වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




ගෝල්, ඒ ලෙවල්, ධර්මයුද්ධය සමඟින් කැපිටල් මහරාජා සිනමාවට

ගෝල්, ඒ ලෙවල්, ධර්මයුද්ධය සමඟින් කැපිටල් මහරාජා සිනමාවට

‘ගාමිණි ෆොන්සේකා රඟපෑ සියලු චිත්‍රපට සල්ලි දීලා ගන්නැයි සභාපතිතුමා කිව්වා’

M ENTERTAINMENT ප්‍රධානි සුසාර දිනාල්

ගෝල් චිත්‍රපටය මුහුරත් උළෙලදා අධ්‍යක්ෂ රොහාන් පෙරේරා සමඟින් MTV, MBC සමූහ අධ්‍යක්ෂිකා නිඩ්‍රා වීරසිංහ

කැපිටල් මහරාජා සමූහය සිනමාවට දිර්ඝකාලීනව පිවිසෙනවා යන ආරංචිය ලාංකේය සිනමා කර්මාන්තය මේ මොහොතේ ලබන හොඳම ආරංචිය විය හැකිය. එයට බලපාන ප්‍රධානතම කරුණක් විය හැක්කේ මහරාජා ආයතන සමූහය සතු විද්‍යුත් මාධ්‍ය පංගුව හෙවත් බලය සිනමාවට ආශිර්වාදයක් විය හැකි බැවිනි. එම ආශිර්වාදය කර්මාන්තයක් ලෙස සිනමාව ගොඩ යාමට විවර වූ මඟක් ලෙස කර්මාන්තයට බද්ධ වූ පිරිස අදහනවා විය යුතුය.

ඒ අනුව කැපිටල් මහරාජා සමූහය සිය ජනප්‍රිය තලයේ නිෂ්පාදනයක් වන ‘ධර්මයුද්ධය’ සමඟින් කළ එළි බසින්නේ ජනප්‍රිය සිනමාව ගැන යළි කතාබහක් ඇති කර ගනිමින්ය. කෙසේ වුවත් මහරාජා සමූහය සිනමාවට පිවිසෙන කුළුඳුල් අවධිය මෙය නොවේ. එනම් ධර්මයුද්ධය ඔවුන්ගේ ප්‍රථම නිෂ්පාදනය නොවේ. 1980 දශකයේ දකුණු ඉන්දියාවේ දෙමළ බසින් නිමැවුණු එක් ජනප්‍රිය චිත්‍රපටයක් වූයේ ‘තී’ ය. ‘තී’ හි ප්‍රධාන නළු භූමිකාවට පණ පෙවූයේ සුපිරි තරු රජිණි කාන්ත්ය.

එකී චිත්‍රපටයේ නිෂ්පාදන භුමිකාව ඉටු කළේ මහරාජා ප්‍රධානි ආර්. රාජාමහේන්ද්‍රන්ය. තී රූ ගැන් වූයේ ද ශ්‍රී ලංකාවේය. ඒ අනුව කිසි විටෙකත් සිනමාවේ මහරාජා ප්‍රවිෂ්ටය ඕපපාතික එකක් නොවේ. චිත්‍රපට වැඩි වශයෙන් නිෂ්පාදනය නොකළ ද ඔහුට සිනමාවේ ඇති සබඳකම් ප්‍රමාණය අති විශාලය. ‘තී’ ගෙන් පසු ‘ඩාන්සින් ස්ටාර්’ නිපද වූ කැපිටල් මහරාජා සමූහය නැවත නිෂ්පාදනයකට අත ගසන්නේ ධර්මයුද්ධය හරහාය. ධර්මයුද්ධය කතා සංකල්පය ඉන්දියාවේ ඉතා ජනප්‍රිය වූ කතා සංකල්පයක්ය.

