී හරි අපූරු ඉංග්‍රීසි ගුරුතුමියක් හමු වුණා. අමරදිවාකර නම් වූ එතුමිය නිර්මාණශීලි දේ සමඟින් ඉංග්‍රීසි භාෂාවට අපේ උනන්දුව ඇති කළා. ඒ සමඟින් අපට ඉංග්‍රීසි සාහිත්‍ය ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා. මේ දැනුම සිංහලයටත් රැගෙන එන්න පුංචි කාලයේදීම පුරුදු පුහුණු වුණා. වැඩියෙන්ම හිත ගියේ රුසියානු සාහිත්‍යයට යි. පාසල් කාලයේදී කවි, ගීත රචනා කළා. ඒවා පුවත්පත්වලත් පළ වුණා. නමුත් මම උසස් පෙළ විභායට පෙනී සිටියේ ජීව විද්‍යා අංශයෙන්. කොළඔ විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබුවා. ඊළඟ කණ්ඩායමේදී මම පේරාදෙණිය කෘෂිවිද්‍යා පීඨයට සුදුසුකම් ලැබුවත් කලාවට තියෙන කෑදරකමට ඒක අතහැරියා.

* කලාවට තියෙන කෑදරකම ජීව විද්‍යා අංශය සහ කෘෂි විද්‍යාව අතරට පැමිණෙන්නේ කොහොම ද?

ඒ බලපෑම වුණේ වෙනස් විදියකට. ගුවන්විදුලිය වගේම සියලුම පුවත්පත් ආයතන පිහිටුවා තිබුණේ කොළඹ. ප්‍රකාශකයෝ ඉන්නේ කොළඹ. කලාකාරයෝ වැඩියෙන් ඉන්නේ කොළඹ. පේරාදෙණිය ප්‍රතික්ෂේප කරලා කොළඹ නවතින්න තීරණ කළේ මේ හේතු නිසා තමයි. ඒ සමගින් විශ්වවිද්‍යාලයේදී මට පුළුල්විදියට කලාව සමඟින් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ කාලයේදී පුවත්පත්වලට ලිපි ලියන අතරේදීම ගුවන්විදුලියටත් සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා. එහිදී දැවැන්ත චරිතයක් වුණු සුගතපාල ද සිල්වා සමගින් කටයුතු කරන්න අවස්ථාව ලැබීම විශේෂයි. චිත්‍රපට අධ්‍යක්ෂ වින්දන ආරිවංශ ඒ කාලේ පුංචි කොල්ලෙක්. ඔහු ගුවන්විදුලියේ මගේ ළමා රංගපීඨයට දායක වුණා.

* බොහෝ දෙනෙකු විසින් ගීතාංජලිය සිංහලයට පරිවර්තනය කර තිබුණත් කාව්‍යමය ලක්ෂණ අතින් ඉහළ බවට විචාරක අවධානය යොමු වුණේ ඔබේ කෘතියට?

මම මුලින්ම පරිවර්තනය කළ කෘතිය රබීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ ගීතාංජලිය යි. මේ වනවිට අවස්ථා හතකදී පමණ ගීතාංජලිය සිංහලයට පරිවර්තනය වෙලා තියෙනවා. මට පෙර අවස්ථා දෙකකදී එය සිංහලයට පරිවර්තනය වුණා. මම රවීන්ද්‍රනාත් තාගෝර්ගේ රචනා ශෛලියට බෙහෙවින් ඇළුම් කරනවා. ආසියාවට මුල්ම නොබෙල් සම්මානය ගෙන ආ කෘතිය වන්නේත් ගීතාංජලිය යි. මේ රසය අපේ සිංහල පොත් කියන පාඨකයන්ටත් ලබා දෙන්න මට ලොකු ආසාවක් ඇති වුණා. ඒ සමඟින් මම ගීතාංජලියේ කවියෙන් කවිය සිංහලයට පරිවර්තනය කරන්න පෙළඹුණා. ඒ කාලයේ විශ්වවිද්‍යාල කලා මණ්ඩලයේ සභාපති ධුරය දැරුවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්. එතුමා ප්‍රමුඛ කලා මණ්ඩලය මට මේ පොත එළිදක්වන්න ආධාර කළා. එහි පසුවදන ලිව්වේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්. එදා විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙසින් මා ලද ඒ අවස්ථාවේ වටිනාකම කියා නිම කරන්න බැහැ.

අදටත් බොහෝ දෙනාට ඒ කවි මතකයි. මගේ ඒ කෘතියට ඇතුළත් වුණේ තාගෝර්තුමන්ගේ ගීතාංජලියෙන් කොටසක් පමණයි. මේ දිනවල එහි ඉතිරි කොටසත් පරිවර්තනය කරමින් සිටින්නේ. මේ වසර අවසානයේදි එය සම්පූර්ණ පරිවර්තනයක් ලෙසින් එළි දක්වන්න හැකි වේවි.

