වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




පූනා සරසවියේ සිනමාව ඉගෙන ගන්නේ මෙහෙමයි

පූනා සරසවියේ සිනමාව ඉගෙන ගන්නේ මෙහෙමයි

කළපුවේ ලස්සන බලමින් ඉන්දියාවට

බොම්බාය මඟහැර සිනමාව සොයා ගියෙමි

මේ අත්දැකීම විස්තර කරන මා සිනමා ප්‍රේමියෙකි. එය ඉගෙනීමට ඇල්ම ඇත්තෙකි. සරසවියේ දායකයෙකි. මුලින්ම මා කිව යුත්තක් ඇත. සිනමාව සොයා යාම සොයා ගත නොහැකි ව්‍යාධියක් වැළඳුණා වැනිය. සරළවම කිවහොත් එය ඇඟේ අමාරුවකි. හැදුන කෙනාට රෝගය හරිහැටි විස්තර කිරීමට පවා නොතේරේ. කලකටපෙර මාගේ මිත්‍රයෙකු ද වන අංකුර සිනමාකරුවෙක් මේ ගමන ගැන මට රස කර කර කිවේය. ඔහු ද රසය විඳි අයෙක්. ඔහු එය එසේ කී නිසා මට ද රස කරන්නට ආසාවක් සිත් විණි. මේ ගැන මට ඔන් ලයින් අප්ඩේට් එක දුන්නේ විමුක්ති ජයසුන්දරයි. එක්තරා සන්ධ්‍යාවක මුහුණු පොතෙන් ඔහු ලින්කුව හෙවත් සබැඳිය එවා තිබුණි. එහෙත් මාද රස සිතෙන් මවා සිටි බොම්බාය මඟහැර සිනමාව සොයා යන මාර්ගය විවර කර ගත්තෙමි.

එය වෙන කිසිවක් නොව බොම්බාය මඟහැර පූනේ නගරය කරා යන මාවතයි. ඉන්දියාවේ ප්‍රකටම සිනමා විශ්වවිද්‍යාලය මෙන්ම ඉන්දියාවේ සිනමා උරුමය තැන්පත් කර ඇති ඒ සුවිසල් නගරය පූනේ නගරයයි. රැකියා විරහිත මා එය දැකි විගසම අයදුම් කර සම්මාදම් එකතු කොට ගෙන හෝ පූනේ යාමට අදිටන් කොට ගතිමි.

එක්තරා උදෑසනක කටුනායකින් පිටත් වුණ 9එ 256 ගුවන් යානයෙන් මම බොම්බාය හෙවත් මුම්බායි බලා ඇදිණි. උදෑසණක හිරු නගින වෙලේ කටුනායකින් ඉගිල්ලුණු කෙනෙකු මීගමු කලපුවේ ඇති අලංකාරය විඳ ඇතුවා නිසැකය. මා ද එහි ලස්සන බැලුවේ මීට පෙර එය අත්නොවිඳි නිසාවෙනි. පූනේ බලා යාමට ඇති අඩු වියදම්ම ක්‍රමය මූම්බායි බලා ගොස් පූනේ දක්වා බස් රථයකින් ගමන් කිරීමය. එමෙන්ම එය කාර්ක්ෂම ක්‍රමයකි. මා ඇදෙන්නේ පූනේ හි පිහිටි ඉන්දීය රූපවාහිනි හා චිත්‍රපට ආයතනයටයි. ඉන්දියාවේ ප්‍රකටම සිනමා විශ්වවිද්‍යාලය වන්නේ එයයි. මුම්බායි සිට කිලෝ මීටර් 170 ක් පමණ දුරින් ඇති පූනේ කලබලකාරී නගරයකි. ඉන්දියානු ජනගහන වාර්තා අනුව එය ඉන්දියාවේ 9 වැනි විශාලම නගරයයි. පුදුම එලවන සුලු කරුණ නම් එතරම් මහා නගරයක් මැද නිස්කලංකභාවයෙන් පිරුණ මහ ගස් කොළන් ඇති ස්ථාන මෙන්ම මාර්ග අනන්තවත් ඇති බවයි. එය පුදුමාකාර සෙවණක් ඇති කරන අතර මහත් සිසිලසක් ද ඇති කරයි.