2013 ජිතු ජෝසෆ් විසින් ලියා අධ්‍යක්ෂණය කළ ‘ද්‍රිෂ්යම්’ නමින් මලයාලම් චිත්‍රපටය අතිශය ජනප්‍රියවීමත් සමඟ 2014 ‘දෘෂ්යා’ නමින් තෙළඟු බසිනුත් එම වසරේදීම ‘ද්‍රිෂ්යා’ නමින් කණ්ණඩ බසිනුත්, 2015 දී දෙමළ බසින් ‘පාපනාසම්’ ලෙසිනුත් එම වසරේදීම ‘ද්‍රිෂ්යම්’ ලෙසින් හින්දි බසිනුත් නිපද වූ මෙම කතාව අතිශය ජනප්‍රිය වූයේ එහි කතාව පමණක් නිසා නොවේ. 2013 දී ද්‍රිෂ්යම් මුල් නිෂ්පාදනයේ (මලයාලම්) රඟපෑ මෝහන් ලාල් එහි ප්‍රධාන චරිතය ලෙස විශිෂ්ට රඟපෑමක නිරත වන අතර පිළිවෙලින් කමල් හසන් හා අජේ දේව්ගන් දෙමළෙන් හා හින්දියෙන් එම චරිතයට පණ පොවා ඇත.

ඒ අනුව සිංහල පිටපතේ එම චරිතය කරට ගන්නේ ජැක්සන් ඇන්තනිය. කෙසේ වුවත් සාර්ථක නිෂ්පාදනයක කූටප්‍රාප්තිය හෙට (14) සිට අරැඹෙන අතර මේ ගැන කතාබස් කරන්නට යෙදුණේ සුසාර දිනාල් සමඟය. සිරස නරඹන්නන්ට ඉතා හුරු සුසාර මේ වන විට මහරාජා එන්ටර්ටේන්මන්ට් (M ENTERTAINMENT) ආයතනයේ ප්‍රධානියාය. එමන්ම සිරස මාධ්‍ය ජාලයේ උපදේශකවරයෙකි. ලංකාවේ ගීත හා තනු විශාල ප්‍රමාණයක අයිතීන් හිමි මහරාජා එන්ටර්ටේන්මන්ට් ජාත්‍යන්තරයේ සුප්‍රසිද්ධ සංගීත සමාගම්වල ශ්‍රී ලංකා සන්නාම හිමිකරු ද වෙයි. ඒ අනුව සිනමාවට ඇතුළත්වීම සම්බන්ධයෙන් පළමු පය තබන්නේ මහරාජා සමූහයේ M ENTERTAINMENT ආයතනයයි. සුසාර අප සමඟ දැක් වූ අදහස් මෙසේය.

* මහරාජා එන්ටර්ටේන්මන්ට් ආයතනය අපි හඳුනාගන්නේ සංගීත ක්ෂේත්‍රයේ ඉතා ක්‍රියාශීලී සමාගමක් විදිහට?

එම් එන්ටර්ටේන්මන්ට් ආයතනය මුලදී තිබුණේ සංගීත ක්ෂේත්‍රයේ අනෙකුත් සමාගම් වගේම තමා. කැසට් පට හා සංයුක්ත තැටි නිෂ්පාදන සමාගමක් හැටියටයි ඉස්සරහට ආවේ. නමුත් අපි දැන් කැසට් හා සංයුක්ත තැටි නිෂ්පාදනයේ නැහැ. ඊට වඩා පුළුල් තැනකට අපි සමාගමක් හැටියට මැදිහත් වෙනවා.

මූලිකවම අපි කරන්නේ අපි සන්තකයේ තිබෙන සංගීත නිර්මාණවල කතෘ අයිතීන් කළමනාකරණය කරන එක. ලංකාවේ බිහිවෙච්ච විශිෂ්ට සංගීතඥයන්ගේ විශාල ගීත සංඛ්‍යාවක අයිතිය තිබෙන්නේ අපට. ක්ලැරන්ස් විජේවර්ධනගේ ජනප්‍රියම ගීත 50 කට වැඩි හිමිකාරිත්වය වගේම ජෝතිපාලගේ ජනප්‍රියම ගීත සෑහෙන ප්‍රමාණයක අයිතිය අප සතුයි.

