වර්ෂ 2016 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




ශිවංකර හිමිපාණෝ අපවත් වෙති

වියානි ගුණවර්ධන මියයයි

සරසවිය පුවත්පතට ළැදි පැරැණිතම පාඨකයකු වන වෙන්නප්පුවේ වියානි ගුණවර්ධන අභාවප්‍රාප්ත විය. සරසවිය ආරම්භයෙදීම සරසවිය පාඨකයන් අතරට එකතුවන වියානි පසුකාලීනව පුවත්පතට කලාව පිළිබඳ අදහස් ද රචනා කොට එවීය. සරසවිය ප්‍රතිචාර තීරය නිරන්තරයෙන් වියානිගේ අදහස්වලින් හැඩ විය. සරසවිය අප සමග දුරකතනයෙන් කතා කරන ඔහු සරසවියේ උන්නතිය වෙනුවෙන් ද නිතර අදහස් එක් කරලීය. වියානිගේ අවසන් කටයුතු පසුගියදා වෙන්නප්පුවේදී සිදු විය. දශක ගණනාවක් සරසවිය සමඟ අදහස් බෙදාගත් අප හිතාදර පාඨක වියානි ගුණවර්ධනට මොක්සුව පතමු.


ශිවංකර හිමිපාණෝ අපවත් වෙති

පූජ්‍ය රත්නපුර ශිවංකර හිමිපාණෝ අපවත් වූහ. උන්වහනසේගේ දේහයේ අවසන් කටයුතු ඊයේ (17) දින බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි.

කලක් ජනප්‍රිය සිනමා පුවත්පත් කලාවේදියකුව සිටි ඩී. කීරගල ආරච්චි උන්වහන්සේගේ ගිහිකල නාමය වෙයි. විසිතුරු පුවත්පතෙන් සිනමා ලේඛකයකු ලෙස සිය මාධ්‍ය ගමන ඇරැඹි උන්වහන්සේ 'සුරතර', 'සිතුසර', 'සරසි' පුවත්පත්වල විශිෂ්ට මාධ්‍ය මෙහෙවරක් ඉදිරිපත් කළේ ය. 'අමල් බිසෝ', සංඛපාලි', 'සතරපෙරනිමිති' යන චිත්‍රපටවල තිරරචනා කළ ඔහු එකල ජනප්‍රිය වූ 'උරවිසි' වේදිකා නාට්‍ය යේ අධ්‍යක්ෂවරයා ද වෙයි.


අනුලාගේ සාක්කිය එළිදකියි

තේමිය දල්පතාදුගේ නවතම නවකතාව 'අනුලාගේ සාක්කිය කෘතිය මේ මස 21 වැනිදා පෙරවරු 9.00ට බදුල්ල ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී එළිදැක්වෙයි.

දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද 'අනුලාගේ සාක්කිය කෘතිය එළිදැක්වීමේ උලෙළේ දී ප්‍රධාන දේශනය සිදු කරනු ලබන්නේ උපුල් රූපසිංහ මහතා විසිනි. ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක ඇතුළු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර, අමාත්‍ය ඩිලාන් පෙරේරා, වඩිවේල් සුරේෂ් සහ අරවින්ද කුමාර යන මැති ඇමතිවරුගේ සහභාගිත්වයෙන් පැවැත්වෙති.