වර්ෂ 2016 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




වැඩිහිටියන්ට වඩා සුදුසු වුණේ භීතිය නිසයි

වැඩිහිටියන්ට වඩා සුදුසු වුණේ භීතිය නිසයි

උදයකාන්ත වර්ණසූරිය බන්ධනය ගැන කියයි

සිනමා ප්‍රේක්ෂකයන්ගේ සිත්වල අද්භූත බව ඔස්සේ නැඟෙන සංත්‍රාසය උපදවීමේ ලා බිහිවුණු චිත්‍රපට අප නරඹා ඇත්තේ හොලිවුඩ් හෝ බොලිවුඩ්වල නිර්මාණ ය. මෙවර එවැනි සංත්‍රාසයක් ඇති කිරීමේ ප්‍රයත්නයක යෙදුණේ ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂවරයෙකි. හේ උදයකාන්ත වර්ණසූරියයි. මේ දිනවල ඛ්ඡ්ඹ් මණ්ඩලයේ සිනමා ශාලාවල සාර්ථක ලෙස තිරගත වන ‘බන්ධනය’ චිත්‍රපටය දින පනහත් ඉක්මවා ගොසිනි. බන්ධනය උදයකාන්තගේ විසිවැනි සිනමා ආගමනයයි. ‘මහමෙර උසට, ‘ගිනිඅවි සහ ගිනිකෙළි’, ‘බහුබාර්යා’, ‘රාජ්‍ය සේවය පිණිසයි’, ‘රෝස වසන්තේ’, ‘යකඩ පිහාටු’, ‘බහුභූතයෝ’, ‘ලේකිරි කඳුළු’, ‘රන්දිය දහර’, ‘හිරිපොද වැස්ස’, ‘රන්කෙවිට’, ‘ආසයි මං පියාඹන්න’, ‘ගින්දරී’ ඇතුළු සිනමා නිර්මාණ රැසක් සිනමා ප්‍රේක්ෂකයන්ට තිළිණ කළ උදයකාන්ත වර්ණසූරිය ජනප්‍රිය හා කලාත්මක සිනමා ධාරාවල අපූර්ව නිර්මාණාත්මක සංකලනයක් තමාට ම ආවේනික සිනමා රීතියකින් ගෙන පැමිණියෙකි. එවැනි නිර්මාණකරුවකු වූ උදයකාන්ත වර්ණසූරිය සමඟ අප මේ සුහද කතාබහක නියැළෙන්නේ ඔහුගේ වෙනස් ම සිනමා ආගමනය පිළිබඳයි.

* ‘බන්ධනය’ ඔබගේ විසිවැනි සිනමා නිර්මාණයයි. මුලින් ම ඒ ගැන කතාබහ කරමු?

මා නිර්මාණය කළ චිත්‍රපට අතරින් ‘බන්ධනය’ කියන්නේ ඒ සියල්ලට ම වඩා වෙනස් චිත්‍රපටයක්. හොරර් සිනමා ගණයට ගැනෙන මෙවැනි චිත්‍රපටවල අඩුවක් ලාංකේය සිනමාවේ මා දුටුවා. ඒ නිසා හොරර් චිත්‍රපටයක් සිංහල සිනමාට දායක කිරීමට වුවමනාවක් බොහෝ කාලයක් තිස්සේ මගේ සිතේ තිබුණු අදහසක්. ඒ වගේ ම මේ මාධ්‍යයේදී සිනමා රූප මාධ්‍ය වඩාත් හොඳීන් භාවිත කරගත හැකිය කියන කාරණයත් මගේ ඔළුවේ තිබුණා. මා කුඩා කාලයේ අහලා තිබුණු, පොතපතින්, පුවත්පත්වලින් කියවලා තිබුණු හොල්මන් කතන්දරවල ලස්සන රූප රාමු මගේ ඔළුවේ සක්මන් කරමිනුයි සිටියේ. ඒ සියල්ලයි කතාවක් ආකාරයෙන් චිත්‍රපට තිරරචනයක් විදියට ලියැවෙන්නේ. තිරරචනය ලිවීමේදී ඒ සිදුවීම් පිළිබඳ හදාරලා පැරැණි අද්භූත සිද්ධි හා කතා ආශ්‍රයෙන් ප්‍රබන්ධයකුයි මා නිර්මාණය කළේ. ඒ ප්‍රබන්ධය නිර්මාණය කිරීමේදී සිනමාවට ගැළපෙන අයුරින්, රූප මාධ්‍යයට ගැළපෙන අයුරින් සිනමාත්මකව කළ නිසයි අද ‘බන්ධනය’ චිත්‍රපටය සිනමා ප්‍රේක්ෂකයන් අතරට පිවිස තිබෙන්නේ.