ඒ වගේම නිමල් මෙන්ඩිස් මහත්මයාගේ සම්පූර්ණ නාමාවලිය, ස්ටැන්ලි පිරිස්, ගලගෙදර හක් සංගීතඥයන්ගේ එකතුවේ ගීත නිර්මාණ බොහෝ සංඛ්‍යාවක් අපි කළමනාකරනය කරනවා. අලුත් පරපුරේ භාතිය සන්තුෂ්, ඉරාජ්ලගේ මුල් කාලයේ ගීත වගේම සිරස සුපර් ස්ටාර්ස්ලාගේ ගීත වැඩි ප්‍රමාණයක් අපි සතුයි.

ඊට අමතරව විජය රාමනායක මහත්මයාගේ තරංගා ලේබලය යටතේ ආපු ගීත දැන් සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරන්නේ අපි. පුද්ගලික වශයෙන් නම් සඳහන් කළේ කිහිප දෙනෙකුගේ විතරයි. ඒ ගීතවල අයිතිය වගේම රීඟින් ටෝන් සඳහා නිකුත් කිරීම කරන්නේත් අපි. ඒ වගේම ලෝකයේ සුප්‍රසිද්ධ සංගීත හා නාද නිෂ්පාදනය කොට බෙදා හරින ජාත්‍යන්තර සමාගම් වෙන Sony, Universal, Warnar Brothers වගේම කලකට ඉහත T Series හිත් ශ්‍රි ලංකා නියෝජිත වෙලා හිටියේ එම් එන්ටර්ටේන්මන්ට් සමාගම.

* ව්‍යාපාරයේ අලුත්ම පංගුව වෙන්නේ සිනමාවද?

ඒක අලුත්ම අංගයක් කියන්න අමාරුයි. 80 දශකයේ මුල අපි ‘තී’ කියන දෙමළ චිත්‍රපටය නිෂ්පාදනය කළා. එතකොට E එන්ටර්ටේන්මන්ට් ආයතනය තිබුණේ නැහැ. නමුත් පසුකාලීනව අපි යුගාන්තය, කළියුගය, රිදී නිම්නය, මල්දෙණියේ සිමියොන් වගේ චිත්‍රපටවල අයිතිය ලබා ගත්තා. අපිට බලාපොරොත්තුවක් තිබෙනවා ඒ චිත්‍රපට ඩිජිටල් මාධ්‍යයෙන් සංරක්ෂණය කරන්න. නමුත් අපි මුලින්ම නිෂ්පාදනය කරපු ‘තී’ චිත්‍රපටයේ පිටපතක් අප සතුව නැහැ. 83 කළු ජුලිය වෙලාවේ මහරාජා කොටුවේ ප්‍රධාන කාර්යාලය කුමන්ත්‍රණකාරීන් ගිනි තිබ්බා. ඒ වෙලාවේ ඒ චිත්‍රපටය විනාශ වෙන්න ඇතියි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ වගේම චිත්‍රපට ආනයනය කරන බලපත්‍රයක් අප සතුයි.

* ‘ඩාන්සින් ස්ටාර්’ චිත්‍රපටයට පස්සේ චිත්‍රපට වෙනුවෙන් මහරාජා සමුහය ආයෝජනය කළේ නැහැ?

මම එවකට හිටියේ සිරස ආයතනයේ. මගේ අදහසක් අනුව තමා ඩාන්සින් ස්ටාර් නිර්මාණය කරන්න සැලසුම් කළේ. මගේ හිතට ආපු අදහසක් සභාපතිතුමාට සාමාන්‍ය යෝජනාවක් හැටියට දැම්මේ. එතුමා එක පයින් වැඩේට කැමති වුණා. ඒ අනුව තමා ඒ චිත්‍රපටය යථාර්තයක් වුණේ. නමුත් චිත්‍රපට නිෂ්පාදනය වැඩ පිළිවෙලක් හැටියට ආරම්භ කළේ ගිය වසරේ ඉඳන්.

* ඒ අනුව ඔබ E එන්ටර්ටේන්මන්ට් ප්‍රධානියා වෙලා ධර්මයුද්ධය කරන්න බාර ගන්නවා?

