වර්ෂ 2016 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




ඔයාටත් ගොඩක් පිං සිද්ධ වෙනවා

ඔයාටත් ගොඩක් පිං සිද්ධ වෙනවා

මෙතෙක් කතාව

සන්දේශ් හා මිහිරි යනු විවාහ ගිවිස ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පෙම්වතුන් යුවලකි. මිහිරිට 'ඩවුන් සින්ඩ්‍රොම්' නැමැති බුද්ධි හීන ආබාධයෙන් පෙලෙන සොහොයුරෙකු සිටී. මේ හේතුව මත සන්දේශ්ගේ දෙමව්පියෝ ඔවුන්ගේ විවාහයට කැමැත්තක් නොදක්වති.

සන්දේශ් පසුව උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට යයි. එහිදී ඔහු නතාශා නැමැති රූමත් ලාංකික යුවතියක් හඳුනාගෙන ඇය හා ආදරෙන් බැඳේ. දිනක් මිතුරු සාදයකදී ගැටුමකට මැදිවන සන්දේශ් සඳළුතලයකින් පහළට වැටෙයි. එහිදී කොඳු ඇට පෙළට දරුණු ලෙස හානි සිදු වී ඔහුගේ ජීවිතය රෝද පුටුවකට සීමා වේ. මෙම හේතුව නිසා නතාශාගේ දෙමාපියෝ ඔවුන්ගේ විවාහයට විරුද්ධ වෙති. පසුව සන්දේශ් නතාශාගෙන් වෙන් වී යළිත් ලංකාවට පැමිණේ.

දිනක් සන්දේශ්ගේ උපන් දින සාදයකදී ඔහුට අහම්බෙන් මිහිරි මුණ ගැසේ. එහිදි මිහිරි තම පෙම්වතා වන ගයන්තව සන්දේශ්ට හඳුන්වා දෙයි. ගයන්ත හා මිහිරි එකතුව සන්දේශ්ගේ ආබාධිත තත්ත්වය සුවකර දීමට උත්සාහ දරති. දිනක් ගයන්ත සන්දේශ් හා මිහිරි රැගෙන ගාලු මුවදොර පිටියට යයි. (අද එතැන් සිට)

* * *

ඇඳ විට්ටමට හේත්තු කළ කොට්ටයට පිට දී ගෙන මිහිරි සිටියේ පොතක් කියවමින්ය. සුළු මොහොතකට පසු ඇඳ මත ඇති දුරකථනය නාද වන හඬ ඇයට ඇසිණ. මිහිරි එය අතට ගෙන එහි මුහුණතට දෑස් යොමු කළාය. 'ගයන්ත'. පොත කෙරෙහි වූ සිතුවිලිවලින් බැහැර වූ ඇය, සතුටින් දුරකථනය සවනට සමීප කළාය.

"ඉයස්?"

"නිදි නැද්ද තාම?"

"නෑ"

"මොනවද ඔයා කරන්නෙ?"

"පොතක් කියවනවා, ඔයා මොනවද කරන්නෙ?"

"ටැලි‍ෆෝන් එකෙන් ගෑනු ළමයෙක් එක්ක කතා කරනව"

"කොහෙද ඔයා ඉන්නෙ"

"ගෙදර.... බැල්කනියෙ. හඳත් ලස්සනට පේනවා. අදනෙ පසළොස්වක"

"පසළොස්වක හඳ දිහා බලාගෙන මොනවද කරන්නෙ? බොනව නේද?"

"පිස්සුද ඔයාට?"

"පෝය දවසෙ බොරුත් කියනව, මට ඇත්ත කියන්න"

"දන්නැද්ද පෝයට බාර් වහල කියලා"

"ඒ වුණාට ගෙදර බාර් එක ඇරල ඇති"

ගයන්තගේ දෙතොල් තරමක් විහිදී ගියේය.

"ආ.... ඒකෙ නං දොර පළුවක් ඇරල "

"ගයන්ත ඔයා නං හරිම නරක විදියට හැදෙන්නෙ"

"ඔව් ඉතිං අපි නරකයිනෙ"

ගයන්තගෙ කීමට එක්වරම පිළිතුරක් ලබා දෙන්නට මිහිරිට නොහැකි විය. ගයන්ත නරක කෙනෙක් නොවේ. එහෙත් ඔහු අනවශ්‍ය විදියට බීමට හුරු වී ඇත්දැයි යන කුකුසක් ද ඈ තුළ නොතිබුණා නොවේ.

"ඒක නෙවි මිහිරි, ‍හෙට අපි පොඩ්ඩක් හම්බ වෙමුද?"

"හෙට උදේ නං මට ලෙක්චර්ස්"

"හවස වුණත් කමක් නෑ"

"හ්ම්"

"කෝ බකමූණා? නිදි ද දන් නෑ"

මිහිරිගේ මුහුණේ ඉරියව් වෙනස් වී ගියේ සැණෙකිනි.

"ඔය ඉතිං ඔයා ආයෙමත්, පව් ගයන්ත"

"මං කෝල් එකක් දාලා බලන්නං"

"එපා ගයන්ත, සන්දේශ් නිදි ඇති. දැන් දොළහත් පහු වෙලා"

"ඇයි අපි විතරක් ඇහැර‍ගෙන. අපි මිනිහවත් ඇහැරවමු"

ගයන්ත සැහැල්ලුවෙන් එසේ පැවසුවත් මිහිරිගේ සිතට කෝපයක් ඇතුළු විය. ගයන්ත මින් පෙර කිසි දිනෙක මෙලෙස හැසිරී නැත.

