වර්ෂ 2016 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




‘ගිනි දඬු දුන්න’ පුරා ඇත්තේ පිරිතේ බලයයි

‘ගිනි දඬු දුන්න’ පුරා ඇත්තේ පිරිතේ බලයයි

රිහාන් රවීන්ද්‍ර

මේ නාට්‍යයේ මුලක් මැදක් අගක් තියෙනවා. ඒ හින්දා එවන් වූ කොටස් ගණනකින් නාට්‍යය ඉවර කරනවා. ඕනෑවට වැඩිය අදින්න ගියොත් ප්‍රේක්ෂකයින්ටත් එපා වෙනවානේ.

රිහාන් රවින්ද්‍ර ඔබට වඩාත් හමුවන්නේ ටෙලි නාට්‍ය පිටපත් රචකයකු හැටියට. ආදරියේ, වාසුලි කන්ද, මෝසම් සුළඟ, ඉකිබිඳින සමනලි, සඳ නුඹ නම්, වන්දනා ආදි නාට්‍ය ගණනාවක්ම ඔහුගේ අතින් රචනා වුණා. ඒ වගේ එම නිර්මාණ බොහොමයක ඔහු සහාය අධ්‍යක්ෂවරයකු ලෙසින් ද කටයුතු කළා. සුදු ගින්දර, අගසථිමාලය, හස්ථිරාජ මන්ත්‍රය, නූර්යා වැනි නිර්මාණ අධ්‍යක්ෂණය කරමින් තම නිර්මාණශීලීත්වය ප්‍රකට කළ රිහාන් අධ්‍යක්ෂණය කළ නවතම ටෙලි සිතුවම මේ දිනවල විකාශය වෙනවා. ගිනි දඬු දුන්න ලෙසට නම් කළ එය සෑම සෙනසුරාදා දිනයකම රාත්‍රී 7.30 ටයි ටී. එන්. එල්. නාලිකාව හරහා ඔබ හමුවට එන්නේ. රිහාන් සමග කළ මේ කතාබහට මූලිකත්වය වන්නේ ගිනි දඬු දුන්නයි.

රිහාන් මේ නාට්‍යය ගැන වැඩිදුරටත් කතා කළොත්?

ගිනි දඬු දුන්න රචනා කළේ මවිසින්මයි. ඒ වගේම කැමරා අධ්‍යක්ෂවරයා වන්නෙත් මම. මෙය ග්‍රාමීය පරසරයක් තුළ ගොඩ නැඟුණු කතාවක්. කුලබේදය, වශී ගුරුකම් ආදිය පාදක කොටගෙන කතාව ඉදිරියට ගලාගෙන යනවා. ඒ වගේම මම මෙමඟින් පණිවුඩයක් දෙන්න හදනවා. ඕනෑම ගැටලුවකට විසඳුම බුදු දහමේ තියෙනවා කියන කාරණය.

ඒ කියන්නේ ගිනි දඬු දුන්න බෞද්ධ තේමාවක් තුළ නිර්මාණය වූවක්?

ඔව්. බුදු දහමෙ තියෙනවා ජලනන්දන පිරිත. මේ කතාවට අනුව අවසානයේදී සියලු ගැටලු විසඳෙන්නේ ජලනන්දන පිරිතෙන්.

ඔබ දායක වී ඇති පෙර නිර්මාණ හා සසඳද්දී මෙය වෙනස්ම කතාවක් ඔස්සේ නිර්මාණය වූ නාට්‍යයක්. එහෙම නේද?

