වර්ෂ 2016 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




එඩ්වඩ් ගැන දෙසුමක් ජැක්සන්ගෙන්

එඩ්වඩ් ගැන දෙසුමක් ජැක්සන්ගෙන්

'එඩ්වඩ් චන්ද්‍රසිරි කලාකරුවාණන්ගේ ලේඛන කලාව විමසුමක්' යන මැයෙන් ඔහුගේ කලා ජිවිතය විමසමින් කළ ප්‍රසිද්ධ දේශනයක් ජැක්සන් ඇන්තනි විසින් පසුගියදා කොටිකාවත්ත සණස ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය. මෙහිදී නාට්‍යකරණය සහ ලේඛන කලාව විෂයෙහි එඩ්වඩ්ගේ සේවය අගයා සණස මඟින් ප්‍රධානය කරන ලද උපහාර තිළිණයක් ජැක්සන් අතින් ඔහුට පිරිනමන ලදී.


කිතුනු පූජකතුමකුගෙන් ජාතක කතා පිළිබඳ ග්‍රන්ථයක්

මෙරට කිතුනු පූජකතුමකු විසින් ප්‍රථමවරට පන්සිය පණස් ජාතක පොත පිළිබඳව ගැඹුරු සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක් කොට රචනා කරනු ලැබූ ශාස්තී‍්‍රය ග්‍රන්ථය පසුගියදා කොළඹ 07 මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී දොරට වඩින ලදී. එම පියතුමා වනුයේ දර්ශනපති සරත් හෙට්ටිආරච්චි පියතුමාය. මෙම උළෙලෙහි මුඛ්‍ය දෙසුම පවත්වනු ලැබුවේ සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති ධුරන්දර අග්ග මහා පණ්ඩිත සාහිත්‍ය චක්‍රවර්ති මහාචාර්ය කඹුරුගමුවේ වජිර නා හිමිපාණන් සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා විසිනි. සම්භාවනීය ග්‍රන්ථ ප්‍රකාශක සිරිසුමන ගොඩගේ මහතාගේ ආරාධනයෙන් එම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ සුවිශේෂී හේතුවක් ඇතුවය. එනම් සුව කළ නොහැකි රුධිර පිළිකා තත්ත්වයෙන් පෙළෙන ග්‍රන්ථ කර්තෘ සරත් හෙට්ටිආරච්චි පියතුමාගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමේ අරමුදල රැස් කිරීම සඳහාය. 0718220910 හෝ 0710907801 අංකවලට ඇමතීමෙන් මෙම ග්‍රන්ථය ලබා ගත හැකි බව සරත් හෙට්ටිආරච්චි පියනම අරමුදලේ කැඳවුම්කරු පූජ්‍ය අලුත්ගම ඉන්ද්‍රරතන හිමි සරසවියට දන්වා සිටියේය.


සයුරු නිම්නයේ නළුවා සුදර්ශන

සුදර්ශන කුරේ රංග ශිල්පියකු මෙන්ම ගායකයකු ලෙසින් සිය ජීවිතයේ ඉදිරිය දැකීමට අපේක්ෂා කරන අයෙකි. මේ වන විට ඔහු සයුරු නිම්නයේ නමින් ගීතයක් නිර්මාණය කොට අන්තර්ජාලයට එකතු කොට තිබේ. එහි පද රචනය සුදර්ශනගෙනි. සංගීතය කුමාරසිරි පතිරණ ගෙනි. සුදර්ශන සකි නමැති ටෙලි නිර්මාණයට ද රංගනයෙන් දායක වී තිබේ. රාජගිරිය ජනාධිපති විදුහලේ ආදි ශිෂ්‍යයකු වන සුදර්ශනව 0772040642 ඔස්සේ සම්බන්ධ කරගත හැක.


ඩඩ්ලි ගෝමස්ට සාම විනිසුරු පදවියක්

සරසවිය පුවත්පතේ දිගු කාලීන පාඨකයකු වන ඩඩ්ලි ගෝමස් පසුගියදා මුළු දිවයිනටම සාම විනිසුරුවරයකු ලෙසින් දිවුරුම් ලැබුවේය. මොරටුව වේල්ස් කුමර විදුහලෙන් අධ්‍යාපනය ලබා ශ්‍රී ලංකා ගුවන්හමුදාවට බැඳී 23 වසරක සේවයෙන් පසු 1994 වසරේදී බලපංති/සැරයන්වරයකු ලෙසින් විශ්‍රාම ලද ඔහු දශක කිහිපයක් මුළුල්ලේ පුවත්පත්වලට ලිපි සපයන අතර සරසවිය සමඟින්ද අත්වැල් බැඳ ගෙන සිටින්නේය.