වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




“තුරුණු හදගැස්මේ ශබ්දාලංකාරය” නිමෝ ලයිව් සිනමා විමසුම

“තුරුණු හදගැස්මේ ශබ්දාලංකාරය” නිමෝ ලයිව් සිනමා විමසුම

තිසර ඉඹුලාන තරුණ අධ්‍යක්ෂවරයාගේ 'නිමෝ ලයිව්' කුලුඳුල් චිත්‍රපටය අසීමාන්තික බැමි බිඳ දමා ආලයේ තුරුණු සීමාවන් විනිවිදව සාකච්ඡා කිරීම නම් වූ පෙලඹවීමකට ඉඩහසර විවර කරයි. හිතේ තැවරෙන හිතට හිත යා වෙන සීමාවක් නැති ප්‍රේමලාප ආසක්තතාවන් සාකච්ඡා කෙරෙන 'නිනෝ ලයිව්' හි ප්‍රකාශිත සජීවි යථාර්ථය මෙහි ගැඹුර වේ.

මහා සසල වන චිත්ත වේග සපිරි තුරුණු පරම්පරාවක සිතිවිලි මත ජනිත අකර්ෂණීය කතාවකි. අලුත්ම අලුත් ප්‍රස්තුතයක් ඇදහිය හැකි තරමේ ජනප්‍රිය මෝස්තරයකට අපූරු මාදිලියකි. සිතුවිලි තුළින් උද්දාමයට පත් විය හැකි අරුමැසි යථාර්ථයක් දෘශ්‍යමාන ෙමි අපූරුව ඇසට ඇස මායිම් කිරීමක් වැන්න.

බුදු දහමේ කියැවෙන චතුරාර්ය සත්‍යයේ භාෂිතයකි. ජිවිතයේ දුක්ඛ සත්‍යය නිරූපිත අධ්‍යාත්මයක නිරූපණ මාදිලිය සෞන්දර්යයක් එහි ප්‍රතිවිරෝධී පාර්ශ්වයන් අතර දෝලනයක් මෙහි වෙයි. ගෙවීගිය දශකය තුළදී සිංහල සිනමාවට 'අබා' ගෙන ආ යළිත් ජනප්‍රිය සිංහල සිනමා සංස්කෘතියේ ධාරාව රජ කතා, බණ කතා, ප්‍රහසන කතා මාදිලිය ඔරොත්තු නොදෙන තරමට යළි යළි එමින් පැමිණ බිඳ වැටෙද්දී සිදු වූ ප්‍රති විරෝධයට ප්‍රතික්ෂේපයට 'නිනෝ ලයිව්' අද පරපුරට මාහැඟි දෙයකි. පිළිතුරකි. මෙය ජනප්‍රිය සිනමවේ එක් පැතිකඩකට යා වන චිත්‍රපටයකි. නමුත් අද දවසේ සිංහල සිනමාව තුළ ඊට ඇති ඉඩහසර සීමා වී තිබේ. (බොහෝ සිනමාහල්වල ප්‍රදර්ශනය වීම දිනකට දර්ශන එකකි. දෙකකි).

නව පරපුරේ ආකර්ෂණීය සිනමා රටවාකට යමක් එකතුවීම අහම්බයක් වී හමාර වූ යුගයක පසුගිය දෙවසර තුළ තාරුණ්‍යයේ සිනමා නිර්මාණ එකක් හෝ දෙකක් දැකගත හැකිවීමද භාග්‍යයකි. ඒ මත වින්දනයට ඉඩක් ඉතිරිව තිබීම ද යහපතකි. සිංහල සිනමාවේ ඉදිරි පැවත්මට සුබ ලකුණකි. තුරුණු අධ්‍යක්ෂවරුන්ට තුරුණු චරිතාංග රූපණ ශිල්පින්ට ද දිරියකි.

සිංහල සිනමාවෙන් ගිලිහී ගිය ජනප්‍රිය සිනමාවේ හීන රූපවාහිනිය හරහා එස්. එම්. එස්. භාවිතාව මත පදනම්ව එකතු වූ නව රටාවේ බිඳ වැටුණු සීමා මායිම් නවමු බවකට පෙරලුණත් ක්‍රමයෙන් අද වන විට බිඳ වැටී හමාර බව ඇස් පනාපිටම ඔප්පු වී තිබේ. ඒ තුළ පෞද්ගලික දුරකථන සන්නිවේදන ආයතන පුංචි එස් එම් එස් එක ලක්ෂ ගණනින් ව්‍යාප්තව ලාබ ලැබීමේ තෝතැන්නක් බවට පත්වීම සිදු වී තිබුණු බව නම් නොරහසකි.

වෙනස් ආකෘතීන් දැක ගැනීමේ හීන සනාථවීමක් 'නිනෝ ලයිව්' තුළ දැකගත හැකිව තිබේ. ඇස ඇරී මතුවන නවමු සිනමා රැල්ලක ප්‍රගතියේ අරුණැල්ලකට නිදසුනකි.

විචක්ෂණයෙන් ඔප් නැංවුණු සිත් ගන්නා අලයක් නොවන ආල වෘත්තාන්තයක් මෙහි පසුබිම් වී තිබේ. එය ආලේපිත අත්දැකීමකි. තාරුණ්‍යයේ රසබර හරයක් ලෙස රසජනනයෙන් දැනෙයි. ෂොන් පියර් ෂූනේ ගේ 'අමෙලි' චිත්‍රපටයේ යම් යම් අන්තර්ගත රූපණ භාවිතාවෙන් මුල් අදියරේ දී භාවිත වී තිබේ.