නැහැ. ඊටත් කලින් තමයි ශමීර නාඔටුන්නගේ ‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටයට අවධානය යොමු වුණේ. අපි දැනගත්තා ඔහු ඉතාම කැපවීමෙන් චිත්‍රපටය හදපු බව. ඒ අනුව අපිට ඔහු චිත්‍රපටය පෙන්නුවා. අපිට දැනුණා ඒක විශිෂ්ට චිත්‍රපටයක් කියලා. ඒ නිසා අපි ඒක බාර ගත්තා. දෙපාර්ශවයම සාකච්ඡා කරලා හොඳ මිලකට අපි ඒක ගත්තා. අරන් බෙදා හැරියා. ඊට පස්සේ තමා ධර්මයුද්ධයට අත ගැහුවේ අපේම නිෂ්පාදයක් හැටියට.

* ඒ අනුව ඔබලා සූදානම් චිත්‍රපට බෙදා හරින්නත්?

නැහැ. මම චිත්‍රපට බෙදා හැරීම කියලා අදහස් කළේ මණ්ඩල මඟින් ්චිත්‍රපට බෙදා හැරිම ගැන නෙවෙයි. නිෂ්පාදන අර්ථයෙන් චිත්‍රපට බෙදා හැරිම ගැන. ඒකෙන් අදහස් වෙන්නේ මෙහෙම දෙයක්. නිෂ්පාදකයෙක් චිත්‍රපටය නිෂ්පාදනය කරලා ඉවර වෙලා ඒක ප්‍රදර්ශනය කරගන්න ඕනෑ. ඔතනදිත් නිෂ්පාදකයාට සිද්ධ වෙනවා මුදල් වියදම් කරගෙන ප්‍රචාරණය දෙන්න. මේ ක්‍රමය ඇතුළේ නිෂ්පාදකයා සෑහෙන්න අපහසුතාවට ලක් වෙනවා. එතනට තමා අපි මැදිහත් වෙන්නේ. අපි සමාගමක් හැටියට මැදිහත් වෙලා ඒ චිත්‍රපට මිලදී අරන් ප්‍රචාරණය දීලා බෙදා හරිනවා.

* මහරාජා සමූහය වගේ විශාල ප්‍රාග්ධනයක් තිබෙන සමාගමක් ලාංකේය සිනමා ව්‍යාපාරයට අත ගැසීම පුදුම සහගතයි?

චිත්‍රපටයක් කියන්නේ අපට සල්ලිම නෙවෙයි. ව්‍යාපාර සමූහයක් හැටියට සල්ලිවලින් කරන්න පුළුවන් දේවල් ලැයිස්තුවක් හැදුවොත් චිත්‍රපට එන්නේ ඒකේ අන්තිමට වගේ. ප්‍රමුඛතාවක් කොහෙත්ම නැහැ. නමුත් මේ කර්තව්‍යයන් පිටිපස්සේ ඉන්නේ අපේ සභාපතිතුමා. ඔහු දැඩි සිනමාලීලියෙක්. ඔහුට තමයි කාලෙකට කළින් චිත්‍රපට නිෂ්පාදනයට නැවත අතගහන්න උවමනා වෙලා තිබුණේ. නමුත් අපි තමයි ඒ දේ ප්‍රමාද කළේ අවදානමක් ගන්න බැරි නිසා. මොකද මේවා මගේ සල්ලි නෙවෙයි. හිතු හිතු විදිහට වියදම් කරලා නාස්ති කරන්න බැහැ. අපිට මේ අවදානම අරන් වියදම් කරලා නිෂ්පාදනයට එන්න පාර පෙන්නුවේ සභාපතිතුමා. සභාපතිතුමයි ගාමිණී ෆොන්සේකා මහත්මයයි ඉතා කුළුපඟ මිත්‍රයෝ. ෆොන්සේකා මහත්මයා කාලයක් අපේ සමූහයේ අධ්‍යක්ෂවරයෙක් වෙලත් හිටියා. මේ මිත්‍රකම නිසාම වතාවක් සභාපතිතුමා කිව්වා ගාමිණී ෆොන්සේකාගේ සියළු චිත්‍රපට තමන් සන්තක කරගන්න අවශ්‍යයි කියලා. ඒවා සල්ලි දීලා ගන්න කිව්වා. ගොඩක් චිත්‍රපට අද හොයා ගන්නත් නැහැ. මම තවත් දෙයක් කියන්න ඕනෑ අපේ සමාගම්වල පරණ මුදල් වාර්තා තිබෙනවා, ඉතාම ජනප්‍රිය වෙච්ච පරැණි චිත්‍රපටවලට සභාපතිතුමා වියදම් කරපු. නමුත් ඒ කිසිම දෙයක් කිර්ති නාමයක් අපේක්ෂාවෙන් කරපුවා නෙවෙයි. ඒ චිත්‍රපටවල තේමාවේ සභාපතිතුමාගේ නමක් ගෑවිලාවත් නැහැ.

