වර්ෂ 2016 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




11-20 අතරේ චිත්‍රපට හැදූ අධ්‍යක්ෂවරු

11-20 අතරේ චිත්‍රපට හැදූ අධ්‍යක්ෂවරු

දේශීය සිනමාව වෙනුවෙන් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ දායකත්වය විමසා බැලීමේදි වැඩිම චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරුන් කවුරුන්ද යන්න පසුගිය සතියකදී අපි කතා කළා. ඒ අනුව සුනිල් සෝම පීරිස් චිත්‍රපට 42ක් අධ්‍යක්ෂණය කරමින් එහි අංක එකට පත් වුණා. හේමසිරි සෙල්ලප්පෙරුම, රෝයි ද සිල්වා, කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා, ලුවී වැන්ඩස්ට්‍රාටන් සහ යසපාලිත නානායක්කාර දක්වා එයට හය දෙනෙක් ඇතුළත් වුණා. යසපාලිත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සංඛ්‍යාව විසි පහක්. අද අපි එතැන් සිට චිත්‍රපට දහයට වඩා වැඩි ගණනක් අධ්‍යක්ෂණය කළ අය ගැන කතා කරනවා.

ධර්ම ශ්‍රී කල්දේරා සිංහල සිනමාව වෙනුවෙන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සංඛ්‍යාව එකොළහක්. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසින් පමණක් නොව ගුවන් විදුලි ශිල්පියෙකු, නළුවකු, වේදිකා නාට්‍ය ශිල්පියෙකු, තිරකතා හා දෙබස් රචකයකු, ගීත රචකයකු, චිත්‍ර කතා රචකයකු සේම පුවත්පත් කලාවේදියකු වශයෙන් ද විශාල සේවයක් ඉටු කළ අයෙකි. සීතල වතුර, රෑන ගිරව්, රන් ඔන්චිල්ලා, මීමැස්සෝ, දීපාංජලී, රත්තරන් අම්මා, කල්‍යාණි ගංගා, රෝස මල් තුනක්, මුවන් පැලැස්ස, මුතු මැණිකේ, ගිම්හානේ ගී නාදේ ධර්ම ශ්‍රී කල්දේරා විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයි.

සිංහල සිනමාවේ අධ්‍යක්ෂණයට පිවිසි පිය - පුතුන් ගැන කතාකරන විටදී හමු වූ ඩබ්ලිව්. එම්. එස්. තම්පොගේ පුත් රොබින් තම්පෝ ගෙන් ද චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් මෙන්ම නිෂ්පාදනයෙන්ද සිංහල සිනමාවට දායකත්වයක් ලැබිණි. ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ගණන දොළහකි. සිරිමලී, සුවිනීත ලාලනී, සුහද දිවි පිදුම, සුදු සඳේ කළු වළා, සුලලිත සෝබනී, සුදෝ සුදු, සැඟවෙන සෙවනැල්ල, මහදැනමුත්තා, සැනසිලි සුවය, දෙහදක දුක, පික් පොකට්, සුරේඛා තම්පෝ විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට වේ.

සරුබිම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් සිනමාවට එක් වූ මිල්ටන් ජයවර්ධන ද පසුව අධ්‍යක්ෂණයට පිවිසි අතර ඔහු විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ගණන චිත්‍රපට දොළහක්. සදහටම ඔබ මගේ, මධුවන්ති, නුවන් රේණු, සමාවෙන්න, ආයාචනා, සඳමාලි, නැවත අපි එක් වෙමු (අනුර ද සිල්වා සමඟ සම අධ්‍යක්ෂණය) , සුවදෙන සුවඳක්, බිතු සිතුවම්, සුදු අක්කා, නුඹ නාඩන් අපට පිස්සු සහ තාරකා මල් එම චිත්‍රපටයන්ය.

සිනමා සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් සේම, නළුවෙක්, ගීත රචකයෙක් වන සිරි කුලරත්නත් සිංහල සිනමාව වෙනුවෙන් චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ අයෙක්. කලක් සරසවිය පුත්පතේ ලේඛකයකු ලෙසත් කටයුතු කළ ඔහු වස්තුව, සිකුරු දසාව, සඳ වට රන් තරු, බඹර පහස, රිදී තැල්ල, පෙති ගෝමර, අනුරාධා, නිළියකට පෙම් කළෙමි, සුබෝධා, පොඩි රාළහාමි, වීදියේ වීරයා සහ රාස්ස කැළේ චිත්‍රපට අධ්‍යක්ෂණය කළා. සඳ වට රන් තරු චිත්‍රපටයට ආනන්ද හේවගේ සම අධ්‍යක්ෂණයෙන් දායක වුණා.