* ඔබට මේ වනවිට සිනමා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණේ මොන වගේ ප්‍රතිචාර ද?

අද වනවිට ‘බන්ධනය’ චිත්‍රපටය තිරගත වන කාල සීමාව දින පනහක් පමණ වෙනවා. මෙවැනි චිත්‍රපටයක් නිර්මාණය කිරීම අභියෝගයක්. මොකද මේ වගේ චිත්‍රපට කවුරු නරඹයි ද? සිනමා ප්‍රේක්ෂකයන් මේ වගේ නිර්මාණයක් කොහොම පිළිගනියි ද? කියන ගැටලුවයි මගේ සිතේ තිබුණේ. අසීමිත සිනමා ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් නොලැබුණත් වෙන ම පිරිසක්, අද්භූත රසයට කැමැති පිරිසකුත්, සිනමාවට නැඹුරු නොවුණු පිරිසකුත් ‘බන්ධනය’ නරඹනවා. ඒ ගැන මට සතුටුයි. මේ වගේ චිත්‍රපටයක් සිංහල සිනමාට එකතු කිරීමට ලැබීම ගැනත් මගේ සිතේ තිබෙන්නේ සතුටක්.

* ඔබගේ බොහෝ චිත්‍රපට පවුලේ සියල්ලන්ට ම නැරැඹිය හැකි චිත්‍රපටයි. එහෙත් ‘බන්ධනය’ එතැනින් එහාට ගිහිනුයි නිර්මාණය වන්නේ?

‘බන්ධනය’ පවුලේ සියල්ලන්ට ම සතුටින් හා ආසාවෙන් නරඹන්න හැකි චිත්‍රපටයක් ද කියන ගැටලුව සිනමා ප්‍රේක්ෂකයන්ගේ හදවතේ මතුවෙනවා නියතයි. ‘බන්ධනය’ චිත්‍රපටයෙන් මා අදහස් කළේ සම්පූර්ණයෙන් ම භයංකාර රසය සිනමා ප්‍රේක්ෂකයාට ලබා දෙන්නයි. සංත්‍රාසයට කැමැති සිනමා ප්‍රේක්ෂකයන් ඉලක්ක කරගෙනයි මා මේ චිත්‍රපටය නිර්මාණය කළේ. ඒ නිසා පවුලේ සියලුදෙනාම සහභාගි කර ගනිමින් චිත්‍රපටය නරඹන්න හැකි ද කියන එක පිළිබද යම් ගැටලුවක් තිබෙනවා. ඒක මා පිළිගන්නවා.

* වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි යනුවෙන් යම් වැකියක් චිත්‍රපටයේ වෙළෙඳ ප්‍රචාරණයේදී භාවිත වෙනවා. ඒ ගැන යමකුගේ සිතේ වැරැදි විදියට අර්ථ ගැන්වීමක් ඇතිවිය හැකියි නේද?

‘බන්ධනය’ පවුලේ සැමට ම නැරැඹිය හැකි චිත්‍රපටයක්. වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි යනුවෙන් යම් වැකියක් අප භාවිත කළේ මේ චිත්‍රපටයේ තිබෙන භයංකාර බව නිසයි. තමන්ට දරා ගැනීමට හැකි පිරිසයි ‘බන්ධනය’ චිත්‍රපටය සිනමා ශාලාවට ගිහින් නැරැඹිය යුත්තේ. එහෙම නැතිව අනවශ්‍ය දර්ශන මෙහි ඇතුළත් නිසා නොවෙයි අප එවැනි වාක්‍යයක් භාවිත කරන්නේ.

