වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




දැන් හරි

මගේ නාට්‍ය තුනක් DVD මාධ්‍යයෙන් එළිදැක්කා

අසෝක සෙනරත් මුදලි

මෙහෙවු රටේ, නායකයා, සැරද යමලෝපති, කැකුළි, සාජන්ට් සින්නතම්බි, දේ්ශද්‍රෝහියා, ඇනකොන්ඩා වැනි වේදිකා නාට්‍ය ගණනාවක් නිර්මාණය කළ නාට්‍යවේදී කලාභූෂණ අසෝක සෙනරත් මුදලිගේ විසින් ඔහුගේ ජනප්‍රිය වේදිකා නාට්‍ය ත්‍රිත්වයක් DVD ත්‍රිත්වයක් ලෙසින් එළිදැක්වීමට 30 වැනිදා නුගේගොඩදී සූදානම් වේ. මේ ඒ පිළිබඳ ඔහු සමඟ කළ පිළිසඳරකි.

මොකක්ද මේ අලුත් සූදානම?

මගේ ජනප්‍රිය වූ වේදිකා නාට්‍ය ත්‍රිත්වයක් වන දේශද්‍රෝහියෝ, ඇනකොණ්ඩා, සිකියුරිටි සින්නතම්බි යන වේදිකා නාට්‍ය ත්‍රිත්වය DVD ත්‍රිත්වයක් ලෙස එළි දැක්වීමටයි සූදානම. එහි විශේෂත්වය වන්නේ ඒ ඒ නාට්‍ය වේදිකා ගත කළ කාලවලදී මහජන ප්‍රදර්ශනය සිදුවන අවස්ථාවලදීම මෙම නාට්‍ය මා විසින්ම සජීවීව කැමරාගත කරපු ඒවා වීමයි.

කොයි කාලවලදී ද මේ නාට්‍ය පටිගත කළේ, ඒ නාට්‍ය තුන ගැන විස්තර කළොත්?

දේශ දෝහියෝ 2010 දී. ඇනකොණ්ඩා 2013 දී. සිකියුරිටි සින්නතම්බි 2015 දී. මේ නාට්‍යයේ තමයි අප අතුරින් වියෝ වූ ජනප්‍රිය නළු හා ගායක දීපාල් සිල්වා අවසන් වරට රඟපෑවේ. දේශද්‍රෝහියෝ නාට්‍ය සිංහල පරංගි ඉතිහාස සමය අලළා ලියවුවක්. ඇනකොණ්ඩා දේශපාලන ප්‍රහසන නාට්‍යයක්. සිකියුරිටි සින්නතම්බි සමාජයේ අර්ථවත් කථා පුවතක් රැගත් නාට්‍යයක්.

ඇයි ඔබේ නිර්මාණ DVD තැටියකට පටිගත කරන්න සිතුවේ?

ඇත්තටම මගේ නාට්‍ය DVD ලෙස එළිදක්වීමට මට අදහස පහළ වුණේ 2010 දී. අද වෙනකොට ටෙලි නාට්‍ය, චිත්‍රපට ආදී සියල්ලම සංරක්ෂණය කරන්න ක්‍රමයක් තියෙනවා. නමුත් වේදිකා නාට්‍ය නිර්මාණයක් පසුකාලීනව වෙනත් නිර්මාණකරුවෙක් අතින් නැවත වේදිකා ගත කිරීමක් සිදු කළොත් ඇරෙන්නට ඒවා අනාගතයට ආරක්ෂා කරගන්න ක්‍රමයක් නෑ. මට අවශ්‍ය වුණේ මගේ නිර්මාණ ඒ ආකාරයෙන්ම අනාගතයට සංරක්ෂණය කරලා තියන්න. ඒකයි මම 2010 ඉඳලා අවුරුදු 7 ක් බලන් ඉඳලා එකවර නිර්මාණ තුනක් මේ විදිහට එළි දක්වන්න හිතුවේ.

ඔබේ DVD නිසා ඔබේම නාට්‍ය නරඹන්න ප්‍රේක්ෂකයෝ අඩු වුණොත්?

එහෙම වෙන්නේ නැහැ. වේදිකාව කියන්නේ සජීවී නැරැඹීමක්. DVD බලන්න කැමති අය DVD ඔස්සේ නාට්‍ය නරඹයි. වේදිකාවේ බලන්න කැමති අය ශාලාවට එයි.

