වර්ෂ 2016 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




මේ කේෂ්ත්‍රයේ ඔය වගේ කතා යනවා

මේ කේෂ්ත්‍රයේ ඔය වගේ කතා යනවා

හිමාලි සිරිවර්ධන

මේ දිනවල තිරගත වන ‘නිලංජනා’ චිත්‍රපටයේ කතා නායිකාව වන්නේ ඇයයි. නර්තන ශිල්පිනියක ලෙස සිය කලා ගමන අරඹන ඈ රංගනයට පිවිසෙන්නේ පුංචි තිරයෙනි. ඒ ඔස්සේ ලබන ජනප්‍රියත්වය නිසා ම දිගින් දිගට ම රංගන ශිල්පිනියක ලෙස නරඹන්නන් අතරට පැමිණෙන ඕ රිදී තිරය ද අමතක නොකරයි. ඈ හිමාලි සිරිවර්ධන ය. හිමාලි රඟපෑ ‘රන්සයුර’ චිත්‍රපටය තිරගත වී වැඩි දිනක් නොගොස් ම ‘නිලංජනා’ චිත්‍රපටය ද තිරගත කිරීම අරඹා ඇත. මේ ‘නිලංජනා’ පිළිබඳ හිමාලි සිරිවර්ධන සමඟ කළ සාකච්ඡාවකි.

‘නිලංජනා’ ට සිනමා ප්‍රේක්ෂකයන් ආදරය කරන්නට පටන් ගෙන ද?

‘නිලංජනා’ චිත්‍රපටය ආරම්භ කළ දවසේ මගේ රඟපෑම ගැන පැමිණි සිටි අයගෙන් මට බොහොම ප්‍රශංසා ලැබුණා. මේ වනවිටත් සමහර සිනමා ප්‍රේක්ෂකයන් ‘නිලංජනා’ නරඹලා තිබෙන බව පෙනෙනවා.

‘නිලංජනා’ තිරරචනය කියවලා ද ඔබ එහි රඟපාන්නට කැමැත්තක් දක්වන්නේ?

ඇත්තට ම ඔව්. ආදර කතාවක් වුණත් දැනට තිබෙන ආදර කතාවලින් එහාට ගිය වෙනස් ම කතන්දරයක්. ඒ නිසාමයි මා මෙහි රඟපෑම භාර ගන්නේ. ඒත් පසුව පළමු තිරරචනය වෙනස් වෙනවා.

මෙහි තිරරචනය වෙනස් වන්නේ දෙවැනි වර රූගත කිරීමේදී ද?

එහි දෙවැනි කොටස රූ ගත කිරීම සිදු වන්නේ වසර කිහිපයකට පස්සේ. එතැනදියි චිත්‍රපටයේ තිරරචනය වෙනස් වීමට ලක්වන්නේ. ඒ හරහා පොඩි පොඩි අඩුපාඩු ටිකක් චිත්‍රපටයේ තිබෙනවා. ඒවා සිනමා ප්‍රේක්ෂකයන්ට නොදැනුණත් අපට දැනෙනවා.

‘නිලංජනා’ චිත්‍රපටයේ තිබෙන මේ පොඩි පොඩි අඩුපාඩු මොනවා ද?

තිරරචනය වෙනස් කිරීමේදී අප මේ චිත්‍රපටය කලින් රූ ගත කිරීම් කරලා තිබුණ නිසා සමහර තැන්වලට ඒවා ගලපා ගැනීමට තරමක් ඇතිවුණේ අපහසුවක්. ඒක සිනමා ප්‍රේක්ෂකයාට පෙනෙන්නේ නැහැ. අප දන්නා නිසයි එය අපට දැනෙන්නේ. කලින් කළ කතාව ම චිත්‍රපටයට නැඟුවා නම් වඩාත් හොඳයි. ඒත් මේ කතාවත් නරක ම නැහැ.

