වර්ෂ 2016 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




ලංකාවේ හොඳම නිර්මාණවලට මා වාදනයෙන් දායක වුණා

ලංකාවේ හොඳම නිර්මාණවලට මා වාදනයෙන් දායක වුණා

කීර්ති පැස්කුවල්

සංගීත ක්ෂේත්‍රයේ දශක හතරක කාලවකවානුවක් ගෙවා දමනවා යනු සංගීත ශිල්පියෙකුගේ ගමන් මඟ තුළ එක්තරා ආකාරයක සන්ධිස්ථානයකි. ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය තුළ තමන්ටම අනන්‍ය වූ ගමන් මඟක් සකසා ගනිමින් කිසිදා ඒ අනන්‍යත්වයට හානි පමුණුවා නොගත් ගායන ශිල්පියෙකු ලෙස කීර්ති පැස්කුවල්ගේ නාමය රඳා පවතී. සංගීත දිවියේ හතලිස් වසරක ඉතිහාසයක් සමරන ඔහු ඒ නිමිති කොටගෙන සුවිශේෂී සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට මේ දිනවල සුදානම් වෙයි. ‘කීර්ති ගී ඡ්මචතභබඪධද ධට ර්භඵඪජ’ නමින් මෙම මස 20 වැනි සෙනසුරාදා සවස 7.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී මේ ප්‍රසංගය පැවැත්වේ. මෙම ප්‍රසංගය පැවැත්වීමේ ප්‍රධාන අරමුණ සමාජ සත්කාරයකි. අනුරාධපුර මහ රෝහලට නිතිපතා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන වකුගඩු රෝගීන් හට තාවකාලික නවාතැන් පහසුව සලසාදීම සඳහා විශ්‍රාම ශාලාවක් ඉදි කිරීම වෙනුවෙන් ආධාර පිරිනැමීම එහිදී ප්‍රධාන වේ.

කීර්තිගේ සංගීත දිවියේ විවිධ පරිණාමයන් සනිටුහන් කරමින් කැලිප්සෝ සංගීතය 70 දශකය, 80 දශකය හා වත්මන් නව සංගීත රිද්මය යනුවෙන් අදියර සතරකින් යුක්තව ගීත 28 න් සමන්විතව මෙවර ‘කීර්ති ගී’ ප්‍රසංගය නිර්මාණය වේ. ප්‍රසංගය සංගීතවත් කිරීම සඳහා ප්‍රවීණ වාදන ශිල්පීන් 25 ට අධික සංඛ්‍යාවක් සහභාගි වන අතර ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය සරත් ද අල්විස්, මහේෂ් දෙනිපිටිය හා නාලක සජී ජයසිංහ විසින් සිදු කරනු ලැබේ. කීර්තිගේ සහාය ගායන ශිල්පීන් වශයෙන් ඇනස්ලි මාලේවන, එරල් ප්‍රනාන්දු, ධම්මිකා බණ්ඩාර, සමිතා එරන්දතී මුදුන්කොටුව, නිරෝෂා විරාජිනි, නෙළු අධිකාරි, මරියසෙල් ගුණතිලක, කසුන් පැස්කුවල්, වරුණි පැස්කුවල් සහ චේතනා රණසිංහ සහභාගි වෙති. මෙම ප්‍රසංගයට සමගාමීව කීර්තිගේ නවතම ගී ඇතුළත් ‘තරු පොකුරු’ නම් සංයුක්ත තැටිය ද එදින දෙරට වඩින අතර ඔහුගේ සංගීත දිවියට අත්වැල සැපයූ සුවිශේෂී පුද්ගලයින් පිරිසකට උපහාර දැක්වීම ද සිදුවේ.

කීර්තිගේ සංගීත දිවිය දෙස ආපසු හැරී බලත්දී ඒ ගමන් මඟ තුළ විද්‍යමාන වන ප්‍රධාන ශිල්පීන් තිදෙනෙකු හඳුනා ගත හැකිය. වාදන ශිල්පියෙකු, ගායන ශිල්පියෙකු හා සංගීත අධ්‍යක්ෂවරයකු වන මෙකී භූමිකා ත්‍රිත්වය කීර්තිගේ සිවු දශකය පුරා මෙරට සංගීත ලෝලීන් පිනවන්නට විවිධාකාරයෙන් දායක වූයේය. 70, 80 දශකයන් වෙත මඳක් විමසිලි නෙතින් බැලුවහොත් ඔහු රංගන ශිල්පියෙකු වශයෙන් ද ඉඳහිට අපට මුණ ගැසුණේය. ඉන් වඩා මතකයට නැඟෙනුයේ ‘චාරුලතා’, ‘ගව්වෙන් ගව්ව‘ හා ‘තරු’ යන ටෙලි නාට්‍යයන්ය.

