වර්ෂ 2016 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

සුජාතා ඔබට චිරං ජයතු

සරළ හා ශාස්ත්‍රීය සංගීතයෙන් ගුවන්විදුලි ගීතයද චිත්‍රපට පසුබිම් ගායනයෙන් හා සංගීත අධ්‍යක්ෂණයෙන් සිනමාවද හඬ මාධූර්යයෙන් යුග යුග ගණනක් එකළු කළ විශාරද සුජාතා අත්තනායක ඔබට චිරං ජයතු.

සුනිල් විජේසිංහ

ඕවිටගල

මතුගම


සංදේශය ඩිජිටල් කරමු

සිංහල සිනමාවේ අමරණීය සිහිවටනයක් වන 'සංදේශය' චිත්‍රපටයේ පිටපතක් විදේශ රටක සුරක්ෂිතව ඇති බව කලකට ඉහතදී දැන ගැනීමට ලැබුණි. එම පිටපත මෙරටට ගෙන්වාගෙන 'වැලිකතර' චිත්‍රපටය මෙන් ඩිජිටල්කරණය කොට වත්මන් පරපුරට එය නැරඹීමට ඉඩ ප්‍රස්තා සැලසීමට වගකිව යුත්තන් කටයුතු කරන්නේ නම් මැනවි.

රුවින්ද කොල්ලුරේ

හයිලෙවල් පාර

මීගොඩ


පුංචි සහේලිට සුබ අනාගතයක්

සහේලි දුවේ 'බන්ධනය' සිනමා පටයේ ඔබේ රඟපෑම් අපූරුයි. පුංචි ඔයා දස්කම් පෙන්වමින් කරන රඟපෑම තව තවත් වර්ධනය කර ගනිමින් ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා. දීප්තිමත් අනාගතයකට සුබ පැතුම්.

සුනිල් බී. වේහැල්ල

ගෝනපොල


අමතක නොවන කටකාර චරිතය

එදා සිරිසේන විමලවීරයන්ගේ 'අම්මා' චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි පර්ල් වාසුදේව 'සැකය', 'සුරංගනි', 'සීදේවි', 'සිරිල් මල්ලී', 'කෝළංකාරයෝ' ඇතුළු චිත්‍රපට රැසක කළ රංගනයන් කිසිදා අමතක නොවේ. බොහෝ විට ඇයට ලැබුණේ කටකාර චරිත වීම විශේෂයි. එසේම ඇයගේ පෙනුමද ජනප්‍රියත්වයට බලපෑබව මගේ විශ්වාසය යි.

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව


අසාධාරණයට එරෙහිවූ ලැඩී රණසිංහ

ලැඩී රණසිංහ සිංහල සිනමා වංශ කතාවේ පළමු, දෙවන පරිච්ඡේදයන් අතර ලියවුන ප්‍රබල නමකි. ප්‍රතාපවත්, හැඩිදැඩි පුද්ගලයකු වූ ලැඩී කිසිදා මුදලට චරිත පාවා නොදී අසාධාරණයට එරෙහිව එඩිතරව සටන් වැදුන යුග පුරුෂයෙකි. එහෙත් අවසන් කාලයේ පවුලේ සත්කාර මැද නිහඬව අවසන් ගමන් ගිය ඔහු පිළිබඳ කිසිවකුගේ අවධානය ලක් නොවීම කනගාටුවට කරුණකි.

සුසිලා පතිරාජ

පුබුදුගම

උස්වැටකෙයියාව


කුෂානි සඳරේඛාට සුබ පැතුම්

කුෂානි සඳරේඛා වසර අටකට පසු 'සින්ඩ්‍රෙල්ලා' චිත්‍රපටයෙන් ඔබේ ගීතයක් අසන්නට ලැබීම සතුටක්. සිනමාවේ රැඳී සිටීම සේම ඔබේ නර්තන හැකියාවෙන් තවත් ඉදිරියට යාමට සුබ පැතුම්.

එස්. සායගම්

මාවලවත්ත

උඩපේරාදෙණිය


සිනහ ගෙන ආ සිකුරු ලන්තයේ අවසානය

හිරු රූපවාහිනි නාලිකාව ඔස්සේ විකාශය කෙරුණු 'සිකුරු ලන්තය' ටෙලි නාට්‍යය මුල, මැද සහ අග පිළිවෙලින් සාර්ථකව එක්කර විකාශය නිමාකිරීම සම්බන්ධයෙන් හදපිරි ප්‍රණාමය. අවසානය ඉතාමත් ප්‍රීතිජනක අයුරින් නිමා කිරීම ප්‍රේක්ෂකයන්ගේ නොමඳ සතුටට හේතු වන බවත් සඳහන් කරමු. 'සිකුරු ලන්තය' විකාශය කිරීම පිළිබද හිරුට අපගේ තුති.