* ගද්‍ය සහ පද්‍ය පරිවර්තනයේ වෙනස පරිවර්තකයාට දැනෙන්නේ කොහොමද?

ගද්‍ය පරිවර්තනයට වඩා පද්‍ය පරිවර්තනය තරමක් අමාරු කටයුත්තක්. නමුත් එයින් ගද්‍ය පරිවර්තනය ලෙහෙසි පහසු කටයුත්තක් කියා මා අදහස් කරන්නේ නැහැ. මේ දෙඅංශයෙන්ම කවර දෙයක් පරිවර්තනය කළත් එයින් කියන්නේ, මුල් කෘතියේ තියෙන වචනවල තේරුම අනෙක් භාෂාවට රැගෙන ඒම ම නෙවෙයි. භාෂාව කියන්නෙත් පුද්ගලයෙක් වගේ ජීවමය දෙයක්. ඒ තුළ භාෂාවේ ශබ්දකෝෂ අර්ථවලට අමතරව සංස්කෘතියෙන් මතුවන ඉඟි අරුත් බොහොමයකුත් පවතිනවා. ඒවා වෙනස්ම භාෂාවකට ග්‍රහණයකර ගැනීම ලෙහෙසි වන්නේ නැහැ. එතැනදී පරිවර්තකයාගේ සැබෑ අභියෝගය වන්නේ චවනවල තියෙන ශබ්දකෝෂ අර්ථ නොව ඒ අර්ථ අතරින් එන සංස්කෘතිකමය ඉඟි අරුත් අනෙක් භාෂාවට ග්‍රහණය කර ගැනීමයි. කවියක් ගත්තොත් එහි උඩ පෙළ අර්ථය සහ යටි පෙළ අර්ථයක් තියෙනවා. යටි පෙළ අර්ථය මතු වෙන්නේ සංස්කෘතික වටපිටාව සමඟින්. බොහොමයක් පරිවර්තන අසාර්ථක වන්නේ ශබ්දකෝෂ අර්ථ කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම හේතුවෙන්.

ඒ නිසා හොඳ පරිවර්තකයෙක් භාෂා දෙකම හොඳීන් දැන සිටීම වගේම ඒ භාෂා කතා කරන මිනිසුන්ගේ සංස්කෘතිකාංග පිළිබඳවත් අවබෝධය ලැබිය යුතුමයි. ඒ වගේම පරිවර්තකයා ද ස්වතන්ත්‍ර නිර්මාණ ශිල්පියකු සේම නිර්මාණශීලි විය යුතුයි. මන්ද එක් භාෂාවක යටිපෙළ අරුත් තවත් භාෂාවකට ගෙන ඒමේදී එම අරුත් බිඳ නව අරුත් ඇති කළ යුතුවන අවස්ථා එළඹෙනවා. අලුත් යෙදුම්, වචන නිර්මාණය කළ යුතු වෙනවා. නමුත් ස්වතන්ත්‍ර නිර්මාණකරුවාට වඩා පරිවර්තකයාගේ කාර්යය භාරදූර එකක් වෙනවා. මන්ද ස්වතන්ත්‍ර නිර්මාණකරුවාට සම්පූර්ණ වේදිකාවම හිමි වුණත් පරිවර්තකයාට තම නිර්මාණය ඉදිරිපත් කිරීමට ලැබෙන්නේ, එහි සීමාවක් පැනවූ කොටසක දී පමණයි.

* ඔබේ වෘත්තීමය ක්ෂේත්‍රය බැඳී පවතින්නේ කලාවෙන් බොහෝ දුරස් ලෙසින්?

මං හිතන්නේ විද්‍යාව සහ කලාව වෙන් කරලා අරගෙන තියෙන්නේ අප විසින්මයි. හැම විටම කලාවේ විද්‍යාවකුත් විද්‍යාවේ කලාවකුත් තියෙනවා. පාලමක් නිර්මාණය කිරීම ඉංජිනේරු ව්‍යාපෘතියක් වුණත් ඒ තුළ පවා විශාල කලාත්මක කොටසක් පවතිනවා. කලාව ගතහොත් එහි ද යම් තර්කාන්විත බවක් පවතිනවා. මේ දෙඅංශය එකිනෙක පෝෂණය වෙමින් පවතින්නක්. විද්‍යාප්‍රබන්ධ ක්ෂේත්‍රයට පැමිණෙනකොට මේ දෙක හරියටම අත්වැල් බැඳ ගන්නවා කිව්වොත් නිවැරදියි. මේ නිසා විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලද මට විද්‍යා පසුබිම් තුළ පවතින කතන්දර වගේම විද්‍යා ප්‍රබන්ධය තුළ වන කලාත්මක භාවිතාවන් තේරුම් ගන්න හැකියාවත් හිමියි. විද්‍යා අංශයට යොමු වුණත් උපතින් උරුම වූ කලාත්මක දක්ෂතා මැකී ගියේ නැහැ.

