වර්ෂ 2016 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




හොඳම ආදර යෝජනාව I Love You

හොඳම ආදර යෝජනාව I Love You

දෙවැනි ඉනිමේ ‘දෙව්මි-නයනතරා’ එක්ක සංලාපයක්

මා ගැන මුලින්ම ලිපියක් පළවුණෙත් සරසවියේ

දෙවැනි ඉනිමේ දෙව්මිව දැන් කවුද නොදන්නේ. එතරම්ම ඈ ජනප්‍රියයි. දෙව්මිටයි අනුහස්ටයි මොකද වෙන්නේ කියලා දෙවැනි ඉනිමේ ප්‍රේක්ෂකයෝ දෑස දල්වා බලා සිටිනවා. කවුද මේ දෙව්මි. ඇයගේ සැබෑ ජීවිතයේ නම නයනතරා වික්‍රමආරච්චි. දෙව්මි නිසා ජනප්‍රිය වූ ඇයව මෙලෙස අප පුංචි කතාබහකට එකතු කර ගත්තා.

* නයනතරා, ඔබ ක්ෂේත්‍රයට ඇවිත් මේ වන විට වසර කිහිපයක් ගත වෙලා. නමුත් ඔබව ප්‍රේක්ෂකයන් වඩාත් හඳුන ගත්තේ දෙව්මි නිසා කිව්වොත් මා නිවැරැදියි?

ඔව්. මා ඉස්සර දායක වූ නිර්මාණ කිහිපයෙන් මං යම්තාක් දුරකට ජනප්‍රිය වුණා. එහෙත් ඔබ කිව්වා වගේ මං ඉහළ ජනප්‍රසාදයක් ලැබුවේ දෙව්මි නිසා. මේ වන විට මට ලැබෙන ප්‍රතිචාර විශේෂයෙන් මගට බැස්සම මිනිස්සු ඇවිත් කතාබහ කරමින් අහන දේවල් එක්ක දෙව්මිට ලැබුණ ජනප්‍රියත්වය මට කොතරම් ද කියලා හිතාගන්න බැහැ. වෙලාවකට මට පුදුමයි.

* දෙවුමිගේ අනාගතය මොන වගේ වේවිද?

හොඳ වෙයි නේද.

* මොකද කෙටි උත්තරයක් දුන්නෙ?

ඇත්තම කිව්වොත් මේ දිනවල පේ‍්‍රක්ෂකයන් මගෙන් වැඩියෙන්ම විමසන දේ ඕකමයි අයියේ. වැඩි විස්තර කිව්වොත් නාට්‍යයේ කතාවට හානි වේවි කියලයි කෙටියෙන් උත්තර දුන්නේ.

* නොසිතූ විරූ ලෙස ලැබුණු මේ ජනප්‍රියත්වය කරදරයක් නොවේද?

මං එහෙම කොහෙත්ම හිතන්නේ නැහැ. පසුගිය දිනෙක මං රූපගත කිරීමකට නුවර ගියා. එහිදී මාව දැකලා සෑහෙන පිරිසක් ආවා කතා කරන්න. අනුහස් ගැනමයි අහන්නේ. ඒ වෙලාවේ මං නිහතමානීව පිළිතුරු ලබා දුන්නා. ප්‍රේක්ෂකයින් ආදරේ නිසානේ අපිව වට කර ගන්නේ. ඔවුන් තමයි මාව මෙලෙසින් ඔසවා තැබුවේ. ඒ හින්දා මං ඔවුනට ගරු කරනවා.

* ඔබට කොහොමද දෙව්මිගේ චරිතය ලැබුණේ?

ප්‍රභාත් චතුරංග කියන මගේ සහෝදර ශිල්පියකුගේ මාර්ගයෙන් දෙරණ පිරිවර හඳුනගන්න ලැබුණා. දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ, දෙවැනි ඉනිමේ අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් වගේ අයගේ අනු දැනුමෙන් මට දෙව්මිගේ චරිතය ලැබුණා.

* එලෙස ලැබුණු චරිතය මෙතරම්ම ජනප්‍රිය වේවි කියලා එදා හිිතෙන්නේ නැතුව ඇති?

අනේ ඔව්.