සිංහල සිනමාවේ සිටම පුරෝගාමියකු වූ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න ද මේ අතරට ඇතුළත්. ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය වූ 'කඩවුණු පොරොන්දුවේ' කතා රචකයා මෙන්ම ප්‍රධාන නළුවා වන්නේ ද ඔහුය. 'කඩවුණු පොරොන්දුව' චිත්‍රපටයට පාදක වූයේ එනමින්ම යුතු බී. ඒ. ඩබ්ලිව්ගේ වේදිකා නාට්‍යය යි. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සංඛ්‍යාව දහතුනක්. හදිසි විනිශ්චය, සැඟවුණු පිළිතුර, උමතු විශ්වාසය, කැලෑ හඳ, අයිරාංගනී, මතභේදය, දෛව විපාකය, වනලිය, හදිසි විවාහය, කවට අන්දරේ, ජීවිත් පූජාව, මංගලිකා, මඟුල් පෝරුව එම චිත්‍රපටයන් ය. 'කැලෑහඳ' චිත්‍රපටය නවකතාවක් ඇසුරෙන් සිනමාවට නැඟුණු ප්‍රථම නවකතාව වීම ද විශේෂත්වයකි.

දයා විමලවීර ද අධ්‍යක්ෂවරයකු ලෙසින් සිංහල සිනමාවට දායාද කළ සිනමා නිර්මාණ සංඛ්‍යාව දොළහකි. ඔහුගේ සේවය අධ්‍යක්ෂණයට පමණක් සීමා නොවී චිත්‍රපට නිෂ්පාදකයකු, කැමරා ශිල්පියෙකු, සංස්කරණ ශිල්පියෙකු ලෙසින් ද වීම විශේෂයි. එමෙන්ම තම පියා සිරිසේන විමලවීර අධ්‍යක්ෂණය කළ පොඩි පුතා චිත්‍රපටයට ඔහු රංගනයෙන්ද දායක වීය. දයා විමලවීර අධ්‍යක්ෂණය කළ චිත්‍රපට වන්නේ, වීදුරු ගෙවල්, ජීවන කඳුළු, මිහිදුම් සිහින, මේජර් සර්, දෙව්දුව, මධුසිහින, ඡායා, රජ දරුවෝ, සුජාතා, බඹසර බිසව්, සීතල ගිනි කඳු, රණහංසි යන චිත්‍රපටයන්ය.

අපේ රටේ අංක එකේ දෘෂ්ටි ප්‍රයෝගකරුවා ලෙසින් නම් දරා සිටින සිනමා ලෝලින්ගේ ආදරය දිනාගත් සිංහල සිනමාවේ පෙරළිකාරයෙකු වූ දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කර තිරගත වී ඇති චිත්‍රපට සංඛ්‍යාව දහතුනක්. තම චිත්‍රපටවල වෙනස් අලුත් යමක් කරන ඔහු මෙරට සිනමාවට ඩිජිටල් තාක්ෂණය ආගන්තුක වූ කාලයකදී එම තාක්ෂණයෙන් වැඩ කළ අධ්‍යක්ෂවරයෙක්. පෙරළිකාරයෝ, දෙමෝදර පාලම, ඔන්න බබෝ, නොම්බර එක, කොළොම්පූර්, පාරාදීසේ, අපායේ තත්පර අසූහාරදාහක්, ඩබල් ට්‍රබල්, වරදට දඬුවම, හිතේ දුකක් නැති මිනිහා, හොඳ හොඳ සෙල්ලම්, කම් ඕ ගෝ චිකාගෝ, නරලොව හොල්මන්, දිනේෂ් අධ්‍යක්ෂණය කර තිරගත වූ චිත්‍රපට යි.අපේ රටේ ප්‍රමුඛතම කාටුන් චිත්‍රපටකරුවා ලෙසින් නම් ලද ගිවන්ත අර්ථසාද් අධ්‍යක්ෂණය කළ 'දුටුගැමුණු' සහ මහදැනමුත්තා කාටුන චිත්‍රපට වෙනුවෙන් ඔහුගේ බාල සොයුරු දිනේෂ් ද සම අධ්‍යක්ෂණයෙන් දායක වුණා.