මෙතනින් පසු ඉදිරි වැඩ කටයුතු මොනවාද?

'මරණය අභියසදී' 'On the Threshod of Death' නමින් විනාඩි විස්සක කෙටි චිත්‍රපටයක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. දැනට එහි රූපගත කිරීම් කරලා ඉවරයි. කලා ජීවිතයේ හෙමින් ඉදිරියට යන්නයි බලාපොරොත්තුව. ඉක්මන් ගමන් මගේ නෑ.


හෙට මහ මුහුද 25 වන වරට ගොඩට ගලයි

- ස්ටැන්ලි හෙට්ටිආරච්චි

'මහ මුහුදත් ගොඩට ගලයි' කරළියේ කඩතිර විවර කරයි.

එනම් හෙට ජූලි 14 වන දින සවස 6.30 ට එහි 25 වැනි දර්ශන වාරය කොළඹ ලුම්බිණි රඟහලේදී වේදිකා ගත කිරීමට නියමිතය.

එහි නිර්මාණකරු කලාභූෂණ ස්ටැන්ලි හෙට්ටිආරච්චිය. ඔහු 70 දශකයේ ධම්ම ජාගොඩගේ රංගන ශිල්ප ශාලිකාවෙන් රංගනය හදාරා, විනී රංවලගේ 'විදුර' සහ 'ගැහැනියක් නිසා' යන වේදිකා නාට්‍ය නිර්මාණ තුලින් රංගනය අත්පොත් තැබූවෙකි. එතැන් සිට මේ දක්වා වේදිකා නාට්‍ය 250 ක පමණ රංගනයෙන් දායක වූ ඔහු 'ජෙනරල්', 'මුහන්දිරම් හාමුදුරුවෝ', 'පාරා', 'පියෙහි විප්පයෝගෝ' යන නිර්මාණවලට දායක වෙමින් සුවහසක් නාට්‍ය ලෝලීන්ගේ මනදොල සපුරාලන රංගනයන් හී නිරත වී පෘථුල අත්දැකීම් ලැබූවෙකි.

ක්ෂේත්‍රයට පැමිණි මුල් වකවානුවේදී 'ලිපට පනින පළඟැටියෝ' සහ 'සුන්නද්දූලි' වේදිකාවට ගෙන ආ ස්ටැන්ලි, 1990 වසරේදී 'එනුවරේ ගීතය' වේදිකා ගත කළේය.

මෙහි ප්‍රධාන චරිතය නාට්‍යයේ සංවිධාන කටයුතු ද මෙහෙයවමින් ප්‍රවීණ රංගන ශිල්පිනී රත්නා සුමනපාල විසින් නිරූපණය කරනු ලබන අතර ජයරත්න රූපසිංහ, මානෙල් කුමාරි, සුනිල් ලියනආරච්චි, දයානන්ද හේවගේ, අසංක බාලසූරිය යන ක්ෂේත්‍රයේ අනෙකුත් ප්‍රවීණයන් සමඟ නිශාන්ත සතරසිංහ සහ සැම්සන් පෙරේරා යන නවක ශිල්පීන් ඉදිරි දර්ශන සඳහා රංගනයෙන් එක්වීමට නියමිතයි.

'මහ මුහුදත් ගොඩට ගලයි' ඉදිරි දර්ශනවලදී වේදිකා රංගනයට පිවිසෙන නවක ශිල්පීන් දෙදෙනකි. ඉන් එක් අයෙක් සැම්සන් පෙරේරාය. ඔහු විශ්‍රාමික බැංකු කාර්ය මණ්ඩල සාමාජිකයෙකි. විමලා ජයවර්ධනගේ 'සීතා', රෝලන්ඩ් අබේසිංහගේ 'ගිජුලිහිණියෝ', මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 'සරුංගලේ' යන සිනමා නිර්මාණ සඳහා මෙන්ම මෙරට රූපවාහිනී නාළිකාවල විකාශය වූ 'ඉස්සරහට යන්න', 'අත්තම්මා', 'පුංචි වලව්ව', 'නීල පුළිඟු දිය', 'දූවිලි මල්' සහ වෙළෙඳ දැන්වීම් සඳහා රංගනයෙන් දායක වී තිබුණ ද මෙය ඔහුගේ පළමු වේදිකා රංගන අත්දැකීමයි.