කඳුළු සලමින් රූපවාහිනයේ දෙබස් කපා අපේ ඇසට කවන අදටත් ඇබ්බැහි වී සිටින තරුණ වෘද්ධ ගෘහ පරම්පරාවක් බිහිව සිටින ශ්‍රී ලංකාවේ ආභාසයට 'නිනෝ ලයිව්' යථාර්ථවාදී වැඩ කොටසක් ඉටුකර ඇතැයි හැඟේ. මුහුණු පොතට, අන්තර් ජාලයට ඇස් යවන පරම්පාරවටත් හොඳ ඇසකින් දකින්නට රිසි චිත්‍රපටයකි. තුරුණු ආකර්ෂය මුසු රූපණ පරම්පරාවක ගතිලක්ෂණ රූපණ මෙහි ඇති යහපත් අපේක්ෂාවන් වේ.

සිද්ධි රූපෟණ භාවිතාව තිසර ඉඹුලාන නම් වූ තරුණ අධ්‍යක්ෂවරයා මැනවින් හඳුනාගෙන 'නිනී ලයිව්' චිත්‍රපටයට එක්කර තිබීම ගරු කටයුතුය. 'හාදුවට පෙර පැලට් එක' ගලවන්නදැයි ඇසීම නිදසුනකි.

සිද්ධි හරහා ජීවිත තතු ගලා යන සැහැල්ලුව ලස්සන වගේම වින්දනාත්මක ලෙස විඳිය හැකි තරම්ය. ජනප්‍රිය සිනමාවේ හැරවුම් රේඛාවක් වැන්න. එහි වගකීම්, ප්‍රචාරය, සිනමා ශාලාව හරහා ප්‍රේක්ෂකයාට පැවරෙන බව නම් කිව යුතුමයි. එසේ නොවුණහොත් ලත්තැනම ලොප් වීම අභාග්‍යයකි. අරුමයක්ම නොවන්නේය.

රූපණ හා මුසුවන සංගීතය ගී ගායනාවෝ අර්ථාන්විතය. භාවාත්මකය. සංවේදිශීලීය. රියැලිටි ධාරාවෙන් උපන් සංඛ දිනෙත්ගේ ගී රාවයේ හද ගැස්ම ඊට හොඳම සාධකයකි. හෙට දවසට ඉතිරි කරන අලුත් මතකයකි.

"ඔබේ ආදරේ සොයා යන්න

ඔබේ තුරුලේ සනසවන්න

උරහිසේ හිස තියා ගිම් නිවන්න

මියෙන්නට පෙර . . .

මොහොතක් ජීවත් වෙන්න . . . ජීවත් වෙන්න . . .'

මේ එක නිදසුනකි.

මෙහිදී බහුතර ජීවිතයේ විඳින විඳවන සමහර තැන් ගැන කියන්නට ගත් උත්සාහයන් අසාර්ථක වී නොමැති තරම්ය.

දුර්වලතා ද නැත්තේ නොවේ. එහෙත් බැලූ දේ සිතින් සිතා යළි විඳින්නට හැකි හදින් කියවා හදවතකට කතා කරන භාෂාවක්, රූපණ රටාවක් කැමරා කෝණ භාවිතාවක් තිබේ.

නීරූප ඡේදන පසුබිම් වූ රූපණ භාවිතා සංකලනය වූ චන්න දේශප්‍රියගේ කැමරා භාවිතාව තුළ අත්විඳිය හැකි විශේෂතා තිබේ. රූපතල මත හරස් සරල රේඛා භාවිත රූප, වර්ණ සංකලන ඉස්මතු කරවීම, දුරස්වීම අතර හිඩැස නිමෝ පදවන ස්කූටරය කෘත්‍රිම පුවරුවක ස්ථානගතවීමේ රූප ඡේදන මුසුව අපූරු හැඩයකි. කැමරා මායාවේ ඇස අලංකාර කරවන හැඩරුව විද්‍යාමාන වීමකි. ගලා යාම අර්ධ ධාවනරූපී රූපචලන භාවිත බොඳවීම රූපණරුව ඉස්මතු වීම රූපමය අධ්‍යයනයකි.

අවසානය අපූරු ප්‍රතිපූර්ණයකි. සුනිල් ටී. ප්‍රනාන්දුට ගෞරවයක් හිමිවන්නේ මෙවැනි සිනමා කෘති ප්‍රදර්ශනයට නොමසුරුව අවකාශ සලසා දායක වීම නිසාවෙනි.

භාෂාවක් නැති ආදරය සපථ නොවන බැවින් එය මොනතරම් දිගු එකක්ද? පැලට් එක අත ඇතිව පෙම්වතිය සොයා යෑම යථාරූපී සිහින මත දිග හැරෙන තුරුණු යථාර්ථය කියැවීමකි. යෞවනයේ රියැලිටි සිහින රිද්මයේ චමත්කාර ජනක උන්මාදනීය අහඹු ඇසිදිසි වින්දනයක ඇරයුමකි.

'නිමෝ ලයිව්' කිරුළු නොපැලැන්දූ තුරණු කිරීටය මත නැගෙන තුරුණු හද ගැස්මේ ශබ්දාලංකාරය අර්ථ රසයෙන් ප්‍රතිපූර්ණය විමක් වැනි සේම, සලිත කරවමින් ආරම්භයේ පටන් තවමත් ඔහු අප හා ආත්ම භාෂණයක යෙදෙයි.

අසීරු ලෙස ඵල නෙලාගැනීමට යෑම තුළ වෙන්වීමක් ද, වෙන්කරකවිමක් ද යන පැනය පිළිතුරු විරහිත කුකුසකි. රස භාව ඉදිරියට ගිය ඉමක් සොයා ගත නොහැකි වන්නේ ද එබැවිනි. 'නිනෝ ලයිව්' චිත්‍රපටය අමාරුවෙන් තේරුම් ගත යුතු සීමා මායිම් නැති අහම්බයකි.