වර්ෂ 2016 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




අභින එළිමහන් රංග පීඨය මගේ දිගුකාලීන සිහිනයක්

අභින එළිමහන් රංග පීඨය මගේ දිගුකාලීන සිහිනයක්

අනෝජා වීරසිංහ

බෙල්ලන්විල රජ මහා විහාරයට අයිති ඊට නදුරින් වූ නිස්කලංක භුමිය පුරා පැතිර පවතින්නේ නිසංසල බවක්. නිතර දෙවේලේ නුදුරු මහ පාරේ යන වාහනයක සද්දය මිසක් මිනිස් කටහඬින් මේ ප්‍රදේශයට ලොකු බාධාවක් සිදු නොවේ. පසෙකින් පිහිටි ජලාශය පිසගෙන හමා එන සුමුදු පවන් රැළි ඒ අසලම පිහිටි සුවිසල් නුග රුකේ තැවරෙන්නේ මුළු පරිසරයටම සිහින් සීතල සුළඟක් රැගෙන එමින්.

මේ පින්බර වෙසක් මාසයේ සිල් සුවඳ පැතිරුණු රජ මහා විහාර පරිශ්‍රයේ පිහිටි භූමි භාගයේ විසල් නුග සෙවණ යට ඉදිවුණු එළිමහන් රංග පීඨය දෙස බලා සිටින අපූරු ගැහැනිය දෙස මම බලා සිටියෙමි. ඇගේ සිතුවිලි වදන් කරනට මට ද ඉස්පාසුවක් නොවූයේ මේ ඉදි වී ඇති රංග පීඨය අතරින් මහා දැවැන්ත සෙවණැල්ලක් ලෙස මෙකී ගැහැනියගේ පෞරුෂය මට යළි යළිත් මතු වී පෙනෙන නිසාවෙනි.

ඈ අනෝජාය. අනෝජා වීරසිංහය. මොනරාගලින් කොළඹට පැමිණ සිනමාව අතැඹුලක් සේ දිග් විජය කළ ගැහැනියය. සිනමාවේ විවිධ ස්ත්‍රී භූමිකාවන්ට පණ දුන් ගැහැනියය. දේශීිය සිනමාව තුළ විවිධ ඇගයුම් සම්මාන ලබමින් කලාවක් සේ පමණක් නොව කර්මාන්තයක් ලෙස ද සිනමාව ඉහළ තලයකට ඔසවා තබන්නට ඈ දිරි දුන්නාය. ‘මල්දෙනියේ සිමියොන්’ චිත්‍රපටයේ රඟපාමින් 11 වැනි අන්තර් ජාතික නවදිල්ලි සිනමා උලෙළේදී හොඳම නිළියට හිමි රජත මයුර සම්මානය (ඉඪතමඥප ර්‍ථඥධජධචඬ) දිනා ගනිමින් ශ්‍රී ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයට ඔසවා තැබූ රංගධාරිණිය ඇයයි. එකී විශිෂ්්ටත්වය වෙනුවෙන් ලද රංගනය පිළිබඳ අධ්‍යයනයක නිරතවන්නට එංගලන්තයේ ‘ලම්ඩා’ ආයතනයේ පුහුණුවෙන් පසු තමන් ලද දැනුම, අත්දැකීම, පුහුණුව මෙරට ශිල්පීන්ට ද ලබා දෙන්නට ඈ කැප වූවා සේම නොමසුරු ද වූවාය.