* සිනමා නිර්මාණයකට දායක වෙන්න තියෙන කැමැත්ත මොනවගේද?

පාසල් යන කාලයේ පටන් සිනමාවට විශේෂ කැමැත්තක් තිබුණා. ඒ වගේම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න ලොකු හීනයක් තිබුණා. මං හිතන්නේ හොඳම චිත්‍රපට වගේම වසන්ත ඔබේසේකර, එච්. ඩී ප්‍රේමරත්න, ධර්මසිරි බණ්ඩාරනායක වැනි විශිෂ්ට නිර්මාණකරුවන් බිහි වුණේ අපේ තරුණ කාලයේදී කියලයි. චිත්‍රපට බලන්න කැමැත්ත කොච්චරද කියනවා නම් උසස් පෙළ විභාගයට කලින් දවසෙත් චිත්‍රපටයක් බලන්න ගියා. ඒ කාලේ පුංචි පුංචි තිර රචනා එහෙමත් ලියලා තියෙනවා. ගුවන්විදුලි නාට්‍ය රචනා කිරීම තුළ එහි යම් ප්‍රමාණයක් ඇතුළත් වුණා. සිනමාවට මං ආසයි වගේම හොඳ සිනමා කෘති ඇසුරු කරනවා. සිනමාව විතරක් නෙවෙයි ඒ කාලයේ සංගීත අංශයෙන් පවා ඉතා පොහොසත් නිර්මාණ බිහි වුණා.

* සංගීත අංශයේදී ගීත රචනයට ඔබේ ලැදියාවත් විශේෂයි ?

පරිවර්තන සාහිත්‍ය වගේම ගීත රචනා එකතුවකුත් මා සතුව තියෙනවා. මුලින්ම මගේ ගීතයක් එළිදුටුවේ විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිටියදීයි. නවකයන් පිළිගන්න නවක හමුව වෙනුවෙන් ප්‍රසංගයට මිත්‍රයකු ලවා ගායනා කරන්න මම ගීතයක් රචනා කළා. ඒ ගීතයට තනුවක් නිර්මාණය කරන්න ගියේ කලණි පෙරේරා ළඟට. ඒ කාලේ දැන් වගේ නෙවෙයි නිර්මාණ ප්‍රීතිය පමණක් සලකලා තමයි නිර්මාණරුවන් තම නිර්මාණ බිහි කළේ. ඉතිං කලණි සංගීත නිර්මාණය කළ මගේ කුළුඳුල් ගීතය කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී මගේ මිතුරෙක් ගායනා කළා.

ඊට පසුව මගේ දෙවැනි කෘතිය විදියට 'නදී පියගැට' කෙටිකතා එකතුව එළිදකින වෙලාවේදී ධම්ම පදය ඇසුරෙන් මා ලියූ "සෙවිලි බිඳුණු පියැසි හිසින්" ගීතය විශාරද එඩ්වඩ් ජයකොඩි විසින් ගායනා කළා. එහි තනුව නිර්මාණ කළෙත් කළණි. විශාරද මාලිනි බුලත්සිංහල ගීතාංජලියේ එන "දවස නිමා වී නම්" කවිය ගීතයක් ලෙසින් ගායනා කළා. එහි සංගීතය නිර්මාණය කළේ එච්. එම් ජයවර්ධන. ප්‍රදීපා ධර්මදාස ධර්මදාස, විශාරද දීපිකා ප්‍රියදර්ශනීත් මා ලියූ ගී ගායනා කළා. මේ විදියට විටින් විට රචනා කළ ගීත තිබුණා. "ඉතිං අවසර දමා යන්නට හන්තාන කුමරී" ගීතය සහ "හෙමින් හෙමින් එබිකම්කර" යන ගීත දෙකම ගායනා කරන්නේ දයාන් විතාරණ.

* කලා කටයුතුවල නිරතවීමෙන් ඔබ ලබන තෘප්තිය ගැනත් සඳහන් කළොත්?

නිර්මාණකරුවෙකුට නිර්මාණ කිරීමෙන් වගේම එය තවත් කෙනෙකු පරිහරණය කර රස විඳීනු දැකීමෙන් විශාල තෘප්තියක් දැනෙනවා.

මං හිතන්නේ ලෝකය මැවූ පසු දෙවියන් වහන්සේටත් දැනෙන්න ඇත්තේ, මේ වගේ ප්‍රීතියක්.