වර්ෂ 2016 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

බෙන්ජමින් මාස්ටර්ගේ දුව සත් සමුදුරේ විමලා විය

ලීනා ප්‍රනාන්දු

තම පියා සවසට ගෙදරදී කියන නාට්‍යයක සින්දුවක් කුඩා දියණිය අසා සිටියේ නොතිත් ආසාවෙන්. ඒ 'ඔතෙලෝ' නාට්‍යයේ ගිතයක්ලු. ඇයට මේ ගීතය තවම කටපාඩම්.

" ඉයාගෝ බෑ ඉයාගෝ බෑ දරන්ටා
මේ අපරාදේ
ඊයම් ගුලියක් සේ ළයේ දන්නා ඉයාගෝ
ක්‍රෝදේ නැඟී එන්නා හදේ ඊට මම් බෝ බියයි
වරෙන් ළඟටා ඉයාගෝ මගේ
ගතත් මාගේ සිතත් මාගේ
බෑ ඉයාගෝ බෑ දරන්ටා මේ අපරාදේ'

තාත්තා සිංහල කථානාද චිත්‍රපටය 1947 ඉපදෙන්නටත් පෙර මීගමුවේ මංගල නාට්‍ය සභාව වෙනුවෙන් මීගමුවේ නාට්‍යය නිෂ්පාදනය කළ නාට්‍ය රචකයා, නළුවා, ගීත ප්‍රබන්ධකයා, ගායකයා බෙන්ජමින් ප්‍රනාන්දු හෙවත් 'බෙන්ජමින් මාස්ටර්' 1950 වසරේ තම දියණියක වන ලීනා ප්‍රනාන්දුට ගයා පෙන්නූ 'හැම්ලට්' නාට්‍යයේ ගීතයකි ඒ.

ලීනා ප්‍රනාන්දු සිනමාවට පිවිසෙන්නේ අහම්බෙනි. ඒ 1966 වසරය. දහ හත් හැවිරිදි වියේ පසු වූ ඇය මීගමුවේ බෝලවලාන නිමල මරිය විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේය.

'මම මේ කාලේ නාට්‍යවල රඟපාන්න කැමතියි. තාත්තා මාව ධෛර්යමත් කළා. දවසක් බෝලවලාන දේවස්ථානයේ නිකලස් පෙරේරා පියතුමා නාට්‍යයක් නිෂ්පාදනය කළා 'මාකස් මර්සියා' කියලා. මේ නාට්‍යයේ ගැහැනු ළමයි පිරිමි චරිත රඟපෑවේ. මම එහි ප්‍රධාන චරිතය වූ 'මාකස්' කියන රෝම සෙන්පතියාගේ චරිතය රඟපෑවේ. මේ නාට්‍යය බලන්න ප්‍රධාන අමුත්තෝ හැටියට ආවේ මීගමුවේ ප්‍රසිද්ධම, දක්ෂම වෛද්‍යවරයා ලීනස් දිසානායක මහත්තයත්, මීගමුවේ සයිකල් බසාර් අධිපති ඩී. ඇම්. හෙට්ටිආරච්චි මහත්තයා. ඒ මහත්තයා පසු කාලෙක 'ආදරවන්තයෝ' සහ 'මනමාලයෝ' කියලා චිත්‍රපට දෙකක් නිෂ්පාදනය කළා. නාට්‍යය බලලා ලීනස් දොස්තර මහත්තයා තාත්තාට කියලා තියෙනවා 'මාස්ටර් මේ නාට්‍යයේ මාකස්ට ඇට් කරපු පුංචි කෙල්ල දුව කියලා. මේ කෙල්ලට හොඳ අනාගතයක් තියෙනවා. මමත් චිත්‍රපටයක් කරනවා 'සත්සමුදුර' කියලා. මම මේ කෙල්ලව තෝරා ගත්තට මාස්ටර් කැමතිද?' කියලා. තාත්තා එක පයින් කැමති වෙලා. අනික ලීනස් දොස්තර මහත්තයා පවුලේ වෛද්‍යවරයා. මම සත් සමුදුරේ රඟපෑවේ සිරිල් වික්‍රමගේ (ගුණදාස) පෙම්වතී විමලා ලෙස. මුලින්ම රඟපෑවේ ගීතමය දර්ශනයක්. අධ්‍යක්ෂ සිරි ගුණසිංහ හා කැමරා ශිල්පී නිහාල්සිංහ යන මහත්වරු මට උදව් කළා. පෙම්වතාගේ ප්‍රේමය අහිමි වෙලා වෙනත් කෙනෙකු හා අකමැත්තෙන් දීග යන දර්ශනය. පසුබිමින් අමරදේව සූරීන් ගයන මේ ගීතයට මමත් සිරිලුත් රඟපෑවා.