රංගනය වෙනුවෙන් ලද විදේශීය පුහුණුවෙන් පසු අනෝජා දුටු එකම සිහිනය වූයේ මෙරට ඉදිවන රංගන පාසලය. දශක කිහිපයක ඇවෑමෙන් ඒ සිහිනය මල්ඵල ගැන්වෙන මොහොතකට ඈ දැන් එළඹ සිටින්නීය. එළඹෙන 21 වැනිදා සවස 7.00 ට බෙල්ලන්විල රජ මහා විහාර භූමියේ ඉදිවුණු ‘අභින’ එළිමහන් රංග පීඨය විවෘත වන සුබ පණිවිඩය මේ මොහොතේ සටහන් කරන්නේ ඒ වෙනුවෙනි. ‘අභින’ එළිමහන් රංග පීඨය අනෝජාගේ දිවි ගමන් මාවතේ එක්තරා අන්දමක මං සලකුණකි. දීර්ඝ කාලයක් පුරා ගත් උත්සාහයක ඵලයක් ලෙසින් මෙරට අනාගත පුරවැසියන් වෙත දායාද වන මේ මත ඇත්තේ උත්සාහය, ධෛර්යය, ශක්තිය, දුක් කඳුළු, සතුටු සිනා, එකමුතුකම, යාළු මිතුරුකම් ආදී මෙකී නොකී මානුෂීය සබඳතා යැයි විටෙක සිතේ. මේ සියල්ල පිළිබඳ හොඳින්ම දන්නී ඇයයි. අඳුරට ශාප නොකරමින් එක් පහණක් හෝ දල්වන්නට උත්සාහ කරන්නී ඇයයි.

මම 1989 දී ‘ලම්ඩා’ ආයතනයට ගිහින් රංග පුහුණුව, කටහඬ පුහුණුව ලබලා ආව දවසේ ඉඳන්ම මගේ එකම සිහිනය වුණේ රංගන පාසලක් (ඒජබඪදඨ ඉජඩධධත) පිහිටුවීමේ අභිප්‍රායයි. ඒ සඳහා පැවති සියළුම රජයන්ගෙන් මම ඉල්ලා හිටියා මට මේ වෙනුවෙන් තැනක් ලබා දෙන්න කියලා. නමුත් ඒ කිසිම රජයක් මට කන් දුන්නේ නෑ. ඔය කාලේ, ඒ කියන්නේ 1992 දි මට පංති පවත්වන්න තැනක් නැතුව ඉන්න කොට බෙල්ලන්විල රජ මහා විහාරයේ නායක හාමුදුරුවෝ, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ පන්සලට අනුබද්ධ අසල ඉඩමක පිහිටි ශාලාවක් ලබා දුන්නා පංති පවත්වා ගන්න. එදා ඉඳලා මේ වෙනතුරු පංති පවත්වාගෙන ආවේ ඒ ගොඩනැඟිල්ලේ. ඔය අතරතුරදි ගොඩනැඟිල්ලේ අළුත්වැඩියා කටයුතු ආදියත් ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය, අනුදැනුම ඇතිව සිදු කළා.

පසුගිය කාලය පුරාම මම ලංකාවේ විව්ධ පළාත්වල විවිධ වැඩමුළු පැවැත්වූවා. යුද්ධයෙන් පස්සේ එල්. ටී. ටී. ඊ. සාමාජිකයින් පුනරුත්ථාපනය කළා. ආබාධිත සෙබළුන්ට වැඩමුළු පැවැත්වූවා. යුද්ධය නිසා පීඩනයට පත් වූ කාන්තාවන්ට, දරුවන්ට වැඩමුළු කළා. ගුරුවරු පුහුණු කළා. මේ ආකාරයට වැඩමුළු ලංකාව වටේම තැනින් තැන පවත්වාගෙන යනකොට හැමෝම මගෙන් අහන්න ගත්තා වැඩිදුර ඉගෙන ගන්න තැනක් නැත්ද කියලා. මේ වෙලාවෙ මට මතකයට ආවේ බෙල්ලන්විල රජ මහා විහාර පරිශ්‍රයේ කරගෙන යන වැඩ සටහන. මට හිතුණා මෙතැන ස්ථිරව රංගන පාසලක් බවට පත් කළොත් මම නැති දවසක වුණත් රජ මහා විහාරයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාත්, දායක සභාවත්, ප්‍රජා සංවර්ධන පදනමත් මේක ඉදිරියට පවත්වාගෙන යාවි කියලා. මගෙන් ඉගෙන ගත්තු ගෝලයෝ මෙතැන ඉන්නවා ගුරුවරු විදියට කටයුතු කරන්න. පොදු ස්ථානයක් නිසා මේක නතර නොවී පවත්වාගෙන යාවි කියන හැඟීම මට ආවා. ඒ අනුව තමයි එළිමහන් රංග පීඨය ගොඩ නඟන්න පෙළඹෙන්නේ.’