පළමු වර රූගත කිරීම් අතර චිත්‍රපටය අතරමග නතර වුණේ ඇයි?

අධ්‍යක්ෂවරයා හා නිෂ්පාදකවරයා අතර ඇතිවුණු ගැටලුවකුයි ඒ සඳහා බලපෑවේ.

පසුව ‘නිලංජනා’ චිත්‍රපටය වෙනස් වූයේ කුමන අයුරින් ද?

‘නිලංජනා’ චිත්‍රපටය පළමුව තිබුණු ආකාරයට නම් චිත්‍රපටය ආරම්භ වන්නේ නිලංජනා මිය ගිහින් ඇගේ පෙම්වතා මිනීමැරුමකට අත්අඩංගුවට ගැනීමෙන්. පසුව මිනීමරුවා කවුද යන්න හෙළි වෙනවා. එහෙත් පසුව අධ්‍යක්ෂවරයාට වුවමනා වුණේ ප්‍රධාන චරිතය වන නිලංජනාගේ චරිතය නොමරා සිටීමටයි. ඒ අනුව පසුව ඊට උචිත විදියට සමහර තැන් ගලපා ගැනීම අධ්‍යක්ෂවරයා සිදු කළා.

‘නිලංජනා’ තිරරචනය ලියැවෙන්නේ සත්‍ය කතාවක් ඇසුරින් කියන්නේ ඇත්තක් ද?

තිරරචනය ලියන්නේ නාලක විතානගේ. ඔහු පවසන්නේ මේ තිරරචනය ලියන්නේ සත්‍ය කතාවක් ඇසුරින් බවයි. අපේ ක්ෂේත්‍රයේ කලින් සිටි අයකු සම්බන්ධ කර ගනිමිනුයි මේ කතාව ගොඩනැඟෙන්නේ. ඒ බව තවදුරටත් දන්නේ අධ්‍යක්ෂවරයායි.

ඔබව පෙම්වතියගේ චරිත රංගනයට තෝරා ගත්තත් ‘නිලංජනා’ චිත්‍රපටයේ සිටින්නේ වෙනස් ම පෙම්වතියක් ද?

‘නිලංජනා’ කියන්නේ මා බොහොම ආසාවෙන් රඟපෑ චිත්‍රපටයක්. තිරරචනය ගත්තත් පුදුම විදියේ වෙනස් තිරරචනයක් විදියටයි මා එය දැක්කේ. ආදර කතාවක් වුණත් ඉන් එහාට ගිය වෙනස් කතාවකුයි ‘නිලංජනා’ කියන්නේ.

නිලංජනාව ඔබ දකින්නේ කුමන විදියට ද?

විශේෂයෙන් ම මෙහිදි මවගේ චරිතය බෙහෙවින් ඉස්මතු වනවා. ගොඩක් දුප්පත් පවුල් පරිසරයක් වටා ගොඩනැඟෙන කතාවේ එන මේ මවට සිය දියණියව පොහොසත් පුද්ගලයකුට විකිණීමට සිදු වෙනවා. මේ හරහායි දුවගේ ජීවිතය විනාශ වන්නේ. ඉන්පසුව ඈ පෙම් සබඳතාවක් ඇති කර ගන්නවා. ඒ විදියටයි කතාව ගොඩනැඟෙන්නේ. බොහොම ලස්සනට කතාව ලියැවිලා තිබුණා.

ඔබව වඩාත් රසිකයන් දන්නේ ටෙලි නාට්‍ය නිළියක් විදියටයි?

මට බොහෝ චරිත රඟපෑමට ලැබී ඇත්තේ ටෙලි නාට්‍යවලයි. යමක් කළ හැකි චරිත ලැබී තිබෙන්නේත් ඒ නිර්මාණවලයි. චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව ලැබුණත් යමක් කළ හැකි චරිතයක් ලැබුණේ බොහොම අඩුවෙන්. ඒත් යමක් කළ හැකි චරිතයකුයි නිලංජනා කියන්නේ. අවසානයේ නිලංජනා ක්ලබ් යන, මත්පැන් පානය කරන, සිගැරැට් බොන එවැනි චරිතයක් බවට පත්වෙනවා. මෙතෙක් එවැනි චරිතයක් මට රඟපෑමට ලැබී නැහැ.