මෙහි අනෙක් නවක රංගන ශිල්පියා නිශාන්ත සතරසිංහයි. ඔහු ලංකාවේ රූගත කළ හින්දි සිනමාපටයක රංගනයෙන් දායක වූවෙක්. වේදිකාවේ රංගන අත්දැකීම් මෙතෙක් නොලැබුව ද, රංගන අභ්‍යාස, කටහඬ පාලනය, වේදිකාව මත සංයමය හා විනය යනාදී බොහෝ අංශ මනාව ග්‍රහණය කර ගැනීමට මෙම නාට්‍ය හා සම්බන්ධවීම උපකාරී වූ බව ඔවුන් පැවසුවේ නිර්ලෝභීවමය.

නිර්මාණයේ අන්තර්ගත තාත්වික රංගන ශෛලිය ඔස්සේ යම් යම් සිදුවීම් ප්‍රේක්ෂකයා වෙත වඩාත් තීව්‍රව ගෙනහැර දැක්වීමට අපේ පැරැණි සම්ප්‍රදායික බලි තොවිල් යනාදියේ එන සමහර අංග සහ අදාළ සංගීත භාණ්ඩ බොහෝ විට උපයෝගී කරගැනීම මෙහි එන තවත් විශේෂත්වයකි. විශාරද චන්ද්‍රා අරංගල්ලගේ සංගීතයෙන්, සුනිල් සමරකෝන්ගේ ආලෝකරණයෙන් සහ සිරිනාථ වික්‍රමසිංහගේ ඇඳුම් නිර්මාණයෙන් වඩාත් හැඩගැන් වී ඇති 'මහ මුහුදත් ගොඩට ගලයි' රචනය නාරත් ඒ. ටී. ගුරුසිංහ විසිනි.

වේදිකා නාට්‍යකරණය සඳහා කිසිදු අනුග්‍රාහකත්වයක් නොලැබෙන මෙවන් වකවානුවක 70 සහ 80 දශකවල පැවති වේදිකා නාට්‍ය ස්වර්ණමය යුගය නැවත උදාකරලිමට හැකි උපරිමයෙන් දායකවීම තම අරමුණ බව මෙහි නිර්මාණකරු, කලාභුෂණ ස්ටැන්ලි හෙට්ටිආරච්චි අප සමඟ පැවසුවේය.

ඔහුගේ අරමුණ එය නම්, නුදුරු අනාගතයේදීම එය සඵලවනු දැකීම අපගේ ද අරමුණයි.


රසාංගී ගේ රස සර ගී

සංගීතාචාරිණී රසාංගි ද මැල්ගේ 38 වසරක සංගීත දිවිය සමරා නොමිලේ ඉදිරිපත් කරන 'රස සර ගී' ඒක පුද්ගල ගී ප්‍රසංගය හෙට ජුලි මස 14 වෙනි සිකුරාදා සවස 5.00 ට මතුගම සි. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විදුහලේ පියසේන කොඩිතුවක්කු රංග ශාලාවේදි පැවැත්වේ.

එදින ඇය නව ස්වතන්ත්‍ර නිර්මාණ හා ජනප්‍රිය ගීත රැසක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර ඇය සමඟ යුග ගායනයෙන් මාධ්‍යවේදී, ගුවන් විදුලි ගායන ශිල්පි සොයුරු ගීත් ද මැල් ඇතුළු ප්‍රවීණයෝ ද එක් වෙති.

ගී පද රචනයෙන් සමන් චන්ද්‍රනාත් වීරසිංහ, පීලික්ස් සිල්වා, ආචාර්ය අජන්තා රණසිංහ, එම්. එච්. ප්‍රසන්න නන්ද කුමාර, දෙල්තොට චන්ද්‍රපාල, ධර්මසිරි ගමගේ, ආරියසේන අහංගම, ඉංජිනේරු ජයසේකර බණ්ඩාර හා ආනන්ද එස්. විජේසිරි දායක වී ඇති අතර ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු, පියල් ප්‍රනාන්දු, නවරත්න ගමගේ, එච්. එම්. ජයවර්ධන, බන්දු එස්. කන්නන්ගර හා මර්වින් පෙරේරා යන සංගීත ශිල්පීන් ගී තනු නිර්මාණය කර ඇත. මෙම ප්‍රසංගයේ සංගීතය මෙහෙයවීම සංගීතඥ පියල් ප්‍රනාන්දු ප්‍රමුඛ ප්‍රවීණ වාද්‍ය වෘන්දයෙනි. කථනයෙන් ප්‍රවීණ රූපවාහිනී නිවේදක ඉන්ද්‍රසිරි සුරවීර එක්වේ.