අමෝජා තම අභින පාසල වෙනුවෙන් ඉදිවන මෙම ගොඩනැඟිලි ඉදි කරනුයේ තමන්ට අහිමි පොදු භූමියකය. එහෙත් එහි සුවිශේෂිත්වය වන්නේ මේ සඳහා ඇය වියදම් කරනුයේ තමන් විසින් දුක් මහන්සියෙන් හරිහම්බ කරනු ලබන ධනයයි. ‘අභින’ කණ්ඩායම විසින් පොදුවේ එක් රැස් කරගනු ලබන ධනයයි. තමන්ගේ යැයි කියන තම ගොඩ වඩවා ගන්නට තමන්ට එක් රැස් කරගන්නට වෙහෙස දරනා වත්මන් සමාජය තුළ ඈ වැන්නන් මෙතරම් පරාර්ථකාමී වන්නේ කෙලෙසකද? සමහරුන්ට එය ද ප්‍රශ්නාර්ථයක් විය හැකිය. එහෙත් ජීවන මඟේ හතරෙන් තුනකටත් වඩා ගෙවා දමමින් ජීවිතේ සිවුවැනි යාමය ගෙවන අනෝජා අත්හැරීම ප්‍රගුණ කරමින් සිටී. ඇයට අවශ්‍ය වනුයේ මම, මගේ යැයි කියන බදා ගැනීමට නොව බෙදා ගැනීමටය. බෙදා ගැනීම සඳහා වන හොඳම මාර්ගය බුදු දහම ඇසුරින් ජීවිතය සකසා ගැනීමය.

‘මේ භූමියේ මේ ගොඩනැඟිලි ඉදි කරන්නේ නායක හාමුදුරුවන්ගේ අවසරය, අනුදැනුම, අවවාද අනුශාසනාවලට අනුව පුණ්‍ය භූමියකට ගැළපෙන අයුරකින්. ශුද්ධ භූමියේ ගෞරවය ආරක්ෂා වන පරිදි. රංග පීඨයේ ආරම්භක අවස්ථාව සනිටුහන් කිරීමට මම තෝරා ගත්තේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ‘පිරිනිවන් මංගල්‍යය’ කැන්ටාටාව. ඉදිරියේදී මෙහි වේදිකා ගත වන සියළුම දේ සඳහා අපි අවසරය ලබා දෙන්නේ එහි අන්තර්ගතය පිළිබඳ සොයා බලා හොඳ නිර්මාණවලටයි. විශේෂයෙන්ම ආරම්භක අවස්ථාව සඳහා ‘පිරිනිවන් මංගල්‍යය’ තෝරා ගැනීමට හේතු වුණේ පිරිනිවන් මංගල්‍යය කියන්නේ බුද්ධ පරිනිර්වාණය පිළිබඳ නිර්මාණය වූ ලෝකයේ එකම කැන්ටාටාව එයයි.

