වර්ෂ 2016 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




ඩිමංකගේ අලුත්ම ගීතය ‘ආදරෙයි වස්තු’

ඩිමංකගේ අලුත්ම ගීතය ‘ආදරෙයි වස්තු’

නව පරපුරේ ගායක ඩිමංක වෙල්ලාලගේ ගයන අලුත්ම ගීතයේ තතු විත්ති මෙවර මියුසික් වීඩියෝ පිටුව හරහා ඔබ වෙත ගෙන එන්නේ. එම ගීය නම් කොට ඇත්තේ ආදරෙයි වස්තු යනුවෙන්. මේ වන විට අතිශය විශාල ප්‍රේක්ෂක කණ්ඩායමක් අන්තර්ජාලය හරහා ආදරෙයි වස්තු රස විඳලා තියෙනවා. ඩිමංක මීට ප්‍රථම ගැයූ අවසාන ප්‍රේමයයි මාගේ, අවසන් පෙම මගේ, නිදුකින් ඉනු මැන වැනි ගීත මෙරට සංගීත ලොලීන් කෙටිකලක් ඇතුළත වැළඳ ගත්තා. එවැනිම ජනප්‍රසාදයක් ලබමින් ආදරෙයි වස්තු මේ වන විට ජනගත වෙලා.

ආදරෙයි වස්තු ගීතයේ පද මාලාව ලසිත ජයනෙත්ති ආරච්චිගෙන්. සංගීතය ඩිල්ෂාන් එල්. සිල්වාගෙන්. ක්ෂේත්‍රයට ආගන්තුක මේ දෙන්නා එකතු කොට ආදරෙයි වස්තු නිම කරන්නට මුල් වුණේ ගිහෙන් නිශාන්. ඔහු ගායකයකු මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කරනවා. ගිහෙන් තමයි මෙම ගීතයේ මියුසික් වීඩියෝව අධ්‍යක්ෂණය කොට තිබෙන්නේ.

යොවුන් ප්‍රේමවන්තයින් යුවළක් සිටිනවා. ඒ දෙන්නා අතරින් තරුණියට හදිසියේම විදෙස් ගතවන්නට සිදුවනවා. එහිදී ඇයට කාලයාගේ ඇවෑමෙන් තම ප්‍රේමය අමතක වෙනවා. නමුත් පෙම්වතා එහෙම නැහැ. ඔහු අචලව තම ප්‍රේමය රැකගන්නවා. පෙම්වතිය වසර ගණනාවකට පසු ලංකාවට එනවා. පෙම්වතා සිතන්නේ ඇය මේ එන්නේ තමන්ව විවාහ කරගන්නයිි කියලා. නමුත් ඔහු ඇයව දකින්නේ දරුවකු ද සමඟ. පෙම්වතිය විදේශයේදී විවාහ වෙලා. අවසානයේදී පෙම්වතා තනි වෙනවා.

මේ සරල කතා තේමාව ඔස්සේ ආදරෙයි වස්තු රූප රචනය ගලා යනවා. මීගමුව අවට එක් දිනක් පුරා රූගත කෙරූ මෙයට අවශ්‍ය දර්ශන තල කිහිපයක එදින අධ්‍යක්ෂවරයාට රූගන්වන්න බැරි වෙලා. ක්ෂණිකව පිටපත වෙනස් කරලා ඔහු වෙන වෙන දර්ශන තල කිහිපයකම යොදාගෙන එදිනම ගීතය රූගත කළාලු. අවසානයේදී හිතුවාටත් වැඩිය අලංකාරවත් වීඩියෝවක් නිම වෙලා.

ආදරෙයි වස්තු වීඩියෝව හරහා නවක රංගන ශිල්පිනියක්ව හඳුන්වා දෙනවා. ඇය චලනි රත්නායක. ගිහෙන් කළ තිර පරීක්ෂණයකින් අනතුරුවයි ඇයට මෙහි රංගන අවස්ථාව ලැබෙන්නේ. ඇය සමග නාලක දළුවත්ත මෙහි ප්‍රධාන චරිත මවනවා. ආදරෙයි වස්තු මියුසික් වීඩියෝව මියුසික් විලේජ් ආයතනයේ ඉදිරිපත් කිරීමක්.

ආදරෙයි වස්තු ගීතයේ සම්පූර්ණ පදමාලාව.

දුක දැනෙන අයුරු නොදැන වස්තු
ඔබ යන්න ගියේ පෙරදා
ආදරය මැරුණු හේතු කරුණු
පහදන්න යළි මාව අමතා
ඔබගෙ සතුටම පැතූ පෙම්වතෙකි තනි වුණු
නමුදු මියෙනා තුරු ආදරෙයි වස්තු

ආදරය සමග මම නම් නෑ සෙල්ලම් කරලා
හීනෙකින්වත් පාරලා නෑ ඔය හිත කිසිදා
සැකමුසු බැල්මෙන් රවටනා හැඟුමෙන්
නෑ මං ඔබ දෙස බලලා
පිවිතුරු සිතකින් පෙම් කළ පණ මෙන්
සත්තයි ඇස් දෙක පල්ලා
ඔබගෙ සතුටම පැතූ . . .

ආදරය ඇයි මේ තරම් දැඩි රිදවුම් දුන්නේ
කර්මය ද මේ මං රැගෙන ආ පෙර අත්භවයේ
සිහිපත් කරමින් ඔබ ගැන නිතැතින්
යහපත පතනෙමි සැමදා
සමුගමි ඔබගෙන් නොහඬනු රහසින්
යළි මාව මතක් කරලා
දුක දැනෙන අයුරු