වර්ෂ 2016 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




මේ විදියට කතාබහ කරන්න ලැබුණේ සුව වූ නිසයි

මේ විදියට කතාබහ කරන්න ලැබුණේ සුව වූ නිසයි

ඉන්ද්‍රාණි විජයබණ්ඩාර

ළඟදීම පුතා සමීර සමඟ ප්‍රසංගයක් පවත්වනවා

“එන්නකෝ ඉන්ද්‍රා ඔයාට බඩුවක් පෙන්වන්න. එවර නම් සිසිර මට කතා කළේ එයාගේ රෙදි පුරවපු ලොකු අල්මාරියක් පෙන්වන්නයි. ඒක බලන්න යැයි පැවසූ ඔහුගෙන් මා විමසුවේ මේ ඇඳුම් අරන් දුන්නේ කවුද යන්නයි. එවිට ඔහු පැවසුවේ මම යන්නයි. වෙනදා කවදාවකවත් නොතිබුණු ලස්සනකුයි එදා ඔහුට තිබුණේ. ඔයා වෙනදාටත් වඩා ලස්සනයි කියලා මම කිව්වට පස්සේ ඔහු හොඳට ම මට විහිළු කළා. ඒත් සමඟ ම මම නින්දෙන් අවදි වුණා.”

ඇල්විටිගල දෙමහල් නිවාස සංකීර්ණයේ වෙනදා නැති පාළුවකින් වෙලී ඇතැයි සිතේ. මා මෙහි අවසන් වරට පිවිසියේ මීට වසර එකහමාරකට පමණ පෙර ය. ඒ සිසිර සේනාරත්න නම් සොඳුරු කෝකිලයාගේ ජීවිත කතාව ලියන අවධියේ ය. සති කිහිපයක් එහි ආ ගිය මට දැනුණේ එය මගේ නිවෙස මෙන් ය. ඉන්ද්‍රාණි අක්කාගේ සිනහවත්, තේ එකත් නොවරදින ඒ දිනවල මේ තරමට ම පාළුවක් නිවාස සංකීර්ණයේ වූ බවක් මගේ මතකයට නම් නොනැඟේ. තෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ ම මාලයට පිවිසුණු මම වටපිට බැලීමි. වම්පස පිහිටි සිසිර අයියාගේ නිවෙසේ කොරිඩෝව පාළුවට ගොසිනි. කෝරිඩෝව සැරැසූ පුෂ්පයන් වෙනුවට එහි තනි මකන අසුන් දෙක පමණක් මගේ නෙත ගැටිණි. එහි එක් අසුනක වාඩි වී සිටියේ කාන්තාවකි. මා දුටුවන ම ඈ අසුනින් නැඟිට ගේට්ටුව අසලට පැමිණියේ එය අරින්නට ය. වෙනදා ගේට්ටුව අරින ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි විජය බණ්ඩාරගේ රුව වෙනුවට අද සිටියේ වෙනත් කෙනෙකි. ඇගේ රුව දකිනු රිසියෙන් මම පා ඉක්මන් කළෙමි. කෝරිඩෝවත් සමඟම විවෘත වන සාලයේ ඇය අසුන් ගෙන සිටියා ය.

“ආ...”

දුටු විගස ම ඇගේ මුවඟින් නැඟුණු “ආ...” ශබ්දය ඈ මා හඳුන ගත් බවට සලකුණකි.

“ඉතිං... ඉතිං...”

ඇගේ සුපුරුදු සිනහව අතරින් මම විමසීමි.

“කාලයකට පස්සේ...”

ඉන්ද්‍රාණි විජය බණ්ඩාර පැවසුවේ දිගු කතාබහකට මුල පුරන්නට ය.

“එහෙම නම් දැන් සුවයි වගේ.”

පසුගිය දිනවල අසනීප වූ බව අසන්නට ලැබුණු ආරංචිය අනුව මා එහි පිවිසුණේ සිසිර සේනාරත්නගේ දයාබර බිරිය ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රාණි විජය බණ්ඩාරගේ සුවදුක් සොයන අටියෙනි.

“බලන්නකෝ මට දිගට ම බොහොම කරදර.”