එක පැත්තකින් ඒක බුදුරජාණන් වහන්සේ පිදීමක්. අනිත් පැත්තෙන් එහි නිර්මාතෘ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් මගේ ගුරුතන්හිලා සලකන පුද්ගලයෙක්. එතුමන් ජීවත්ව සිටියදී නොයෙක් වර ඔහු ළඟ පුහුණු වෙන්නට මම ආවා ගියා. සංගීතය විතරක් නෙවෙයි ඔහුගෙන් බොහෝ දේවල් මම ඉගෙන ගත්තා. පිරිනිවන් මංගල්‍යය එතුමන් පුහුණු කරන කාලෙත් එතුමන් ළඟට මම ආවා ගියා. නමුත් මගේ කාර්ය බහුලත්වයත් එක්ක ඒකට මට සම්බන්ධ වෙන්න අවස්ථාව නොමැති වුණා. නමුත් 1991 දී හෝ 92 දී මගේ ජීවිතේ මට ලබන්න හැකි පුදුමාකාර සතුටක් ලැබුවා. ඒ බුද්ධගයාවේ පිහිටි ජය ශ්‍රි මහා බෝධිය ළඟ පිරිනිවන් මංගල්‍යය ගායනා කිරීම. ඒකට මටත් ගායනා කරන්න අවස්ථාව සැලසුණා. ඒ නිසා තව අතකට මෙය කේමදාසයන් වෙනුවෙන් කෙරෙන ගුරු පූජාවකුත් වෙනවා.

වර්තමානය වන විට මෙරට රංග ශාලා කොතෙක් තිබුණ ද සහනදායි මිලකට නාට්‍ය පුහුණුවක් සඳහා ලබා ගත හැකි රංග ශාලා ඉතාමත්ම සීමිතයි. ඉතාමත්ම අඩු මුදලකට තමන්ගේ නිර්මාණය පෙන්වා ගැනීමට හැකි තැනක් රංගන පාසල හා අනුබද්ධව ගොඩ නඟා ගැනීමද මෙහි එක් අභිප්‍රායක්.

ඇත්තටම මේ වගේ දෙයක් පොදු ස්ථානයක ගොඩ නැඟෙන එක ගැන මම කාලයක් තිස්සේ කල්පනා කළා. මට ඉන්නේ එක දුවයි. දිල්කි විවාහ වෙලා යහපත් විවාහ ජීවිතයක් ගෙවනවා. එයාගේ ලෝකේ වෙන්නේ ‘පවුල’. එයාට කලාව පිළිබඳවත්, රංගන පාසල් පිළිබඳවත් හැඟීමක් නෑ. දැනටත් එයා දරුවන්ට උගන්වන්න, මහත්තයාගේ රැකියාව නිසා විදේශ ගත වෙලා ඉන්නේ. ඒ දරුවෝ පිටරට ඉගෙන ගෙන එහෙම පදිංචි වෙයි ද මං දන්නේ නෑ. මම මගේ කියන තැනක මේ දේවල් ඉදි කළොත්, දරුවන්ට වැඩක් නැති වෙන කොට ඔවුන් ඒවා විකුණලා දමාවි. දිල්කි කිසිම දේකට ආසාවක් ඇති කෙනෙක් නොවේ. හැම වෙලේම කියන්නේ අනේ අම්මි මට නම් ඕවා බලන්න බෑ කියලයි. ඒ නිසා මට හිතුණා හොඳම දේ තමයි මුල සිටම අපට අවවාද අනුශාසනා ලබා දුන් බෙල්ලන්විල විහාරයේ නායක ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ඇතුව ඒ භූමියේ මේක ඉදිකිරීම කියලා.

මේක ඉදි කරන්න ලොකු මුදලක් යට කරන්න වුණා. මම 1983 ඉස්සරලම ජපානයට ගියාම එහි ඉතාම ජනප්‍රිය ඩබින් ආටිස්ට් කෙනෙක් වුණු මිචිකෝ නෝමුරා මුණ ගැහුණා. එදා ඒ හමුවීමෙන් පස්සේ අද වනතරුම අපි දෙදෙනා හොඳම මිතුරියන් වුණා. මිචිකෝ විවාහ වෙලා සිටියෙත් ජනප්‍රිය හඬ කැවීම් ශිල්පියකු වූ කෙන්ජි උත්සුමී සමඟයි. මිචිකෝ සන්ගේ සැමියා 2013 දී නැති වුණා. එයා දැනට අවුරුදු දෙකකට විතර ඉස්සර ලංකාවට ආවා. මගේ විස්තර අහලා එයා කිව්වා දැන් ඔයා වයසයි.