කීර්තිගේ සංගීත ගමන්මඟ ආරම්භ වන්නේ කැලිප්සෝ සංගීත ඇසුරු කර ගනිමිනි. ඔහුගේ ඥාති සහෝදරයන් කිහිප දෙනෙකු එකතු කරගෙන ‘කැලිප්සෝ’ සංගීත කණ්ඩායම් ආරම්භ කළේය. එයට බොක්ස් ගිටාර් කිහිපයක්, කොංගෝ ඩ්‍රම් එකක් වැනි සීමිත සංගීත භාණ්ඩ ඇතුළත් වූ අතර එකල ජනප්‍රිය වූ බොහෝ ගීත මේ කණ්ඩායම විසින් ගායනා කරන ලදි.

“මම මගේ සංගීත ගමන ආරම්භ කළේ වාදකයෙක් හැටියට. ඒ කාලේ මම හිතුවේ නෑ ගායන ශිල්පියෙක් වෙන්න. නමුත් මට ගීත ගායනා කිරීමේ හැකියාව තිබුණා. 60 දශකය වෙනකොට සංගීත ක්ෂේත්‍රයේ ගොඩක් ජනප්‍රිය වෙලා තිබුණේ කණ්ඩායම් සංගීතය. මමත් කණ්ඩායම් සංගීතයට හරියට ප්‍රිය කළා. ඒ අනුව තමයි ඥාති සහෝදරයෝ ටිකක් එකතු වෙලා ‘කැලිප්සෝ’ සංගීත කණ්ඩායමක් හදාගත්තේ. ඒ ගීත අනුකරණය කරමින් ඒ ගීත ගායනා කරමින් ගීත ශෛලිය හදාරන්න මම උනන්දු වුණා. ඒ වගේම ඒ කාලෙදී ගිටාරය ජනප්‍රිය සංගීත භාණ්ඩයක් බවට පත්වීගෙන ආවා. මමත් මගේ සහෝදරයා නිසා ගිටාර් වාදනයට පෙළඹුණා. මගේ අයියා පද්මසිරි පැස්කුවල් තමයි අපේ ගෙදරට මුලින්ම ගිටාර් එකක් අරගෙන ආවේ. ඒ ගිටාර් ඒක මටත් නිතර අතපත ගාන්න ඉඩ ලැබුණා. ඔය කාලයේ (70 දශකයේ) මට අවස්ථාව ලැබුණා සංගීත කණ්ඩායමක වෘත්තීය වාදකයකු ලෙස කටයුතු කරන්න. මගේ ගම මහනුවර. අධ්‍යාපනය ලැබුවේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ. මහනුවර ප්‍රදේශයෙන් බිහිවුණ ප්‍රවීණ සංගීතවේදියෙකු වූ ස්ටැන්ලි පීරිස් මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණ ‘ග්ලැක්සීස්’ සංගීත කණ්ඩායමට මම සම්බන්ධ වුණා.

70 දශකයේ ඉතාමත්ම ජනප්‍රිය වුණු සංගීත රටාව තමයි ක්ලැරන්ස් විජේවර්ධන කැලිප්සෝ කියන සංගීත ආරයට නව අර්ථකතනයක් දෙමින් බටහිර සංගීත භාණ්ඩ වාදනය කරමින් ආරම්භ කළ කණ්ඩායම් සංගීතය. ඒ කාලේ මුන්ස්ටෝන්, ගෝල්ඩන් චයිම්ස්, සුපර් ගෝල්ඩන් චයිම්ස් නමින් ඔහුගේ ප්‍රධානත්වයෙන් සංගීත කණ්ඩායම් ආරම්භ වුණා. එම සංගීත කණ්ඩායම්වල තිබුණු සංගීත රටාවන්මයි මම ‘ග්ලැක්සීස්’ සංගීත කණ්ඩායම සමඟ වාදනය කළේ. ඒ කාලේ මහනුවර ප්‍රදේශයේ ඉතාමත්ම ජනප්‍රිය වෙන්න අපට හැකි වුණා.”