ඇය පැවසුවා ය. මද වේලාවකට පෙර පිබිදුණු හැඟීමෙන් කතා කළ ඉන්ද්‍රාණි අක්කාගේ උවනේ එවර නම් වූයේ සෝබර බවකි.

“දැන් ඉතිං අපි වයසයි නේ.”

යළිත් ඈ ම පැවසුවේ ජීවිතයේ නියම අරුත වටහාගෙන සිටින උවැසියක විලසිනි.

“ජීවිතේ විදිය ඔහොම තමයි.”

මා ඈට පිළිතුරු බැන්ඳේ සෝබර සිත සැනසීමට සිතාගෙන ය.

“මුලින් ම මොන වගේ අනතුරකට ද මුහුණ පෑවේ?”

අනතුරු කිහිපය සවිස්තරව පැවසුව ද ඒ පිළිබඳ පිළිවෙළකට දැන ගනු රිසියෙන් මම විමසීමි.

“මුල් ම අනතුර සිදු වුණේ මීට මාසයකට කලින්. මමයි මගේ මුනුබුරා සරිඳුයි දෙන්නා සූදානම් වුණේ මගේ ලේ හා සීනි ගැන පරීක්ෂණ වාර්තාවක් ගන්න යන්නයි. මා කාමරයේ සූදානම් වෙමින් සිටියේ. ඔළුව පීරමින් සිටින විට එක්වර ම මගේ අතින් පනාව වැටුණා. එවිට පනාව අරගෙන නැඟිට්ටා විතරයි එතැන තිබුණු ඩෙසින් ටේබල් එකේ කොණක මගේ ඔළුව ඇනුණා. නැඟිටින විට ම මොකක් හෝ දෙයක් වී තිබෙන බව මට හැඟුණා. ඉක්මනට ම මම කණ්ණාඩියෙන් බැලුවා. හෝ.... ගාලා ලේ ගලන බව පෙනුණේ එවිටයි. මම සරිඳුට කතා කළේ ඉන්පසුවයි. ඔහුත් හොඳට ම බය වුණා. ඉක්මනට ම මාව මහ රෝහලට අරගෙන ගියා. මැහුම් පහක් ගැහුවා. දුව සුභානිත් ඒ ගැන අහලා දුවගෙන රෝහලට ආවා. මගේ මිනිබිරියත් පැමිණ තිබුණා. හැමෝම බය වෙලා. අවසානයේ දුව මාව බලෙන් ම වගේ දුවගේ නිවෙසට එක්කගෙන ගියා. එහේ සති කිහිපයක් සිටියට පස්සෙයි මම යළිත් මගේ නිවසට පැමිණියේ.”

දියණිය සුභානි සිය මව බලා ගත්තේ බොහෝ ආදරයෙනි. ඈ මවට සැකසූ කාමරය දුටු ඉන්ද්‍රාණිගේ සිතට සිහිපත් වූයේ තරුපහේ හෝටලයක කාමරයකි.

“ඒ දවස් ටිකේ දුව මාව බලා ගත්තේ අම්මා කෙනෙකු තමන්ගේ දුව බලා ගන්න වගේ. එයා මට අම්මා කෙනෙකු වුණා. මමත් ඇගේ ආදරය විඳීමින් ඒ සති කිහිපය ම එහේ ගත කළේ බොහොම සතුටෙන්.”

ඒ අවස්ථාව සිහිපත් වීම නිසා ඉන්ද්‍රාණි අක්කාගේ දෙනෙත් අග දිදුලන්නේ කඳුළු කැට කිහිපයකි.

යළිත් ඈ සිය නිවෙසට පැමිණ ගතවූයේ දින කිහිපයකි. කකුල ලිස්සා බිම ඇඳ වැටුණි. එහෙත් අනතුරක් නොවී බේරුණේ අනූනවයෙනි. දණහිස වැදුණ ද ජීවක තෛලය ගෑ හෙයින් කකුලේ ඉදිමුම අඩු වී සාමන්‍ය තත්ත්වයට පත්විය. මේ වනවිට ඉන්ද්‍රාණිට හොඳට ඇවිදින්නට අපහසුවක් නැත. එහෙත් යළිත් ඈට මුහුණ දීමට සිදු වූයේ තවත් අකරතැබ්බයකට ය.