එදා ගුවන් විදුලි මහගෙදරින් ගායන අත්පොත තැබූ ඇය විශාරද නන්දා මාලිනීගේ ළමා මණ්ඩපයට දායකවීමේ භාග්‍ය උදාකර ගනී. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 'ඒ' ශ්‍රේණියේ ගායන ශිල්පිනියක ලෙස කටයුතු කරන ඇය මීට වසර 10 කට පෙර 2007 දි 'රසාංගි ස්වර දැහැන' නමින් ඒක පුද්ගල ගී ප්‍රසංගයක් මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයේදී පවත්වා ඇත.

මොරටුව උයන කණිටු විදුහලෙන් අධ්‍යාපනයේ අත්පොත් තැබූ රසාංගි ද මැල් පසුව මොරටුව වේල්ස් කුමරි විදුහලට ඇතුළත්වීමෙන් අනතුරුව එහි සංගීත ගුරවරිය ලෙස කටයුතු කළ අතාවුද ආරච්චි ගුරු මෑණියන්ගේ හා කොළඹ මරදාන ආනන්ද බාලිකා විදුහලට ඇතුළත් වී එහිදී ගායන විශාරද මාලිනී බුලත්සිංහල ගුරු මෑණියන්ගේ මඟපෙන්වීම යටතේ සංගීතය හැදෑරීමේ භාග්‍යය උදාකර ගත්තාය. විශාරද මාලිනී බුලත්සිංහලයන් ඇගේ සංගීත කුසලතාවයන් හඳුනාගෙන පසුව මාලිනී බුලත්සිංහල ගුරු මෑණියන්ගේ 'ආරාධනා ස්වර දැහැන' සංගීත වැඩසටහන සඳහා සහාය ගායිකාවක ලෙස සහභාගිකර ගත්තාය.

රසාංගි ද මැල්ගේ සංගීත දැනුම පුළුල් කරගැනීමට මඟ පෑදූ සංගීත ආචාර්යවරුන් වන ප්‍රේමදාස මුදුන්කොටුව, රෝහණ බැද්දගේ, සනත් නන්දසිරි, එච්. ඩී. ජයසේකර, කෝලිත භානු දිසානායක, ආරියදාස රණවක, සන්ධ්‍යා කුමාරි, සෝමදාස පීරිස්, සුදත් වික්‍රමසිංහ හා ත්‍යාගරාජා යන ගුරු භවතුන් හා ගිරාගම සෞන්දර්ය ගුරු විදුහලේ සංගීතාචාර්යවරුන් වන මහින්ද ප්‍රේමරත්න, ශාන්ත ගීතදේව, නිශාද් සඳුන් පතිරණ, අමිත බණ්ඩාර හා රමණී පුෂ්පලතා සිල්වා කෘතවේදීව සිහිපත් කරයි.

ඇගේ සංගීත දිවියට අත්වැලක් වු සංගීතඥ ස්ටැන්ලි එම්.ප්‍රනාන්දු, පියල් ප්‍රනාන්දු, බන්දු එස්. කන්නන්ගර හා පීලික්ස් සිල්වා සිහිපත් කරනුයේ ඉමහත් හදපිරි සතුටිනි.

හිටපු විදුහල්පති පියසේන කොඩිතුවක්කු, ආනන්ද වීරසිංහ වර්තමාන විදුහල්පතිනි වසන්තා කුලසේකර නියෝජ්‍ය විදුහල්පතිවරුන් හා සෞන්දර්්‍ය අංශයේ ගුරු මහත්ම මහත්මීන් ඇතුලු ආචාර්ය මණ්ඩලයෙනුත් සිසු දැරියනුගෙනුත් ලද සහයෝගය ස්තූතිපූර්වකව සිහිපත් කරයි.

නව ස්වතන්ත්‍ර නිර්මාණ ගීත 14 ක් ඇතුළත් සංයුක්ත ගී තැටියක් එදින එළිදැක්වේ.