මහනුවර ප්‍රදේශයේ වූ ජනප්‍රියත්වය නිසාම ග්ලැක්සීස් සංගීත කණ්ඩායමට විවිධ අවස්ථාවල කොළඹට ආරාධනා ලැබිණ. කීර්ති කොළඹට පැමිණ ප්‍රථමයෙන්ම පටිගත කිරීමකට සහභාගි වී ඇත්තේ 1978 දීය. ඒ ග්‍රේෂන් ආනන්ද ගායන ශිල්පියාගේ ප්‍රථම ගීතය වූ ‘ඈත දුරක දෑස පාවෙලා’ ගීතයට බේස් ගිටාරය වාදනය කරමිනි. 1980 පමණ වන විට කීර්ති කොළඹ පදිංචියට පැමිණෙන්නේය. මෙකල කීර්තිට සංගීතවේදී පැට්‍රික් දෙනිපිටියගේ සංගීත කණ්ඩායමේ ගායකයෙකු හැටියට කටයුතු කරන්නට හැකි විය. ඒ අතරතුරම ඔහු මවුන්ට් චයිම්ස්, කලර් නයිට් වැනි සංගීත කණ්ඩායම්වල වාදකයකු හැටියට ද කටයුතු කළේය. 1983 දී ඔහු නිත්‍ය වාදකයෙකු වශයෙන් ‘ෆෝචූන්ස්’ සංගීත කණ්ඩායමට සම්බන්ධ විය. කීර්තිගේ වාදන ශිල්පියෙකු ලෙස ඇරඹූ දිවිය ඉදිරියට යන අතරතුරම ගායකයෙකු වශයෙන් ඉදිරියට යාමේ අවස්ථාව ද එකම කාල වකවානුවක් තුළ වර්ධනය විය. 1982 දී ඔහු නන්දා මාලිනීගේ ‘සත්‍යයේ ගීතය’ ප්‍රසංගයේ අත්වැල් ගායනයට එක් විය. ප්‍රසංග වාර 530 ට ඔහුගේ දායකත්වය හිමි විය. ඒ සමඟම ඇගේ ‘පවන’ ප්‍රසංගයේ ද ප්‍රසංග වාර 30 ට ඔහු සහභාගි විය. මේ යුගය වන විට කීර්ති තරමක කාර්යබහුල පුද්ගලයකු වූයෙන් ‘පවන’ ප්‍රසංගය සඳහා ඔහුගේ වැඩිමල් සොයුරාගේ පුත් මහේන්ද්‍ර පැස්කුවල් ඒ සඳහා යොමු කොට ඔහු ඉන් ඉවත් විය.

කීර්ති ස්වනිර්මාණ කරණයට පිවිසෙන්නේ 1982 දීය. ඔහුට ප්‍රථමයෙන්ම ගීයක් රචනා කරනුයේ හේම ශ්‍රී ද අල්විස් විසිනි. එහි සංගීතය නිර්මාණය පද්මසිරි පැස්කුවල් ගෙනි. ‘හන්තානේ නිල් කඳු වැටි අතරේ’ නමින් යුත් එම ගීතය එතරම් ජනප්‍රිය නොවුණත් ඉන් පසුව නිර්මාණය වූ නීල අහසේ, කවිකාරියේ, රන්තරු පායා වැනි ගීත අතිශයින්ම ජනප්‍රිය විය.

‘මගේ පළමුවැනි කැසට් එක නිකුත් කරන්නේ 1985 දී. ඒ වෙනකොට මගේ ගීත හුඟාක් ජනප්‍රියයි. මගේ අතීත දිවිය දිහා ආපස්සට හැරිලා බලත්දී ලොකු තෘප්තියක් දැනෙනවා. මේ දශක හතර පුරාම මට එකම විදියට ස්ථාවරත්වයක ඉන්න පුළුවන් වුණා. එහෙම රැඳිලා ඉන්න එක ඇත්තටම අසීරු කාර්යයක්. මම විශ්වාස කරනවා ඒකට හේතුව අවංකව වැඩ කිරීම සහ කරන කාර්යය හරියට කිරීම කියලා. රැල්ලට නිර්මාණ කරනවා නම් මේ විදියට නවතින්න බෑ. මම මුල් කාලයේම තේරුම් ගත්ත දෙයක් තමයි හරවත් නිර්මාණ කළොත් ඒවා හුඟක් කල් පවතිනවා කියන එක. මගේ ගමන් මඟ මම අදටත් වෙනස් කරගෙන නෑ. තරුණ පරපුරේ නිර්මාණකරුවන් සමඟ මම ඕනෑ තරම් වැඩ කරනවා. හැබැයි මගේ ශෛලියට. ඒ වගේම තමයි අපි මුල අමතක කරන්න හොඳ නෑ. අපි පොළවේ පය ගහලා ඉන්න සාමාන්‍ය මිනිස්සු. මම කලාකරුවෙක් ගායකයෙක් බවට පත් වෙන්නේ වේදිකාවට නැග්ගම විතරයි. වේදිකාවෙන් බැස්සම මම නිකම්ම නිකං සාමාන්‍ය මිනිසෙක්.