“ඒ සති කිහිපයකට කලින් එක්වර ම මට නොනවතින කැස්සක් ආවා. ඒ වගේ ම එක්වර ම මගේ කටහඩ ඇහෙන්නේ නැතිව ගියා. මුනුපුරයි මාව නැවතත් රෝහලට එක්ක ගෙන ගියේ. ලංකා පෞද්ගලික රෝහලේ සියල්ලන් ම මට හොඳට සැලකුවා. සති දෙකක් පමණ එහි සිටි මා යළිත් නිවෙසට පැමිණෙන විට කැස්සත්, හඬ ඇසෙන්නේ නැති රෝගයත් සුවපත් වෙලා තිබුණා. මේ විදියට ඔබත් සමඟ කතාබහ කරන්න ලැබෙන්නේ ඒ සුව වීම නිසයි.”

ඈ පවසුවේ යළිත් කතා කිරීමට ලැබුණු සතුටිනි. දියණිය සුභානි සෑම දිනෙක ම උදෑසන ම පැමිණෙන්නේ මවගේ සුවදුක් සෙවීමට ය. එලෙස ම සමීර පුතාත් ඈ ගැන සොයා බැලීමට අමතක නොකරයි. දවසේ ම ඉන්ද්‍රාණි අක්කා අසලට වී ඈව ආදරයෙන් බලා ගන්නේත්, කෑම කවන්නේත් ලතා ය.

“මිස්ට අඩු සීනි ද? වැඩි සීනි ද?”

ඉන්ද්‍රාණි අක්කා හා මගේ කතාබහ අතරතුර ලතා විමසන්නේ ආගන්තුක සතත්කාරයට මුල පුරන්නට ය. ඉන්ද්‍රාණි අක්කාගේ කාර්යභාරය භාරගෙන ඇත්තේ ලතා ය. ආත්තම්මාගේ සුවදුක් සොයමින් ඇගේ තනි නොතනියට සිටින අනෙක් තැනැත්තා මුනුබුරු සරිඳු ය.

මගේ නෙත ගැටුණේ සාලය අවසන් වන දොරකඩට පෙනෙන අයුරින් බිත්තියේ එල්ලා ඇති සිසිර - ඉන්ද්‍රාණි සුන්දර සේයාරුවයි. නීල පැහැති වස්ත්‍ර දවටාගත් ඒ සේයාරුව ඔවුන් දෙදෙනාගේ සොඳුරු ආදරය සිහිපත් කරන ස්මාරකයක් වැන්න.

“මගේ මතකයේ හැටියට ඔය පින්තූරේ ගත්තේ සිසිර විජේතුංග.”

ඈ පැවසුවේ මගේ නෙත නතරව තිබුණු සේයාරුව දෙසට සිය නෙත ද යොමු කරමිනි. එකෙණෙහි ම ඉන්ද්‍රාණි විජය බණ්ඩාරගේ සිත සිය සැමියා වූ සිසිරගේ මතකය සොයා යන්නට වැඩි කාලයක් ගත නොවේ. සිසිර සේනාරත්නයන් මියයෑමට පෙර පවත්වනු ලැබූ සිසින්ද්‍රා ප්‍රසංගය පිළිබඳ යළි යළිත් ඈ සිහිපත් කරන්නේ සොම්නසෙනි.

“සිසිර අයියාව හීනෙන් එහෙම පෙනෙන්නේ නැද්ද?”

ගහට පොත්ත මෙන් සිටි සොඳුරු යුවළක් වූ සිසිර - ඉන්ද්‍රාණි මතකය සිහිපත් කිරීම ඉන්ද්‍රාණි අක්කාට සොම්නසක් වූ නිසා ම මම විමසීමි.

“මට මතක් වෙන්නේ ඒ කාලයේ මම සිසිර වෙනුවෙන් ම කැප වෙලා හිටි විදියයි. ඔහු අපව දාලා යනතුරුම ම මම බොහොම ආදරයෙන් ඔහුව බලා ගත්තා. ඒ නිසාමදෝ සිසිර නැතිවුණා කියලා මට සිතෙන්නේ නැහැ. මට හිතෙන්නේ ම ඔහු මගේ ළඟ ම ඉන්නා බවයි. එක් දවසක් මට නින්ද ගිහින් තිබුණු වෙලාවක මා දුටුවේ කවුදෝ කෙනෙකු මගේ ළඟ නිදාගෙන සිටින බවයි.