මැණිකේ විල්වල

තිලකරත්න විල්වල

තටාකය පාර

කෑගල්ල


ස්වාධීන රූපවාහිනියට ප්‍රසාදය

ස්වාධීන රූපවාහිනියෙන් පැරණි ටෙලි නාට්‍ය විකාශය කිරීමට කටයුතු යෙදීම පිළිබඳ කෘතඥ වෙමි. දැනට 'අන්දර වැට' නැරඹීමට අවස්ථාව ලබා දී ඇති සේම ඉදිරියේදීද ප්‍රේක්ෂක ප්‍රසාදට දිනූ අනෙකුත් පැරණි ටෙලි නාට්‍ය විකාශය කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

මනහර මහින්ද

බෙලිගල


ගී ලොව පෙරළි කළ ටෝනි

මෙරට ගායන ක්ෂේත්‍රයේ හින්දි ගායනයෙන් මුල්වරට පෙරළියක් කළ ටෝනි හසන් ඒ අසහාය ගායකයාට අප තවමත් ආදරෙයි.

සුගත් ගමගේ

උදයපුර

කල්මුණේ පාර

අම්පාර


සිංහල සිනමාවේ දිරිය කත අනෝජා

රට රටවල නම රැන්ඳු අපේ සිනමාවේ සුරබිදෙන වූ අනොජා වීරසිංහ, 'ටක් ටික් ටුක්' චිත්‍රපටයෙන් පසු 'කෙළිමඬල', 'මල්දෙණියේ සිමියොන්', 'ගුරු ගෙදර', 'රජ දරුවෝ' චිත්‍රපට හරහා කළ රංගනය තවමත් අපට මතකයේ රැඳී ඇත. ඔබ සිංහල සිනමාවේ දිරිය කාන්තාවකි. ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේවා.

සරත් සේනාධීර

ජා-ඇල

කලඑළිය


වසන්ත ඔබේසේකර නාමය

වසන්ත ඔබේසේකර සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අතරින් කිහිප දෙනාගෙන් කෙනෙකි. ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරින් 'පළඟැටියෝ' සහ 'දඩයම' චිත්‍රපට එදා මෙදා තුර තැනූ ශ්‍රේෂ්ඨ චිත්‍රපට දෙක බව මගේ හැඟීමයි.

කෙනත් පෙරේරා

වැලිගම් පිටිය

ජා-ඇල


ඔබ නැති අඩුව සිනමාවට ගමට ද දැනේ

එකල සිනමාවේ ජනප්‍රියතම නළුවන් සමඟ කරට කර රඟමින් චිත්‍රපට කිහිපයක ප්‍රධාන චරිතයට පණ පොවමින් 'හරිම බඩු තුනක්' චිත්‍රපටය නිෂ්පාදනය කරමින් සිනමාවට විශාල මෙහෙවරක් කළ එහෙත් කිසිම ඇගයීමකට ලක් නොවී අවසන් ගමන් ගිය සේනාධීර රූපසිංහ කලාකරුවාණෙනි ඔබ නැති අඩුව සිනමාව මෙන්ම අප ගමටද තදින් දැනේ.

ජගත් චන්ද්‍රසිරි

මීරිගම පාර

පස්යාල


රන් සයුරට මල් දෝතක්

ධීවර ජනතාවගේ ප්‍රශ්නවලට අභීතව මුහුණ දෙන කතාවක් රිදී තිරයට ගෙන ආ අපේ කාලයේ සටන් අධ්‍යක්ෂ වසන්ත කුමාරවිල තම දක්ෂතා පෙන්වා ඇත. 'රන් සයුර' සමඟින් මහින්ද පතිරගේ, සුසිලා කෝට්ටගේ සිනා සයුරකට අප ගෙන යති. වසන්ත ඔයා යන මඟ නිවැරදියි. 'රන් සයුරට' මල් දෝතක්.