* ඔබගේ අනෙක් නිර්මාණ හා සසඳද්දි ‘බන්ධනය’ ගැන මොක ද සිතන්නේ?

‘බන්ධනය’ මගේ අනෙක් චිත්‍රපට සමඟ සන්සන්දනය කරන්න යන්නේ නැහැ. මේ නිර්මාණය වෙනස් ම තලයක තිබෙන චිත්‍රපටයක්. එහිදි ‘බන්ධනය’ චිත්‍රපටය හරහා සංත්‍රාසය දනවන්න සිනමා මාධ්‍යයේදී කළ හැකි සියලු ම දේ මා මට හැකි අයුරින් කර තිබෙනවා. ඒ ඇරෙන්න මගේ අනෙක් චිත්‍රපට වගේ මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වේවි ද? නොවේවිද? කියන කාරණා මම අදාළ කර ගත්තේ නැහැ.

* ඔබ චිත්‍රපටය කළු සුදු වර්ණයෙන් ඉදිරිපත් කරන්නේත් ඒ නිසාම ද?

මේ චිත්‍රපටය මා කලු සුදු වර්ණයෙනුයි ඉදිරිපත් කිරීමෙන් සම්පූර්ණයෙන් ම සෞන්දර්ය බැහැර කරලයි තිබෙන්නේ. එහෙම නැත්නම් මට ගීත දර්ශන දමමින්, නර්තන දර්ශන දමමින් චිත්‍රපටය සෞන්දර්යයෙන් පුරවන්න තිබුණා. එහෙම නොකළේ භයංකාර රසය නියමාකාරයෙන් සිනමා ප්‍රේක්ෂකයන්ට දැනවීමේ අදහස මූලික වුණු නිසයි. එහිදි මට යම් පාඩුවක් වෙන්නත් පුළුවන්. ඒ පාඩුව දරාගෙන අද්භූත රසය අවශ්‍ය චිත්‍රපටයකට අවශ්‍ය සැබෑ දේ දෙන්නයි මා උත්සාහ කළේ. හොඳ චිත්‍රපටයක් විදියට අද සමාජයේ පිළිගැනීමක් ලැබී තිබෙන්නේ ඒ කරන ලද නිවැරැදි දේ නිසයි. මුදල් ගැන අමතක කරමින් ඒ කළ දේ ගැන මට තිබෙන්නේ සතුටක්.

* ඔබට එවැනි පෙළහරක් පෑමට උදව් කළ පිරිස කවුද?

එහිදි ශබ්ද තාක්ෂණය මා කළේ අපේ රටේමයි. එය සිදු කළේ ඩිල් ෆිල්ම් ආයතනයේයි. ඒ ආයතනයේ ප්‍රධානියා මෙන්ම සංස්කරණ ශිල්පිය විදියට කටයුතු කළ ප්‍රවීන් ජයරත්නයි ඒ ශබ්ද තාක්ෂණය මට ලබා දුන්නේ. ත්‍රිමාන තාක්ෂණය යොදා ගැනීමේ දී මට උදව් කළේ ළා බාලා ම තරුණයන් දෙදෙනෙකු වන 360 ප්‍රඩක්ෂන් ආයතනයේ බුද්ධික විජේරත්නෙ හා සමින්ද වටවනයි. මා සංගීත අධ්‍යක්ෂණය භාර දුන්නේ අලුත්ම සංගීත අධ්‍යක්ෂවරයකුටයි. ඔහු නඳුන් රත්නායකයි. කලා අධ්‍යක්ෂණයෙන් අරුණ ඩයස් සහය වූවා වගේ ම වේශ නිරූපණයත් මෙහි වැදගත් අංගයක්. එහිදි මට සහය වූයේ ජයන්තා රණවකයි. විශේෂයෙන් ම අමනුෂ්‍යා නිර්මාණය කිරීමේදී ඔහු විශේෂ මහන්සියක් දැරුවා. ඊට අමතරව කැමරා අධ්‍යක්ෂණයේදී සහය වුණේ ප්‍රවීණ කැමරා ශිල්පී කේ.ඩී. දයානන්දයි. මෙහි තිබෙන්නේ කැමරා රූප නිර්මාණක්. සහය අධ්‍යක්ෂණයෙන් ඩොනල්ඩ් ජයන්තත්, නිෂ්පාදන කළමනාකරණයෙන් අශෝක ආරියරත්නත් සහයෝගය දුන්නා. නිහාල් සංජය, ලතා කුලරත්න, කුමාර වඳුරැස්ස යන ශිල්පීන් මට ලබාදුන් සහයෝගය අප්‍රමාණයි.