“මටත් ඉඩ නෑ යන්න කෝ.”

කියලා මා පැවසුවාට පසුව “හා එහෙම නම් ඔයා නිදා ගන්නකෝ”

කියනවා එකපාරට ම මට ඇසුණා. ඒත් එක්ක ම මම නින්දෙන් අවදි වුණා. ඔන්න එතකොයි මට හැඟුණේ ඒ හිටියේ සිසිර කියලා. මම හීනෙන් හරි ඔහුට යන්න කිව්වනේ කියලා මගේ සිතට ආවේ දුකක්.”

තවත් දිනෙක යළිත් සිසිර සේනාරත්න ඉන්ද්‍රාණිව සොයා ආවේ ය.

“එන්නකෝ ඉන්ද්‍රා ඔයාට බඩුවක් පෙන්වන්න. එවර නම් සිසිර මට කතා කළේ එයාගේ රෙදි පුරවපු ලොකු අල්මාරියක් පෙන්වන්නයි. ඒක බලන්න යැයි පැවසූ ඔහුගෙන් මා විමසුවේ මේ ඇඳුම් අරන් දුන්නේ කවුද යන්නයි. එවිට ඔහු පැවසුවේ මම යන්නයි. වෙනදා කවදාවකවත් නොතිබුණු ලස්සනකුයි එදා ඔහුට තිබුණේ. ඔයා වෙනදාටත් වඩා ලස්සනයි කියලා මම කිව්වට පස්සේ ඔහු හොඳට ම මට විහිළු කළා. ඒත් සමඟ ම මම නින්දෙන් අවදි වුණා.”

සිසිර ජීවත්ව සිටින කාලයේදීත් ඔහු ලස්සන යැයි වර්ණනා කිරීම ඉන්ද්‍රාණිගේ පුරුද්දකි. එවිටත් ඔහු ඈට විහිළු කිරීම ද පුරුද්දකි.

“සිසිර වෙනුවෙන් මා ගොඩක් පින්කම් කරනවා. නිතරම බුදුන් වැඳලා, පිරිත් කියලා ඔහුට සෙත් පතනවා.”

ඉන්ද්‍රාණි සේනාරත්න සිය සැමියා පිළිබඳ මතකය හදවතේ කැටූ අකුරක් සේ සටහන්ව ඇත. ඒත් සමඟ ම ඈ සම්බන්ධයෙන් ඔබට කියන්නට අලුත් ම තොරතුරක් ද ඇත. ඒ ළඟදීම ඉන්ද්‍රාණි විජයබණ්ඩාරගේ ගී ප්‍රසංගයක් පැවැත් වීමට කටයුතු සූදානම් වෙමින් පවතින බවයි. සිසිර අයියාගේ ගී ගයන්නට ඈ සමඟ එක්වන්නේ පුතු සමීර ය. එය සිදුවන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ අදහසක් අනුව හා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය මහතාගේ මෙහෙය වීම යටතේ යැයි ඉන්ද්‍රාණි අක්කා පැවසුවේ බලාපොරොත්තු සහගත අපේක්ෂාවෙනි.

කලකට පසුව හමු වූ ගීත කෝකිලාවට සමුදෙන්නට කාලය පැමිණ ඇත. නිදුක් නිරෝගී සුව පතමින් මම ඉන්ද්‍රාණි විජය බණ්ඩාරගෙන් සමු ගත්තෙමි. තෙවන මහලට පෙනෙන ඇසල ගසේ ඇත්තේ මල් කිනිති කිහිපයකි. වෙනදා මල්වලින් බරවන ඇසල රුක අද නිසොල්මන්ව ඉන්නේ කලකින් ඔවුන්ගේ ගී ස්වරය නොඇසුණ නිසා ද? එහෙම නම් ළඟදී දිනෙක ඒ ඇසල රුකේ මල් හට ගනු නියතය. ඒ ඇගේ ස්වරය කලකට පසුව යළිත් ඇසන්නට නියමිත බැවිනි.