ඉන්දියානු රූපවාහිනී හා චිත්‍රපට ආයතනයේ දිගුකාලීන හා කෙටිකාලීන පාඨමාලා රැසකි. 1960 දී ඉන්දීය චිත්‍රපට ආයතනය ලෙසින් ඇරැඹි මෙම විශ්ව විද්‍යාලය අද රූපාවාහිනි මාධ්‍යයෙන් ප්‍රමුඛ අධ්‍යාපනයක් දෙන තැනකි. එහි අධ්‍යයන අංශයන්ගෙන් චිත්‍රපට අංශය ප්‍රමුඛ වන අතර අධ්‍යක්ෂණය, තිර රචනය, රංගනය, කැමරාකරණය, ශබ්ද පටිගත කිරීම හා සැලසුම්කරණය, සංස්කරණය හා කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් දිගුකාලීන පාඨමාලා මෙහෙයවනු ලැබේ. එමෙන්ම මෑතකදී ඔවුන්ගේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවන් සියල්ල පශ්චාත් උපාධි විද්‍යාපති නාමයෙන් පිරිනැමීම දක්වා උසස් කෙරිණි. මා මෙහිදී අවධානය යොමු කළේ ලංකාවෙන් පූනේ ගිය බොහෝ දෙනා ඉතා ඉහළින් අගය කළ කෙටිකාලීන පාඨමාලාවක් වෙතයි. එය නමින් 'සිනමා රසවින්දනය පිළිබඳ ග්‍රීෂ්ම සෘතු පාඨමාලාව' නම් වේ. ඉන්දීය චිත්‍රපට ආයතනය මෙම පාඨමාලාව මෙහෙය වුව ද පාඨමාලවේ භාරකාරිත්වය දරන්නේ ඉන්දීය ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරයයි. දීර්ඝ ඉතිහාසයක් ඇති මෙම පාඨමාලාවට 2017 වර්ෂයේදී අවුරදු 42 කි. පාඨමාලාව වඩාත් අනර්ඝ නමක් දිනා ඇත්තේ පැමිණෙන්නන් කොයි මට්ටමෙන් පැමිණියත් ඔවුන් එය හමාර කරන්නේ වඩාත් ප්‍රබෝධමත් සිනමාවට ආලයෙන් බැඳි මිනිසුන් ලෙසට වීමත්ය.

වඩාත් සිත් ගන්නා සුලු කරුණ නම් පාඨමාලාවට ඇතුල්වීම සඳහා චිත්‍රපට ආයතනය විශාල නිර්ණායක ඉදිරිපත් නොකිරීමයි. අත්‍යවශ්‍යම නීර්ණයක වූයේ වයස 21 ට වැඩිවීමත් අයදුම්කරුට එකී පාඨාමාලවට ඇතුළත්වීමට අවශ්‍ය ඇයිද යන්න හේතු දක්වීමක් පමණමය. කොටින්ම එයට දේශ සීමා බේද නැත. අධ්‍යාපනික පසුබිම් අදාළ නැත. විවිධාකාර ප්‍රාන්ත රට රාජ්‍යවල විවිධාකාර වෘත්තීන්වල විවිධාකාර බුද්ධි මට්ටම්වල ගැහැනු පිරිමි සමඟ සිනමාව කතා කිරීම පමණක් චිත්‍රපට ආයතනයේ අරමුණ විය. ඹඹඹ.දටචඪ.ඨධම.ඪද වෙබ් ලිපිනයෙන් පූර්ව කටයුතු කළ මා ඊළඟට මුණ ගැසුණේ නව පරපුරේ ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂවරයකු වන ධනුෂ්ක ගුණතිලකයි. ධනුෂ්ක පූනේ චිත්‍රපට ආයතනයෙන් කැමරාකරණය හදාරා විටෙක එහිම ඉන්දියානුවන්ට කැමරාව අතපත ගෑමට ඉගැන් වූ අයෙකි. 'ඒක වෙනම ලෝකයක්. ගිහිල්ලා වරෙන්' ඔහු කීවේ එපමණකි.එය සත්‍යයක් බව මට තේරීමට එතරම් කල් නොගියේය. ඒ ගැන මම පසුවට හෙළි කරමි.

මෙවර 42 වන පාඨමාලාවට තෝරා ගත් මුළු අපේක්ෂක සංඛ්‍යාව 85 කි. එයින් දෙදෙනෙක් ශ්‍රී ලංකාවෙනි. ඒ මම සහ තවත් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියකි. අනෙක් සියල්ලන්ම ඉන්දියානුවන්ය. පාඨමාලා ගාස්තු වශයෙන් අය කෙරුණේ ඉන්දියන් රුපියල් 15,000 කි. අයදුම් පත්‍ර ගාස්තුව ඉන්දියන් රුපියල් 600 කුත්, නවාතැන් ගාස්තුව වශයෙන් රුපියල් 8500 කුත් එම සති 4 ක කාලය පුරා එක් අපේක්ෂකයකු ගෙවිය යුතු විය. එම මුදල ලංකාවේ මුදල හා සැසඳුවහොත් මාසයක කාලයක් සඳහා ලාභදායක මුදලක් මෙන්ම ආයෝජනයක් බව සිතා ගැනීමට හැකිය.