"ගයන්ත ඔයාට නං දැන් හොඳටම වැඩි වෙලාද කොහෙද. ගෙදර බාර් එකේ දොර පළුව වැහුවොත් හොඳයි"

ගයන්ත සිනාසී 'බායි. ගුඩ්නයිට්' කියමින් දුරකතනයේ මිහිරි සමඟ තිබු සම්බන්ධය කපා හැර එය තුළ ඇති සන්දේශ්ගේ නම සොයන්නට පටන් ගත්තේය.

* * *

"ඔයාටත් ගොඩාක් පිං සිද්ධ වෙනව ගයන්ත, සන්දේශ්ව ඔච්චර ඔහොමවත් සනීප කර ගන්න ඔයා කරපු උදව්වලට. එයාට දැන් පුටුව නැතුවත් ඇවිදින්න පුළුවන්. ඒක ලොකු දෙයක්. මට හිතෙනවා තව ටික කාලයක් ගියාට පස්සෙ අත්වාරු නැතුවම සන්දේශ්ට ඇවිදින්න පුළුවන් වෙයි කියලා"

මිහිරි හා ගයන්ත සිටියේ ටොරින්ටන් චතුරශ්‍රය අසල අලුතින් ඉදි කොට ඇති ඇවිදින මංතීරුව පසෙක තිබු සිමෙන්තියෙන් නිම කළ බැම්මක් මත එකිනෙකාට සමීපව වාඩි වී ගෙන ය. පොකුණ මැද ඇති වතුර මල් පේළියෙන් නැගෙන පින්නක් බඳු වතුර බිඳු දෙදෙනාගේම ගතට ගෙන දුන්නේ සිසිල් සුවයකි. පැහැබර සවස් කාලයක් නිසා සෑහෙන පිරිසක් විනෝදයෙන් ගත කරනු පෙනෙයි. තවත් පිරිසක් දුවමින්, ඇවිදිමින් ව්‍යායාම්වල යෙදෙති.

මේ මොහොතේ සන්දේශ් සිටියේ මිහිරි හා ගයන්තට යාර කිහිපයක් පමණ එහායින් කිහිලිකරු මඟින් ඇවිදිමින්ය. ඔහුට දැන් කිසිවෙකුගේ ආධාරයක් නොමැතිව එලෙස ඇවිදිය හැක. ඒ ගැන වඩාත්ම සතුටට පත් ව සිටියේ මිහිරි ය. මිහිරි කී පරිද්දෙන් මෙලෙස ඔහුගේ සුවවීම උදෙසා තමාත් හැකි අයුරින් ලබා දුන් සහයෝගය ගැන ගයන්ත තුළ ඇත්තෙත් තෘප්තිමත් හැඟීමකි. තවත් ටික දිනකින් කිහිලිකරු නොමැතිව ඔහුට ඇවිදින්නට හැකි වේවි යැයි ගයන්තටත් සිතෙයි.

"දැක්කද ඉර? ලස්සනයිනෙ"

මිහිරි එසේ පැවසුවේ බටහිර අහසේ පායා ඇති රත් පැහැයට හුරු හිරු දෙස බලමින්ය.

බිමට යොමු වී තිබු දෙනෙත් මඳක් ඉහළට යොමු කළ ගයන්තත් කල්පනාවෙන් බැහැරව හිරු දෙස බැලුවේය.

"පසළොස්වක හිරු"

"ඒ මොන කතාවක්ද? මිහිරි ඇසුවේ සිනා සෙමින්ය. එහෙම ඉරක් ගැන මං අහල නෑ"

"අපි අහල නැති දේවලුත්, අහන්න අකමැති දේවලුත් කොච්චර තියෙනවද මේ ලෝකෙ"

"මාර පඬියෙක් වෙලානෙ දැන් මෙයා"

එසේ කී මිහිරි සිනාසෙමින්ම ගයන්තගේ අතක් අල්ලා ගත්තාය. ගයන්තගේ අත තරමක් ගොරෝසු ය. සන්දේශ්ගේ අත නම් සිනිඳු යැයි ඇයට සිතිණ.

මිහිරි යළිත් හිස හරවා සන්දේශ් දෙස බැලුවාය. සන්දේශ් ඔවුන්ට පිටු පා ඈතට ඇවිදියි. එය ඔහුට හොඳ ව්‍යායාමයක් යැයි මිහිරිට සිතෙයි. එමෙන්ම තව නොබෝ දිනකින්ම ඔහුට කිහිලිකරු නොමැතිව තනිව ඇවිදිය හැකිය යන දැඩි විශ්වාසයක් ද ඇය තුළ පවතී.

අවට සිටින පිරිසගේ නොයෙකුත් ක්‍රියාකාරකම් දෙස ද මොහෙතක් බලා සිටි මිහිරි යළිත් ගයන්ත දෙසට හැරුණේ මතකයට යමක් නැගුණු නිසාය.

අවසන් කොටස ලබන සතියේ