* E එන්ටර්ටේන්මන්ට් ප්‍රධානියා හැටියට ඔබ කොහොමද මේ මොහොතේ ව්‍යාපාරය මෙහෙය වන්නේ?

අපි සමූහයක් හැටියට ක්‍රියාත්මක වෙන නිසා ‘ධර්ම යුද්ධය’ට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. ලංකාවේ තිබෙන හොඳම සිනමාහල් චිත්‍රපටයට ලැබුණා. ඒ වගේම මම සිනමාවට සම්බන්ධ සියල්ලන්ගෙන්ම වෘත්තිය ලක්ෂණ අපේක්ෂා කරන කෙනෙක්. සිනමාහල් තත්ත්වය හොඳම විදිහට පවත්වන අයට විතරයි මම චිත්‍රපටය දෙන්නේ. ශාලාවේ වැසිකිළි පහසුකම් හොඳට නැත්නම් මම චිත්‍රපටය දෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රක්ෂේපණය. දෙන බොක්ස් පහසුකම් පවා හොඳින් තිබෙන්නට ඕනෑ. ධර්ම යුද්ධය සමඟම වැහිච්ච සිනමාහල් 2 ක් අලුතින් ඇරෙනවා. ඒකත් අපි ලබපු ජයග්‍රහණයක්.

* බොහෝ නිෂ්පාදකවරු මණ්ඩල සමඟ ගනුදෙනු කරන්නේ එතරම් හිත හොඳකින් නෙවෙයි. ඔබ කොහොමද ඔවුන් එක්ක ගනුදෙනු කරන්නේ?

අපිට තිබෙන ව්‍යාපාරික පසුබිමත් එක්ක ඔවුන් සමඟ ගනුදෙනු කරන එක එතරම් ප්‍රශ්නයක් නෙවෙයි. අපි වෘත්තීමය විදිහට ගනුදෙනු කරනවා. ඒ විදිහට ගනුදෙනු කරන්න අපිට සමූහයෙන් නිදහස දීලා තිබෙනවා. සංස්ථාව එක්ක වුණත් එහෙමයි. කිසි ගැටළුවක් නැහැ මේ මොහොතේ ධර්මයුද්ධය එක්ක වැඩ කරන්නේ ඛ්ඡ්ඹ් මණ්ඩලය. කාගිල්ස් සමාගමේ සම්බන්ධයක් ඛ්ඡ්ඹ් එකට තිබෙන නිසා අපි තවත් හොඳට වැඩ කරනවා.අපේ ඊළඟ චිත්‍රපටය එන්නේ ඡ්ඒර්‍ථ මණ්ඩලයෙන්. ඒ වගේම කාගිල්ස් ආයතනය වෙනමත් අපට උදව් කරනවා චිත්‍රපටයේ ප්‍රවර්ධනය වෙනුවෙන්.

* මොකක්ද මීළඟ චිත්‍රපටය?