මැයි මාසයේ මුල ආරම්භ කළ රසවින්දන පාඨමාලාවේ සැබවින්ම මා හට නැවුම් දිනයක් විය. උපදෙස් කට්ටලයක් හැඳුනුම්පත් ඇතුව අලංකාර රෙදි මල්ලක් ලබා දුන් ඔවුන් පාඨමාලාවේ අන්තර්ගතයන් හා කාල සටහන් ගැන සාකච්ඡාවක් ඇරැඹීය. පාඨමාලා බලධාරින් මුලින්ම අවධාරණය කළේ මේ පාඨමාලාව චිත්‍රපට නිපදවීම ගැන පාඨමාලාවක් නොවන බවයි. එය හුදෙක් සිනමාවේ සමස්තය අහුමුළු සහිතව විස්තර කිරිම පමණක්ම වන බවත් ඔවුහු අවධාරණය කළහ. එසේ නැවුම් බලාපොරොත්තු සහිතව එකතුවුණු 85 ක පිරිස විවිධාකාරයෙන් සිනමා කැක්කුමෙන් පෙළෙනවුන් විය. බොහෝ දෙනා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ය. ඒ අතර රජයේ නිලධාරින්, මාධ්‍යවේදීන්, වාර්තා හා කෙටි චිත්‍රපටකරුවන්, වෙළෙඳ දැන්වීම් හා සංගීත වීඩියෝ නිර්මාණකරුවන් බොහෝ විය. චිත්‍රපට නිෂ්පාදන ක්ෂේත්‍රයේ කිහිප දෙනෙකු කර්මාන්තය නියෝජනය කරමින් එහි විය. පාඨමාලාවේ වයස්ගතම පුද්ගලයාට අවුරුදු 70 කි. පාඨමාලාවේ ලාබාලතම පුද්ගලයා මා නොවිය හැකිය යන්නට ද කිසිම සාක්ෂියක් නොවුණි.

ඒ අනුව අතිශය කලබලකාරී මෙන්ම සීඝ්‍රගාමී සති 4 ක් එයින් ඇරැඹුණි. පාඨමාලාවේ අන්තර්ගතය ගැන බොහෝ දෙනා සැලකිල්ලට භාජනය කෙරිණි.

සිනමාවේ මූලික සංකල්පවලින් පටන්ගෙන කාරණා 12 ක් එහි අන්තර්ගතයට ඇතුළත්ය. මූලික සංකල්ප යටතේ තිර රචනය ඇතුළු හඳුන්වා දීම් ඊට ඇතුළත්ය. ඉතිරි අන්තර්ගතයන් 11 පහතින් සඳහන් කරමි.

1. චිත්‍රපට තනන්නේ කෙසේද?

2. ජාත්‍යන්තර සිනමාවේ ඉතිහාසය

3. ඉන්දියානු සිනමාවේ ඉතිහාසය

4. චිත්‍රපට විශ්ලේෂණය

5. චිත්‍රපට න්‍යාය

6. චිත්‍රපට සහ අනෙකුත් කලාවන්

7. වෘත්තාන්ත නොවන චිත්‍රපට

8. සජීවිකරණ චිත්‍රපට

9. ජනප්‍රිය දහරාවේ චිත්‍රපට

10. සිනමාකරුවන් සමඟ සම්මුඛ වීම සහ

11. තෝරාගත් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම

එකී අන්තර්ගතයන්ට අයත්ය. මෙවර පාඨමාලවේ භාරකරු වූයේ චිත්‍රපට අංශයේ පීඨාධිපති අමිත් ත්‍යාගි මහතාය. ඔහු සහ ඔහුගේ කාර්යය මණ්ඩලය අතිශය සුහද පිරිසක් වූ අතර අපගේ සහයට හා කතාබහට ඔවුහු නිරතුරුවම සූදානමින් පසු වූහ. මා බොම්බාය මඟහැර සිනමාව සොයා ආවේ ඇයිදැයි ඔබට දැන් ගැටළුවක් නොවනු ඇත. බොම්බාය කොතරම් ලොකු වුවත් සිනමාව ඇත්තේ පූනේය.

පූනේ අත්දැකීම් ලබන සතියේ.