අවසානයේ ඔබට චරිතය රඟපෑමේදී දුම්වැටියකුත් පානය කිරීමට සිදු වෙනවා. ඒ හරහා ලැබුණු අත්දැකීම කොහොම ද?

ඇත්තම කිව්වොත් මා දුම්පානය කරන කෙනෙකු අසලවත් ඉන්න කෙනෙකු නොවෙයි. දුම්වැටිවල දුමත් මට බොහොම අපහසුවකුයි ඇති කරන්නේ. එහෙම වුණත් චිත්‍රපටයට දුම්වැටි පානය කිරීමට සිදුවුණා. දර්ශන තලයේදී ඒ අවශ්‍ය වෙලාවට වෙනත් කෙනෙකු ළඟ දුම්වැටිය තියාගෙන අවශ්‍ය වෙලාවට මට දුම්වැටිය දුන්නා. එය පානය කර ඉක්මනින් ම ඉවත් කිරීමයි මා සිදු කළේ.

නාගරික ඉහළ පන්තියේ ගැහැනියකගේ චරිතය රඟපෑමට ඔබ නිලංජනාට ඈදා ගත්තේ මොනවා ද?

මාව සිනමා ප්‍රේක්ෂකයන් මුලින් ම දකින්නේ නාගරික ඉහළ පන්තියේ ජීවත් වන සල්ලිකාර කාන්තාවක විදියටයි. පසුවයි ඇගේ ජීවිතයේ වෙනස සිනමා ප්‍රේක්ෂකයන් හඳුනා ගන්නේ. මුල ඉඳලා ම මා බාහිර ස්වරූපයෙනුයි ඒ තත්ත්වය සිනමා ප්‍රේක්ෂකයන්ට වටහා දුන්නේ. අනෙක් කාරණය නම් මා හැසිරෙන විදිය, කතා කරන විදිය, මොකක් හෝ ලබා ගැනීමට වුවමනා නම් මා කොහොම හෝ ඒ දේ ලබා ගැනීම කියන කාරණා ඒ චරිතය ඇතුළේ ම තිබුණා. ඒ දේවල් චරිත නිරූපණයේදී නිර්මාණය කර ගත්තාට පස්සේ මා ඇතුළේ ඉන්නේ වෙන ම කෙනෙකු බව ප්‍රේක්ෂකයන්ට වැටහෙන්න ගන්නවා. දුප්පත්ව ඉපිද සල්ලිකාරයකුට විකිණීමත් සමඟ අහිමි වුණු ආදරයයි නිලංජනා සොයාගෙන යන්නේ.

මව පමණක් නොවෙයි සැමියා විසිනුත් ඈව විකුණනවා?

සැමියා තමන්ට අවශ්‍ය ව්‍යාපාර ආදී දේ දේශපාලනඥයන්ට කියා ඉටු කරගෙන, ඈව ඔවුන්ට විකිණිමයි සිදු කරන්නේ. එවැනි තත්ත්වයකට මුහුණ දීලා සිටින කාන්තාවකගේ චරිතයයි මට රඟපෑමට සිදුවුණේ. මේ සියලු දේ නිසා ඇතිවන වේදනාව මකා ගන්නයි ඈ ක්ලබ් එකට යන්නේ. මත්පැන් බොන්නේ. එහෙත් ඇයටත් යහපත් පවුල් දිවියක් ගත කිරීමේ ආසාව සිතේ තිබෙනවා. ඒ නිසයි ඈ පෙම් සබඳතාවක් ඇති කර ගන්නේ. අවසානයේ සැමියා හා පෙම්වතා අතර ගැටලුවක් මතු වීමට ඒ කාරණය හේතුවක් වෙනවා. මේ චරිතයට යම් සාධාරණයක් ඉටුකළ බවයි මා නම් සිතන්නේ.