* සංත්‍රාසය ඇති කිරීම උපදවන මහසෝනාගේ රූපය නිර්මාණය කිරීම සිදුවූයේ කොහොම ද?

තනිකරම මහසෝනා කියන සංකල්පය ඔළුවට අරගෙන එහෙම නිර්මාණයක් කර ගැනීමට උවමනා වුණේ නැහැ. අමනුෂ්‍යයකු කියන කතන්දරයයි මා සිතට ගත්තේ. මොකද එහෙම අමනුෂ්‍යයකු අප කිසිවකුත් දැක නැහැ. මේක ප්‍රබන්ධයක්. එහිදි විශ්වසනීයත්වය තීරණය වන්නේ චිත්‍රපටය නරඹන සිනමා ප්‍රේක්ෂකයා මතයි. එවැනි අද්භූත සත්ත්වයකු මා යොදා ගත්තේ අද්භූත වඩාත් ඉස්මතු පෙන්වීමේ අදහසින්. ඒ සඳහා මා නවීණ තාක්ෂණය යොදා ගත්තා. නවීණ තාක්ෂණයත්, වේශ නිරූපණයත් යොදාගෙනයි මා ඒ සත්ත්වයා නිර්මාණය කළේ. මේ චරිතය රඟපෑවේ ප්‍රවීණ නළුවකු වන රංජිත් සිල්වා මහතායි. මට මතක විදියට ඔහුට වේශ නිරූපණ කටයුතු කිරීමට පැය හයක පමණ කාලයක් ගිය බවයි. ප්‍රොස්තටික් කියන වේශ නිරූපණ ක්‍රමවේදයට අනුවයි ඒ කටයුතු සිදුවුණේ.

* සිරිල් වික්‍රමගේ කාලයකට පසුව යළිත් සිනමාවට පිවිසෙන්නේ ඔබගේ චිත්‍රපටයේ රඟපෑමෙන්. ඔබට ඔහුව ම ඒ චරිතයට තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබුණා ද?

සිරිල් වික්‍රමගේ කියන්නේ අතිදක්ෂ රංගන වේදියකුයි. මේ පිටපත ලියද්දි මගේ සිතේ මැවුණේ සිරිල් වික්‍රමගේ මහත්තයාවමයි. මේ චරිතය නිරූපණය කිරීමට ඔහුගෙන් මට ලැබුණේ පුදුම සහයෝගයක්. මේ චරිතයට ඔහු හැර වෙන නළුවකු ගැන සිතා ගැනීමට මට නොහැකි වූවා.

* භයානක රසය උපද්දවන ‘බන්ධනය’ චිත්‍රපටයේ ප්‍රධාන කතා නායිකාව වන සහේලි දියණිය ඇගේ චරිතය හොඳීන් නිරූපණය කරනවා. ඒ ළමා නිළිය සොයා ගැනීමට ඔබට අභියෝගයක් වුණා ද?

එවැනි දක්ෂතා දක්වන නිළියක් සොයා ගැනීම ඇත්තට ම අපහසු වූ කාර්යයක්. සහේලි සතරසිංහ කියන දැරිය ගැන දැන ගැනීමට ලැබෙන්නේ ඒ ගැටලුවේ සිටින විටයි. මගේ සිතේ සිටි දැරිය ඈට මනා අයුරින් නිරූපණය කර ගැනීමට හැකියාව ලැබුණා. එහෙම නොවුණා නම් මුළු චිත්‍රපටය ම ඇද වැටෙනවා. සුවිනීතා කෝන්ගහගේ කියන ප්‍රවීණ නිළිය ඇතුළු බොහෝ ප්‍රවීණ නළු නිළි පිරිසකගෙන් මට ලැබුණු සහයෝගයත් මෙහිදි මා සිහිපත් කළ යුතුයි.