කීර්ති වසර 4 ක් වැනි දිගු කාලයක් මෙරටින් ඈත්ව විදේශගතව සිටියා අපට මතකය. ඔහු නැවත පැමිණෙන්නේ 2004 වසරේදීය. ඔහු නැවත සංගීත ලෝකයට පැමිණෙන සන්ධිස්ථානය වූයේ කඳුළ ඉතින් ගීතයයි.

‘කඳුළ ඉතින් සමාවෙයන්

අපි හමුවෙමු අද හවසට . . .’

ගීතය ඔහුගේ ආගමනය මෙරට ගීත ලෝලීන් කෙතරම් ඉහළින් පිළිගත්තා ද යන්නට හොඳම නිදර්ශනයයි. මේ යුගය වන විට මෙරට සංගීත ක්ෂේත්‍රය පුරා විවිධ රැළි පිට රැළි පෙරළෙමින් තිබිණ. මල් රැල්ල, පන්සල් රැල්ල මේ අතර ප්‍රධාන විය. වසර හතරක නිහැඬියාවකින් පසු පැමිණි කීර්ති විවිධ අත්හදා බැලීම් කරමින් සිට කඳුළ ඉතින් ගීතය ඉදිරිපත් කළේය. ඔහුගේ සුපුරුදු ශෛලියෙන් ඔහු මිදුණේ නැත. කෙතරම් රැළි ක්ෂේත්‍රය සිසාරා හඹා ගිය ද කීර්ති සුපුරුදු ශෛලිය මෙරට ගීත ශ්‍රාවකයින් ආදරයෙන් වැලඳ ගත්තේය. මෙවන් ස්ථාවර පදනමක ස්ථාවර ශෛලියක මෙන්ම හරවත්, ගුණවත් නිර්මාණ කරන්නට කීර්තිලාට ශක්තියක් වූයේ ඔවුන් කලා ලෝකයට අවතීර්ණ වූ මුල් කාලයේදීම සංගීත ලෝකයේ ඇසූ පිරූ තැන් ඇත්තන්ගේ ආශ්‍රයෙන් ලද මුලික පදනම බව කීර්ති අදටත් විශ්වාස කරන්නේය.

“ ඒ කාලේ සරත් දසනායක, ස්ටැන්ලි පීරිස් වැනි සංගිතඥයන් සෙවණේ අපි විශාල අත්දැකීම් සමුදායක් ලැබුවා. ඒ කාලේ මමයි මහින්ද බණ්ඩාරගෙනුයි අහලා තමයි මේ දෙපළ රෙකෝඩින් දාගන්නේ. ඒකෙන්ම තේරෙනවානේ ඒ දෙන්නාගේ ආශ්‍රය කොයි තරම් අපට ලැබුණාද කියලා. ඔවුන්ගෙන් අපට ලැබුණ සංගීත දැනුම, පරිචය කොයි තරම් ද කියලා හිතාගන්න බැහැ. වාදනයට ගායනයට මෙන්ම සංගීත අධ්‍යක්ෂණයට විශාල රුකුලක් ඔවුන්ගෙන් ලැබුණා. එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල, මිල්ටන් මල්ලවාරච්චි, ධර්මදාස වල්පොල, මිල්ටන් පෙරේරා ඇතුළු එකල ජනප්‍රිය සියලුම ගායක ගායිකාවන් ගී ගයද්දී වාදකයෙක් හැටියට මම හිටියා. ලංකාවේ බිහිවුණ හොඳම නිර්මාණ ටික හැදෙන කොට මම ඒ ළඟ හිටියා. අද බිහිවෙන කෙනකුට ඒ වාසනාව නෑ.”

ගායන දිවියේ විවිධ කාල වකවානුවලදී ළයාන්විත ගීත රැසක් කීර්ති විසින් සංගීත ක්ෂේත්‍රයට තිළිණ කළේය.

‘කවිකාරියේ සිංදු කියනා ලඳේ

ඔබදෝ රැහේ කෝකිලා . . .’

වැනි ගීත එදා ධම්මිකා බණ්ඩාර සමඟ ගැයූ අයුරු තවමත් ගීත ශ්‍රාවකයන් සිහිපත් කරනුයේ ආදරයෙනි. මෙදා ඔහු ගයන නවතම ගීත ද ගීත ලෝලීන් ආදරයෙන් වැළඳ ගනු නොඅනුමානය. කීර්තිටම අනන්‍ය වූ ඒ ආදරණීය ශෛලියට එදා අද මෙන්ම හෙටත් පෙම් බඳින ගීත ශ්‍රාවකයින් මේ රටේ සිටින තුරු මෙවන් හරවත්, ගුණවත් නිර්මාණ දැයට දායාද කරන නිර්මාණකරුවන් කලා අම්බරයේ සදා කල් දිදුලනු ඇත.