ඔයා දැන් වොලන්ටියර් සර්විසස් කර කර ඉඳලා හරි යන්නේ නැහැ. ඔයාට කියලා ආදායමක් එන දෙයක් කරගන්න ඕනෑ කියලා. එතකොට මම කිව්වා මගේ රංගන පාසල පිළිබඳවත්. එයා උදව් කරන්නම් කියලා මට ලක්ෂ 25 ක මුදලක් දුන්නා. ඒ දුන්නේ පෞද්ගලිකව මට කිසියම් ආදායමක් එන දේකට යොදවන්න කියලා. නමුත් මම මිචිකෝ සන්ට මගේ රංගන පාසැල ගැන කීවාම මම ඔයාටයි ඒ සල්ලි දුන්නේ. ඒ නිසා ඔයාට කැමති දේකට යොදවගන්න කිව්වා. ඒ අනුව ඈ දුන්න සල්ලියි, මගේ වෙනත් මුදලුයි, අපි අභින කණ්ඩායම එකතු කරගත් මුදලුයි යොදවලා තමයි එළිමහන් රංග පිඨය නිම කළේ. මේ විවෘත කිරීමට ‘මිචිකෝ සන්’ ලංකාවට එනවා. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ ප්‍රධාන කොටගත් ආරාධිත පිරිසක් මේ අවස්්ථාවට සහභාගි වෙනවා.

කිසිදු දේශපාලනඥයෙකුට මේ සඳහා ඇරියුමක් නෑ. එදිනම රංග ගතවෙන ‘පිරිනිවන් මංගල්‍යය’ ගයාත්‍රි කේමදාසගේ අධීක්ෂණයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා වාදන වෘන්දයත් ගායක කණ්ඩායමත් අතින් තමයි ඉදිරිපත් කෙරෙන්නේ. මේ කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාපතිතුමා ඇතුළු නාවික හමුදා නිලධාරින්ගෙන් ඉතාමත් විශාල සහයෝගයක් ලැබෙනවා. මගේ ජීවිතේ හුඟ කාලයක් තිස්සේ දැකපු හීනයක් සැබෑ වෙනවා. මට සතුටක් තියෙනවා. නමුත් ඒක ඉස්සර මම වින්ද මහා ප්‍රහර්ෂයත්, උද්දාමයත් නොවෙයි. මම යමක් කලා කියන සියුම් සතුටක් තියෙනවා. ජීවිතේ දිහා බලන කොට බුදු දහමට අනුව ජීවිතය හැඩ ගස්සා ගන්න උත්සාහ දරන මට හිතෙනවා දැනටමත් මම ප්‍රමාද වැඩියි කියලා.

බුදුහාමුදුරුවෝ කිව්වේ අප්‍රමාදව කටයුතු කරන්න කියලා. නමුත් තවමත් මගේ හිත කියනවා මගේ ඇලීම් තියෙනවා කියලා. මගේ අතින් අත හැරිලා නැති දේ තියෙනවා. තවමත් දරුවට, මුණබුරන්ට ඇලිලා. ඒ වගේ මම තවමත් මේ රටට, රටේ ජනතාවට ඇලිලා ඉන්නවා. මට මේ හැමදේම ලැබුණේ මේ රටෙන්. මේ රටේ මිනිස්සු අපේ චිත්‍රපට බලපු නිසාවෙන්. ඒ නිසා මට හිතෙනවා තවමත් මම මේ රටට ණයයි කියලා. රටේ මිනිස්සුන්ට තවමත් මට යමක් කළ හැකියි කියන තැන ඉන්නවා. ඒ වෙනුවෙන් පුළුවන් හැමදේම කරනවා. ජීවිතේ විසි කරලා දාලා මට යන්න බෑ. එහෙම වුණොත් විසි කරපු දේට ආයෙත් ඇලීමක් ඇති වෙයි. අතහැරිලා යනකම් පෙරුම් පුරමින් සසර ගමන් කරනවා.

e-mail-abina@sltnet.lk