ඔබ ඇහැව්වේ මං කලින් ආදරය සම්බන්ධ කතා තේමාවල් ඔස්සේ තැනූ මෙගා නාට්‍යවලට වැඩිපුර දායක වී සිටි නිසා වෙන්න ඇති. ඒක එහෙම වුණාට ටී. එන්. එල්. එකට එවැනිම වූ නාට්‍යයක් කරන්න වුවමනා වුණේ නැහැ. ටී. එන්. එල්. අධ්‍යක්ෂ මණ්ඩලයට අවශ්‍ය වුණේ සමාජයට වැඩදායී නිර්මාණයක් විකාශය කරන්න. මමත් බෞද්ධ දර්ශනයට හුඟක් ළැදියි. ඒ හින්දම දෙවතාවක් නොසිතා මේ නිර්මාණය අධ්‍යක්ෂණය කිරීමට බාර ගත්තා.

ගිනි දඬු ගින්න නාට්‍යහි රංගනයෙන් දායක වන පිරිස ගැන මතක් කළොත්?

දිලිප් මමෝහර, පවිත්‍රා වික්‍රමසිංහ, පූර්ණ දන්දෙණිය, රොෂාන් විමලසේ්න, රවීන්ද්‍ර කෝදාගොඩ, චන්දිම කරුණාරත්න තමයි ප්‍රධාන චරිත රඟපාන්නේ.

මෙහි ශිල්පී නම් පෙළ සසඳද්දී දැනිච්ච කාරණයක් තමයි ගිනි දඬු දුන්නේ රඟපාන්නේ නිතර දකින ජනප්‍රිය නළු නිළියන් නෙවේ කියන එක?

මේක නව සංකල්පයක්. ඉතින් මට හිතුණා ඒ චරිතවලට අලුත්ම අය යොදා ගන්න. එතකොට චරිතයෙහි තීව්‍රතාවය තවත් වැඩි වෙනවා. ඒ ගැන හිතලා තමයි මං මෙයට අලුත් අයව ගත්තේ.

ගිනි දඬු දුන්න කොටස් කීයක නාට්‍යයක්ද?

කොටස් තිහයි.

මේ කාලයේ ඔවැනි කොටස් ගණනකින් යුත් නාට්‍යයක් නිර්මාණය වන්නේම නැති තරම්?

මේ නාට්‍යයේ මුලක් මැදක් අගක් තියෙනවා. ඒ හින්දා එවන් වූ කොටස් ගණනකින් නාට්‍යය ඉවර කරනවා. ඕනෑවට වැඩිය අදින්න ගියොත් ප්‍රේක්ෂකයින්ටත් එපා වෙනවානේ.

මේ වන විට කොහොමද නාට්‍යය සඳහා ලැබෙන ප්‍රතිචාර?

ඉතාමත් හොඳයි. විශේෂයෙන්ම ගම් මට්ටමේ ප්‍රේක්ෂකයින්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඇතැම් අය හිතන්නේ ටී. එන්. එල්. නාලිකාව වටා ලොකු ප්‍රේක්ෂක කණ්ඩායමක් නැහැ කියලනේ. ඒත් එය ඉඳුරාම වෙනස්. මේ වන විට සැටලයිට් ටී. වී. සිස්ටම් නිසා වැඩි දෙනකු ටී. එන්. එල්. නරඹනවා.

ඇයි ඔබ ටී. එන්. එල්. නාලිකාව සඳහා නාට්‍යයක් නිර්මාණය කරන්නේ?

ඇත්තම කිව්වොත් ටී. එන්. එල්. නාලිකාවට වානිජ අරමුණු නැහැ. ඒ වගේම වැඩ කරන්න හරිම පහසුයි. මේ තත්ත්වය මත ටී. එන්. එල්. නාලිකාව මඟින් ගෙනා යෝජනාවලට එකඟ වෙලා මා මේ නිර්මාණය කළා.

මොනවද ඔබේ ඉදිරි නිර්මාණ තියෙන්නේ?

තව නිර්මාණ කිහිපයක්ම ටී. එන්. එල්. හරහා ප්‍රේක්ෂකයන්ට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. මගේ අරමුණ ප්‍රේ්ක්ෂකයන්ට ගුණදායී නිර්මාණයක් ලබාදීලා ඔවුන්ගේ රසවින්දන මට්ටම දියුණු කරන්නයි.