ඔබ සමඟ ප්‍රධාන චරිතය රඟපෑ නවක නළුවා ගැන ඔබට කියන්න තියෙන්නේ මොකක් ද?

ඔහු ප්‍රධාන චරිතය කළ පළමු චිත්‍රපටය වන්නේ ‘නිලංජනා’යි. ඊට පෙර චිත්‍රපට දෙකක පමණ රඟපාලා තිබුණා. ඒ නිසා රගපෑම සම්බන්ධයෙන් බොහෝ අත්දැකීම් ඔහුට ඇත්තේ නැහැ. මුල් කාලයේදී නම් මාත් සමඟ ගනුදෙනු කිරීමට ඔහු භයේ සිටියා. ඒ ඔහුට අත්දැකීම් නැති නිසා. ටික කාලයකට පස්සේ අප හොඳ යහළුවන් බවට පත්වුණා. ඒකත් සමඟ ඔහුත් සමඟ වැඩ කිරීමට මට පහසු වුණා.

එහෙම නම් ඔහුත්, ඔබත් සම්බන්ධ කරමින් ක්ෂේත්‍රයේ ගිය කට කතාව ඇත්තක් ද?

මේ ක්ෂේත්‍රයේ කාවහරි යහළුවකු විදියට ඇසුරු කරන විට ඔය වගේ කතා ඇති වෙනවා. පසුගිය කාලයෙත් ඔය වගේ කටකතාවක් ඇති වුණා. එහෙම දකින දකින කෙනාත් සමඟ සම්බන්ධකම් ඇති කර ගත්තොත් අපට වෙන වැඩක් කර ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඇත්තට ම එහෙම කතාවක් යනවා ද කියලා නම් මමත් දන්නේ නැහැ. එහෙම කටකතාවක් යනවා නම් ඒක බොරුවක්.

ඔබ රංගන ශිල්පිනියක් වගේ ම නර්තන ශිල්පිනියක්. ඔබගේ නර්තන දක්ෂතාව හිරු මෙගා ස්ටාර් හරහා අපේ රටේ සියල්ලන් ම දුටුවා?

හිරු මෙගා ස්ටාර් කියන්නේ ශිල්පීන් තිස්පස් දෙනෙකුගේ එකමුතුවක්. කණ්ඩායමකට හත්දෙනෙකු තරඟ කළා. මේ මගේ පළමු රියැලිටි අත්දැකීමයි. ඒ නිසා මට නර්තනයෙන් විශේෂ වෙනසක් කිරීමට ලැබුණු අවස්ථාවක්. නර්තන නිර්මාණය කළ ශෂික ප්‍රභාත්ගේ නිර්මාණ ශක්තියෙනුයි අපට අවසන් මහා තරගය දක්වා පැමිණීමට ලැබුණේ. කණ්ඩායමක් විදියට ජයග්‍රහණය කිරීමට නොලැබුණත් නර්තන ශිල්පයෙන් එහාට ගිහින් මගේ හැකියාව පෙන්වන්න අවස්ථාවක් මට ලැබුණා. ඒ නිසයි මට තරගාවලියේ වීරයා කියන සම්මානයත් ලැබුණේ. මට ලැබුණු තෑග්ග මෝටර් රථයක්. මෙලෙස දක්ෂතා දැක්වීමට පාලමක් නිර්මාණය කළ හිරු රූපවාහිනියට මගේ ස්තුතිය පිරිනැමිය යුතුයි. ශෂික ප්‍රභාත් ඇතුළු අපේ කණ්ඩායමේ සියල්ලන්ටමත් ස්තුති කිරීමට මේ අවස්ථාවක් කර ගන්නවා.