පසුගියදා අපෙන් සදහටම සමුගෙන ගිය මෙරට සිනමාවේ දැවැන්ත නිර්මාණකරුවකු වූ වසන්ත ඔබේසේකර විසින් ද අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ගණන දහතුනක්. මහාචාර්ය සිරි ගුණසිංහගේ ‘සත්සමුදුර’ චිත්‍රපටයේ සම තිර රචක හා සහාය අධ්‍යක්ෂවරයා ලෙසින් සිනමාවට පිවිසි ඔහු අධ්‍යක්ෂවරයකු ලෙසින් වෙස් ගත්තෝ, වල්මත්වූවෝ, දියමන්ති, පළඟැටියෝ, දඩයම, කැඩපතක ඡායා, මාරුතය, දොරකඩ මාරාව, තීර්ත යාත්‍රා, සළෙළු වරම, අසනි වර්ෂා, සෙව්වන්දි සහ ආගන්තුකයා යන චිත්‍රපට සිංහල සිනමාවට දායාද කළා.

වෙනින් කවුරුවත් නොව - ලෙනින් මොරායස් යනු මෙරට සිනමාවේ බිහිවූ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. මෙරට වාණිජ සිනමාවේ දැවැන්ත චරිතයක් බවට පත් වූ ඔහු කැමරාකරණයේද අති දක්ෂයෙක් විය. ලෙනින් විසින් අධ්‍යක්ෂණය කෙරුණු චිත්‍රපට සංඛ්‍යාව පහලොවකි. සුදු දුව (රාජා ජොෂුවා සමඟ සම අධ්‍යක්ෂණය), සූරයන්ගෙත් සූරයා, අභිරහස, එදත් සූරයා - අදත් සූරයා, හොඳම වෙලාව, හොඳයි නරකයි, ඔන්න බබෝ බිල්ලෝ එනවා, ආවා සොයා ආදරේ, සූරයා සූරයාමයි, උන්නත් දාහයි මළත් දාහයි, ඔන්න මාමේ කෙල්ල පැනපි, ආදරෙයි මං ආදරෙයි, හිතුවොත් හිතුවාමයි, හිත මිතුරා සහ යුගයෙන් යුගයට චිත්‍රපට ලෙනින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට වේ.

සේන සමරසිංහ කියන්නේ සිංහල වාණිජ සිනමාවේ සාර්ථක නිර්මාණ රැසක් බිහි කරන්නට සමර්ථ වූ කිහිප දෙනාගෙන් අයෙක්. ඔහු සිංහල චිත්‍රපට සේම ශ්‍රී ලංකා - පාකිස්තාන හවුල් නිෂ්පාදන ලෙසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ගණන දහසයක්. සේන තනිව අධ්‍යක්ෂණය කළ චිත්‍රපට වන්නේ, කස්තුරි සුවඳ, නිල්ල සොයා, ආශා දෑසින්, මල් කැකුළු, චංචල රේඛා, ඈතින් ඈතට, යලි හමුවෙන්නයි, බඹර කලාපේ චිත්‍රපට. සදාකල් රැඳේවා, සිංහ පැටවු, දෝංකාරය, අයියා නගෝ, සෙබළියෝ, ඔට්ටුයි බැරුවට, සාගර පෙරළිය, ඔක්කොම කපටියෝ ශ්‍රී ලංකා - පාකිස්තාන හවුල් නිෂ්පාදන ලෙසින් සේන අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයන්ය. ජනප්‍රිය නිළි සබීතා පෙරේරා පාකිස්තානු සිනමාවටත් පය තැබුවේ සදාකල් රැඳේවා චිත්‍රපටයෙන්. ඇය ඒ හරහා පකිස්තානු සිනමාවේත් ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගන්න සමත් වුණා.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් යනු සිංහල සිනමාවට ස්වර්ණමය පදනමක් දමමින් එය ජාත්‍යන්තරයට ගෙන යන්නට කැප වූ මහා සිනමාවේදියාණන්ය. චිත්‍රාගාරයකට කොටුවී සිටි සිංහල සිනමාව එළිමහනට රැගෙන ගොස් නවතම මානයකට යොමු කරමින් එය පෝෂණය කිරීමට ඔහු කළ මෙහවර අප්‍රමාණ යැයි කීම වරදක් නොවේ. මේ මහා සිනමාවේදියා දැයට දායාද කළ අගනා නිර්මාණ ගණන දහනවයකි. එය ආරම්භ වන්නේ 1956 වසරේ රේඛාව චිත්‍රපටයෙනි. රේඛාව සිංහල සිනමාවේ එළිමහනේ රූගත කළ පළමු සිනමා නිර්මාණය වන අතර අනතුරුව සංදේශය, ගම්පෙරළිය, දෙලොවක් අතර, රන්සළු, ගොළු හදවත, අක්කර පහ, නිධානය, දෑස නිසා, මඩොල් දූව, වීර පුරන් අප්පු, අහසින් පොළවට, බැද්දේගම, කලියුගය, යුගාන්තය, අවරගිර, වෑකන්ද වළව්ව සහ අම්මාවරුණේ චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණ කෙරිණි. 1975 වසරේදී ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ඉංග්‍රීසි චිත්‍රපටයක් වූ 'ද ගොඩ් කිං' චිත්‍රපටයද මේ අතරට ඇතුළත් වේ.