දයානන්ද ද සිල්වා

සීනිගම

හික්කඩුව


දිමුතුමුතු නැවතත්

පුංචි තිරයට

රූපවාහිනි ඉතිහාසයේ මෙරට මුල්ම ටෙලි නාට්‍යය වූ 'දිමුතුමුතු' යළිත් නැරඹීමට අප ඉමහත් ආසාවෙන් සිටින්නෙමු. ඒ වෙනුවෙන් අවස්ථාවක් ලබාදෙන මෙන් අප ජාතික රූපවාහිනියෙන් ඉල්ලා සිටින්නෙමු.

මැණිකේ විල්වල

තිලකරත්න විල්වල

තටාකය පාර

කෑගල්ල


‘භාරත ගී වින්දන’

යළි දෙන්න

කාලයක් තිස්සේ අපහට ඉමහත් රසාස්වාදයක් ගෙන දුන් 'භාරත ගී වින්දන' වැඩසටහන මෑතක සිට නවතා දැමීම අපට මහත් ප්‍රහේලිකාවකි. 'භාරත ගී වින්දන' වැනි වැඩසටහන් රස විඳීය හැක්කේ ඉතාම කලාතුරකිනි. එනිසා එය නැවතත් විකාශය කරන මෙන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිමු.

අජිත් ජෝතිය කරසිංහ

මත්තේගොඩ


දිනූපා ඉදිරියටම යන්න

2017 රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළිය ලෙසින් පිදුම් ලද දිනූපා කෝදාගොඩ රංගන ශිල්පිනියට කලා ලොවේ දිගු ගමනකට සුබ පැතුම්.

සුනිල් ජයකොඩි

බෝගොල්ලාගම

නිකවැරටිය


සීත අරනේ අදත් ජනප්‍රියයි

‘ආරාධනා’ චිත්‍රපටයේ රවීන්ද්‍ර - මාලිනි රංගනයෙන් සහය වූ පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයාණන් ගැයූ ‘සීත අරනේ’ ගීතය අදත් ජනප්‍රිය ගීතයකි.

රංජනී අමරසිංහ

කැලණිය


විජය ගුණ සුවඳ

මනමේ කුමරු කොතැනක සැඟවුණා දෝ
නොගිහින් ඉන්න බැරි ගමනක් ගියා දෝ
ඔබ නැති සොවින් කරළිය ඉකිබිඳී දෝ
මැතිඳුනි විජය යළි කවදා දකිම් දෝ

රංගනයෙන් අස්වැද්දූ කලා කෙත
නෙළා ගන්න අද කිසිවෙකු සමත් නැත
කොතැනක සිටින මුත් යොමුකර ඔබේ නෙත
කෙත වපුරන්න යළි එනු මැනවි හිතවත

රූපය දිරුවමුත් නාමය නොදිරේවා
ඔබ මතකයන් අප සිත් තුළ නොමියේවා
ලක් මවගේ පුතෙකු වී යළි ඉපදේවා
කවදා හෝ සසරෙ නිවනින් සැනසේවා

එස්. ඒ ප්‍රේමලතා
රුක්ගහතොටුපොල
බණ්ඩාරගම


සිනමාවේ මිණි පහන


වෙස් ගත්තෝ ද දැන් වල්මත් වෙලා ඇත
දියමන්තියට පළඟැටියෝ ළංව ඇත
දඩයම කැඩපතක ඡායා පෙනෙනු ඇත
දොරකඩ මාරාව මාරුතයවී ඇත

සළෙලු වරම අසෙනි වර්ෂ සිනමාවට දහස් වටී
සෙව්වන්දිත් ආගන්තුකයා සමඟින් රටේ සිටී
ත්‍රීර්ථ යාත්‍රාව ඇතත් වසන්තයද නොපෙනී සිටී
සිනමාකරුවාණෙනි ඔබ මිණි පහනකි මෙරට සිටී

ආර්. ඒ සෝමා රණසිංහ


මිල්ටන් ගී මතකය

ගමනේ ගිම් නිවූයේ සෝ සුසුම් හෙළා
ඔබ සොයා රෑ ආවේ සතුටින් පියාඔලා
සීතල වතුරේ දුක් වින්ඳේ තොටියකු වීලා
වැස්සට හිටියේ මැයි මල් ගහ යට නැවතීලා

ගුවනින් වෙන් වී ගියේ හිතකින් නොවේ
දහසක් පෙරුම් පුරමින් කළ ආදර කතාවේ
ජය නැත කිසි තැනක ඇත්තේ පැරදුමවේ
එම පැරදුම නිසාමයි අප එම ගී ඇසුවේ

සෝමා එච්. පතිරණ
පන්සල පාර
කහවත්ත