* දෙව්මි සහ ඔබ අතර ඇති සමානකම් මොනවද?

දෙව්මි හරියටම මගේ වයසේ. ඒක නිසා මට ඒ චරිතය හොඳටම දැනුණා. මං වගේම දෙව්මිත් කටකාරයි. නමුත් සංවේදියි.

* නයනතරා මීට පෙර දායක වූ ටෙලි නිර්මාණ පෙළ මතක් කළොත්?

මීදුමෙන් එහා, එරන් ලන්දු, හංස පිහාටු සහ ඉදිරියේදී විකාශය වීමට නියමිත සමනලුන්ට එන්න කියන්න. මේ වෙලාවේ මතක් කළ යුතුයි. ඒ මුල් යුගයේ මගේ පළමු ලිපිය පළ වුණෙත් සරසවියේ කියන කාරණය.

* යොවුන් ජනප්‍රිය නිළියක් නිසා ඔබට ලැබෙන ආදර යෝජනාත් දැන් වැඩි ඇති?

ඒක නම් ඇත්ත. මේ වන විට පිරිමි ළමයි මූණටම මට ආදරෙයි කියන තත්ත්වයට මං පත් වෙලා. එන යෝජනා ප්‍රමාණය නම් අනන්තයි, අප්‍රමාණයි.

* එහෙම ලැබිච්ච හොඳම ආදර යෝජනාව මොකක්ද?

අයි ලව් යූ කියන එක තමයි.

* ඔබට ආදර යෝජනා කළ අය අතර නළුවොත් ඉන්නවද?

නැහැ.

* ඔබේ අනාගත බලාපොරොත්තුව මොකක්ද?

මට තියෙන එකම හීනය තමයි දක්ෂ වෘත්තීමය නිළියක් වෙන එක. ඒ ගමන අතරතුරදී හැදීරීම් එහෙමත් මා කරනවා. ආවට ගියාට නිර්මාණ බාර ගන්නෙත් නැහැ. මට ගැලපෙන සහ ගුණාත්මක අතින් ඉහළ නිර්මාණ පමණයි මා තෝරා ගන්නේ.

* ඔබව වැඩිපුරම අගයන්නේ කවුද?

වෙන කවුද ඉතින් මගේ අම්මා තමයි.

* ඔබේ ජීවිතයෙන් අයින් කරගන්න කැමැති ගති ගුණය මොකක්ද?

මං වෙලාවකට සංවේදී වැඩියි. ඒ සංවේදීකම අඩුකර ගන්න ආසයි, නමුත් බැහැ.

* මෙරට නොඉපිද ඉන්දියාවේ ඉපදුණා නම් හොඳයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

එහෙම හිතෙන්නේ නැහැ. ගොඩක් හොඳ රටක තමයි මං ඉපදිලා ඉන්නේ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. ඉන්දියාවේ හිටියා නම් ලංකාවට වැඩිය වෘත්තීය මට්ටමෙන් ඉදිරියට යන්න තිබුණා. මොකද ඔවුන්ගේ ක්ෂේත්‍රය අපට වඩා ගොඩක් ඉදිරියෙනුයි තියෙන්නේ.

* නයනතරා මේ වන විට සිනමාවටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ ගැනත් විස්තර කියමු?

මං චිත්‍රපට ත්‍රිත්වයකට සම්බන්ධ වුණා. හැබැයි තවම ඒවා තිරගත වුණේ නැහැ. 'මා' තමයි මගේ පළමු සිනමා සිතුවම. දෙවැන්න සිනෙමා. එක දවසක අපි තමයි තෙවැන්න. මා සහ එක දවසක අපි අනුරුද්ධ ජයසිංහ මහත්මයාගේ අධ්‍යක්ෂණයක්. සිනෙමා වෛද්‍ය කපිල සූරියආරච්චි මහත්මයාගේ අධ්‍යක්ෂණයක්.

* ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දෙන ගමන් මේ කතබහ අවසන් කරමු?

මං හරිම සරල සහ සංවේදී කෙනෙක්.

nayanathar wickramarachchi නමැති මුණුපොත ලිපිනයෙන් නයනතරාව ඔබට සම්බන්ධ කරගග හැකියි.