* ජනප්‍රිය සිනමාව හරහා පැමිණි හේමාල් බන්ධයේ ඉදිරිපත් කරන්නේ වෙනස් ම චරිතයක්. ඔහු ඔබ ගැන තැබූ විශ්වාසය නියම ආකාරයෙන් වටහා ගෙන තිබෙන බවයි පෙනෙන්නේ?

හේමාල් මෙතෙක් කල් රඟපෑවේ ජනප්‍රිය තලයේ නිර්මාණවලයි. ඔහුට හොඳ රංගන හැකියාවක් තිබෙන බව ඔප්පු කළේ ‘බන්ධනය’ චිත්‍රපටය හරහායි. ඒක ලොකු සතුටක්. ඊට අමතරව නිල්මිණි තෙන්නකෝන්, රවීන්ද්‍ර යසස්, ප්‍රියංකර රත්නායක, සෝමවීර ගමගේ වැනි අද කාලේ නළු නිළියන් රැසකගේ දායකත්වය ලබාගැනීමට මට හැකියාව ලැබුණා. ඒ රඟපාන නළු නිළියන්ගේ දක්ෂතා පිළිබඳ අද හැමෝම කතාබහ කරනවා.

* ඔබ කොළොම්පුරවරයේ උපත ලැබූවත් ඔබගේ අක්මුල් තිබෙන්නේ දකුණේයි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට බොහෝ ජනප්‍රියත් දකුණු පුරවරයයි. ඒ හරහා ඔබගේ ලේවල බැඳීම මෙවැනි නිර්මාණයක් කිරීමට බලපෑවා ද?

කුඩා කාලයේ මා වැඩිපුර ම ජීවත්වුණේ ගම් ප්‍රදේශයේ. ගම ආශ්‍රිතව ඔය වගේ කතා රාශියක් අසා තිබුණා. එහෙත් ඒවා මා අත්විඳලා නම් තිබුණේ නැහැ. ඒ වුණත් මා කුඩා කාලයේ පටන් ම කළුවරට, හොල්මන්වලට බය කෙනෙකු නොවෙයි. ඒත් මා කුඩා කාලයේ ඇසූ කතන්දර මගේ සිතේ තැන්පත් වී තිබුණා. ඉස්සර ඇණයක් ගහලා යක්ෂ බන්ධනයක් කරන කතාව මගේ හිතේ පැලපදියම් වී තිබුණේ බොහොම තදින්මයි. එය නිමිති කර ගනිමිනුයි මා කතාව ගොඩනැඟුවේත්. සිනමාව ගැන හදාරමින් එහි නියැළිලා කාලයක් ඉන්න විට මා ඒ කුඩා කාලයේ ඇසූ දේ නිමිතිකර ගනිමින් ලියූ තිරරචනය හරහා සිනමා මාධ්‍යයට නැඟුවා.

* විල්මන් සිරිමාන් රඟපෑ චරිතය ඉක්මනින් ම මරා දැමීම ඉක්මන් වැඩි යැයි ඔබට නොසිතුණේ ඇයි?

විල්මන් සිරිමාන් දක්ෂ නළුවෙක්. ඔහු මගේ කලා ගමන ආරම්භයේ පටන් ම සම්බන්ධ වුණු නළුවෙක්. ඒත් ඒ කතාවේ තිබෙන සීමිත ඉඩකඩ එපමණයි. මෙහෙමයි, කතාවේ තිබෙන පෙළ ගැස්මත් සමඟයි එය තීරණය වන්නේ. චිත්‍රපටය නරඹන විට ඔහුව ඉක්මනින් ම මරලා දැම්මා කියලා කාට හෝ සිතෙන්න පුළුවන්. ඔහුගේ මරණයත් සමඟ කතාව වෙනස් ම මඟකට ගලාගෙන යනවා.