'පිපෙන කුසුම පර වූවා
බඹර කිකිණි ගොළු වූවා
මුතු කැට සුද සැඟවුණා
හසරැළි වියළී ගියා
සිතක නැඟි පෙම් රළ පෙළ
වෙරළ වැලඳ නිල් දෑසක
කඳුුළුවලට පෙරළුණා
දෑස අඳුර කැටි වුණා'

'මම චිත්‍රපට පහක රඟපාලා තියෙන්නේ. රොබින් තම්පෝගේ 'දෙහදක දුක' චිත්‍රපටයේ මම ගාමිණී ෆොන්සේකා හා ආනන්ද ජයරත්නන එක්කත්, 'පික්පොකට්' චිත්‍රපටයේ වොලී නානායක්කාරත් එක්ක රඟපෑවා. ඊළඟට අරුණ ශාන්තිගේ 'දෙවියනි ඔබ කොහිද' හා ඇන්ටන් ප්‍රනාන්දුගේ 'සුළි සුළං' චිත්‍රපටවල රඟපෑවා. 'සුළි සුළං' චිත්‍රපටය නිෂ්පාදනය කළ ජනප්‍රිය චිත්‍රපට නිළිය විජිත මල්ලිකා මගේ මවගේ සහෝදරීගේ දුවක්' ලීනා කීවාය.

ලීනාගේ පියා ද චිත්‍රපට නළුවෙකි. 'වනලිය', 'හදිසි විවාහය', 'කවට අන්දරේ' යන බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවලත්, සිරිසේන විමලවීරගේ සරදියෙල් චිත්‍රපටයේ ද රඟපෑ ඇත. මාතලන්, රම්‍යලතා, අසෝකා සරදියෙල් චිත්‍රපටවල ද රඟපෑවේය. එපමණක් නොව 'වනලිය' චිත්‍රපටයේ කතාව හා දෙබස් ද රචනා කළ ඔහු වනලිය, මනමාලයෝ, මංගලිකා චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂවරයා වූ ඔහු තිරයට නොපැමිණි විජය අබයදේවගේ 'තිසාහාමි' චිත්‍රපටයේ ද සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කොට ඇත.

'තාත්තාගේ හොඳම මිත්‍රයා බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න. ජයමාන්න අන්කල් හොරම්බාව වත්තේ තාත්තා ළඟ තියාගෙන තාත්තා ලවා දෙබස් ලියවාගෙන තියෙනවා. මේ යාළුවෝ දෙන්නා දාන් අදින්න කප්පිත්තෝ. විනෝදෙට දාන් අදින්න ගියාම දවසක්ම ගත කරනවලු. බී. ඒ. ඩබ්ලිව්. අන්කල්ගේ දෙබස් අධ්‍යක්ෂවරයා (ඩයලොග් ඩිරැක්ටර්) තාත්තලු . තාත්තගේ මංගල නාට්‍ය සංගමයෙන් 'භයානක පොරොන්දුව', 'සීතාවක රාජධානිය', 'සිංහල කොල්ලා', 'පැරැණි ලක්දිව', 'නැන්දම්මා', 'හැම්ලට්', 'කවට අන්දරේ', 'රෝහිණී', 'වන මෝහිනී', 'සිංහල කුමාරයා' නාට්‍ය නිෂ්පාදනය කළා. සමහර නාට්‍යවල අම්මාත් (මියුරින් වික්‍රමරත්න) රඟපාලා තියෙනවා.'

ලීනා කියන හැටියට තම පියා ඉවසීම ප්‍රගුණ කළ ආගමට ළැදි කේන්ති යන්නේ නැති චරිතයකි. බෙන්ජමින් මාස්ටර් ග්‍රැමෆෝන් ගී 35 ක් පමණ ගයා ඇත. මීගමුවේ 'මාස්ටර්ලා' බහුල කලා පුරයකි. 'බෙනඩික්ට් මාස්ටර්', 'හියුගෝ මාස්ටර්', 'සෙබස්තියන් මාස්ටර්', 'මතායස් මාස්ටර්' මේ මාස්ටර්ලාය. වරක් ප්‍රකට ඡායාරූප ශිල්පී හා මාධ්‍යවේදී වයික්කාලේ ලුවිස් කුමාර සමඟ මට බෙන්ජමින් මාස්ටර් හා කතාබහ කිරීමට දුර්ලභ අවස්්ථාව උදා විය.

1905 ඔක්තෝබර් 07 වෙනිදා උපත ලැබූ බෙන්ජමින් මාස්ටර් 1991 මිය යන විට ඔහුගේ වයස අවුරුදු 87 කි.

දරුවන් 7 කින් සමන්විත පවුලක හතරවැනියා ලෙස ලීනා එකම ගැහැනු දරුවා ලෙස උපන්නාය. චක්‍රවර්තිගේ මේරි ගර්ට්රූට් ලීනා ප්‍රනාන්දු 1949 නොවැම්බර් 29 වෙනිදා උපත ලබා ඇත. ඇය 1974 ෂෙල්ටන් ද සිල්වා සමඟ විවාහ වූ පසු සිනමාවෙන් සමුගත්තාය. ඔහු අබුඩාබියේ ෂේක් සයිඩ් මාළිගාවේ රාජකීය ආරක්ෂකයා ලෙස සේවය කොට ඇත. ෂෙල්ටන් හා ලීනා යුවළට දරුවන් තිදෙනෙකි. චාන්දනී සිල්වා , චමින්ද සිල්වා ශානිකා ද සිල්වා ඔවුන්ය. මිනිබිරියන් තිදෙනෙකුගේ හා මුනුබුරන් හතර දෙනෙකුගේ සුරතල් බලන ලීනා මීගමුවේ බෝලවලානේ මිනුවන්ගොඩ පාරේ අංක 72 නිවෙසේ පදිංචිව සිටින්නීය.