රොහාන් පෙරේරා අධ්‍යක්ෂණය කළා ‘ඒ ලෙවල්’ කියලා චිත්‍රපටයක්. ඒකෙත් තිබෙනවා විශිෂ්ට ලක්ෂණ. අපි කාටත් තිබෙන පාසල් කාලයේ මතකයන් ආයෙත් ගොඩඑන චිත්‍රපටයක් වේවි ඒක. තව මාස 3 කින් එයත් ප්‍රදර්ශනය වේවි. ඔහුම අධ්‍යක්ෂණය කරන තවත් චිත්‍රපටයක් අපි නිෂ්පාදනය කරනවා ‘ගෝල්’ කියලා. පාපන්දු ගහන ළමුන් ගැන කියන බොහොම ලස්සන කතාවක් තිබෙන චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්.

* ධර්ම යුද්ධයට තේමාව වුණේ ඉන්දියාවේ නිෂ්පාදනය වුණු අතිශය ජනප්‍රිය චිත්‍රපට පෙළක්. ප්‍රේක්ෂකයෝ හිතාවි තවත් ඉන්දියන් අනුකරණයක් ගෙනත් සිනමාහල්වලට දැම්මා කියලා?

කොහෙත්ම නැහැ. මේ කතාවේ ආරම්භය තිබෙන්නේ ඉන්දියාවේ නෙවෙයි. ජපානයේ. ජපානයේ නවකතාවක් පළ වුණා ‘ච්ඥමධබඪධද ධට ඉභඵනඥජබ ය’ කියලා. ඒ ඇසුරින් නිර්මාණය වුණා ජපාන චිත්‍රපටයක් 2008 දී. ඊට පස්සේ කොරියාවේදී 2012 දී .’ර්‍ථඥපටඥජබ ව්භථඡඥප’ කියලා ඒ කතාවම චිත්‍රපටයකට ගත්තා. ටෙලි නාට්‍යකුත් හැදුණා. ඊට පස්සේ චීනයෙන් ඉන්දියාවෙන් ඒ කතාවම අරගෙන චිත්‍රපට හැදුවා. ලංකාවේ චිත්‍රපටයට ඉන්දියානු ශිල්පින් සම්බන්ධ වෙන්නේ ශක්ති ටී. වී. එකේ චමන්ත්රාජ් මහත්මයා නිසා. ඔහුට ඉන්දියාව සමඟ කුළුපඟ ඇසුරක් තිබෙනවා. ඔහු ඉන්දියාවේ සිනමාව පවා හැදෑරුවා. එහේදී ඔහු සමඟ හිටි මිතුරන් තමා චිත්‍රපටයට සම්බන්ධ වුණේ. දැන් මේ කතාව හොලිවුඩයේ පවා හැදෙනවා.

* මේ නිෂ්පාදනය කරන චිත්‍රපට සමඟ ඩී. වී. ඩී වෙළෙඳපොලට පිවිසෙන්න බලාපොරොත්තුවක් තිබෙනවාද?

නැහැ. අපිට එහෙම අදහසක් නැහැ. ඩී. වී. ඩී. කියන්නේ හරිම අසංවිධානාත්මක වෙළෙඳපොළක්. හොරට පිටපත් කරන එකේ ඉඳන් අකටයුතුකම් ගොඩක් වෙනවා මේකේ ඇතුළේ. පොලිසිය පවා මේවට මැදිහත් වෙන එක නතර කරලා තිබෙන්නේ. බුද්ධිමය දේපළ මායිම් වෙන්නේ නැහැ මේක ඇතුළේ. අනික අපට රුපියල් 100 ට 200 ට ඩී. වී. ඩී. නිෂ්පාදනය කරලා විකුණන්න අමාරුයි. අපි කරන්නේ හොඳම ප්‍රමිතියේ ඒවා. ඒ ඩී. වී. ඩී තැටියක් රුපියල් 750 ක් 1000 ක් වෙනවා. ඒ ගානට විකුණන්න අමාරුයි චිත්‍රපට මේ වෙළඳපොලේ. ඒ නිසා අප කරන්නේ චිත්‍රපට ඩී. වී. ඩි. අයිතිය වෙන කාට හරි පවරන එක.