සිංහල සිනමාවේ වැඩිම චිත්‍රපට ගණනක් අධ්‍යක්ෂණය කළ සුනිල් සෝම පීරිස්ගේ පුත්‍රයා ද සිය පියාගේ අඩි පාරේ යමින් සිනමා අධ්‍යක්ෂණයට එක්වි චිත්‍රපට දහයක් අධ්‍යක්ෂණය කළා. රත්තරන් මිනිහෙක්, දරු උපත, මමත් ගැහැණියක්, පිංපොං, අන්ඩර් වර්ල්ඩ්, නිදි යහන කැළඹෙයි, ජීවිතය ලස්සනයි, රන්ජා, 64 මායම් සහ රන් සයුර එම චිත්‍රපට ලැයිස්තුවට ඇතුළත් වේ. ඒ වගේම සුනිල් සෝම පීරිස් සහ සුදේශ් වසන්ත පීරිස් පිය පුතු දෙදෙනාම එක්ව හවුලේ අධ්‍යක්ෂණය කළ චිත්‍රපට වන්නේ, වැඩ බැරි ටාසන්, පිස්සු පූසෝ, පිස්සු ඩබල්, ජිම් පප්පා, හිත හොඳ පිස්සෝ, වැඩ බැරි ටාසන් මැති සබයට, අලි සුරතල් යන චිත්‍රපටයි. වර්තමාන සිනමාවේ ඉහළ ජනප්‍රියත්වක් හිමිකරගෙන සිටින උදයකාන්ත වර්ණසූරිය දැනට චිත්‍රපට විස්සක් අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඔහු අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය මහමෙර උසට නිර්මාණය වුණේ ඔහුගේම චිත්‍ර කතාවක් ඇසුරෙන්. එතැන් පටන් ගිනි අවි සහ ගිනි කෙළි, බහු භාර්යා, රාජ්‍ය සේවය පිණිසයි, රෝස වසන්තේ, බහු භූතයෝ, ලේ කිරි කඳුළු, යකඩ පිහාටු, දිය යට ගින්දර, රන්දිය දහර, හිරිපොද වැස්ස, රන් කෙවිට, ආසයි මං පියාඹන්න, පායා එන්න හිරු සේ, වැලෙන්ජර්ස්, සෙනසුරු මාරුව, රන් කෙවිට 2, කොස්තාපල් පුඤ්ඤසෝම, ගින්දරී සහ මේ දිනවල තිරගත කෙරෙන බන්ධනය යන චිත්‍රපට උදයකාන්ත විසින් අධ්‍යක්ෂණය කළා.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ද ලේඛකයකු, කවියකු, ගේයපද රචකයකු, චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ලෙස මෙරට කලා ක්ෂේත්‍රයට අනූපමේය සේවයක් ඉටු කරන්නාවූ විද්වතෙකි. ඔහුගේ සිනමා දායකත්වය තුළ මේ දක්වා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සංඛ්‍යාව විස්සකි. අනූපමා, සරුංගලේ, පොඩි මල්ලි, සිරිබෝ අයියා, කිඳුරු කුමාරි, කෝළංකාරයෝ, බඹා කෙටූ හැටි, සතර පෙර නිමිති, වජිරා, බඹර ගීතය, ජීවිතයෙන් ජීවිතයක්, කැලෑ මල්, මුහුදු ළිහිණි, මිහිදුම් සළු, ක්‍රිස්තු චරිතය, අහස් මාලිගා, සුදු සෙවනැළි, උත්පලවණ්ණා, කුස පබා සහ පත්තිනි එම චිත්‍රපටයන්ය. සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ කෝලංකාරයෝ චිත්‍රපටයට තිස්ස නාගොඩවිතාන සම අධ්‍යක්ෂණයෙන් දායක වීය. ඔහුගේ නවතම චිත්‍රපටය අලි කතාව අද සිට තිරගත වීම සමඟින් මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සංඛ්‍යාව විසිඑකක් බවට පත් වෙනවා.