වර්ෂ 2016 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




ඈත මන්දාකිනියේදී ශ්‍රීමත් රිඩ්ලි ස්කොට් Alien සමඟ රණබිමට

ඈත මන්දාකිනියේදී ශ්‍රීමත් රිඩ්ලි ස්කොට් Alien සමඟ රණබිමට

ලොවපුරා හොලිවුඩ් රසික රසිකාවන්ගේ ආකර්ශනයට ලක් වූ Alien චිත්‍රපට මාලාවේ ආරම්භය සනිටුහන් කෙරෙන්නේ 1979 වසරේදී තිරගත කෙරුණු Alien චිත්‍රපටයෙන්. අනතුරුව 1986 වසරේදී Alien චිත්‍රපටයත් 1992 දී Alien 3 චිත්‍රපටයත් 1997 වසරේදී Alien: Resurrection  චිත්‍රපටයත් තිරගත කෙරුණා. මෙම චිත්‍රපට මාලාවට පාදක වූ කතාව රචනා කරන ලද්දේ ඩෑන් ඔබානන් සහ රොලන්ඩ් ෂූසීට් විසින්. මෙම චිත්‍රපට මාලාව අධ්‍යක්ෂණයට එක් වූයේ ලෝ ප්‍රකට සම්මානනීය අධ්‍යක්ෂවරුන් වීමත් විශේෂයි. පළමු වැන්න රිඩ්ල් ස්කොට් විසිනුත්, දෙවැන්න ජේම්ස් කැමරන් විසිනුත්, තෙවැන්න ඩේවිඩ් ෆ්‍රින්චර් විසිනුත් සිව්වැන්න ශාන් පියරේ ජොනට් විසිනුත් අධ්‍යක්ෂණය කෙරුණා.

1979 වසරේදී තිරගත කෙරුණු Alien චිත්‍රපටය වියදම මෙන් 15 ගුණයක ඉහළ ආදායමක් ලබමින් විචාරක පැසසුම් ලද අති සාර්ථකත්වයට පත් චිත්‍රපටයක් බවට පත්වීමත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. රිඩ්ලි ස්කොට් විසින් අධ්‍යක්ෂණය කළ එහි ටොම් ස්ක්‍රීට්, සිගෝනී වීවර්, වෙරෝනිකා කාට්රයිට්, හැරී ඩීන් ස්ටැන්ටන් , ජෝන් හර්ට් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වුණා. මෙහි කතාව දිග හැරෙන්නේ වෙනත් ග්‍රහලොවක සිට ඛණිජමය පාෂාණ රැගෙන පෘථිවිය කරා එන යානාවක ශිශිර තාරක නින්දේ පසුවෙන සත් දෙනෙකුගෙන් යුතු කාර්යය මණ්ඩලයක් සමඟින්.

යානයේ පරිගණකය මඟින් මෙම ශිශිර තාරක නින්දේ පසුවෙන කාර්ය මණ්ඩලය හදිසියේම අවදිකරනු ලබන්නේ අහම්බයකින් නොදන්නා ග්‍රහකය සිට එන පණිවුඩයක් ග්‍රහණය වීමක් හේතුවෙන්. එය පරීක්ෂා කිරීමට මෙම යානාවේ පිරිස එම ග්‍රහකයට ගමන් කරන අතර එම පණිවිඩයේ මූලාශ්‍රය සෙවීමේදී අත්හැර දමන ලද පිටසක්වල යානයකින් එය නිකුත් වී ඇති බව ඔවුන් හට සොයා ගැනීමට හැකි වෙනවා. එහි තිබෙන බිත්තර බිඳී පිටවන පරපෝෂිත ජීවියකු හේතුවෙන් යානයේ ගගනගාමීන් මරණයට පත් වන අතර දිවි ගලවා ගැනීමට හැකි වන්නේ රිප්ලි නම් කාන්තාවට පමණයි.

Alien නම් වූ දෙවැන්නේදී දිවි ගලවාගත් රිප්ලිගෙන් ප්‍රශ්න කිරීම සමඟින් ඇය නැවතත් පෙර කී ග්‍රහලෝකය වෙත ගමන් කෙරෙන කණ්ඩායමක උපදේශිකාව ලෙසින් යළිත් එම අභියෝගයට මුහුණ දීමත් සිදුවන අතර තෙවන සහ සිව්වන චිත්‍රපටත් එම සිදුවීම් දාමය ඔස්සේ ඉදිරියට යයි. එසේම මෙම චිත්‍රපට සියල්ලම එක්තරා ආකෘතියකට ගලා යෑමත් විශේෂයි. එම සෑම චිත්‍රපටයකදීම චරිත සහ පිටසක්වල දරුණු ජීවින් අතර ගැටුම් ඇතිවී ජිවිත හානි සිදුවීම පොදුවේ සිදුවන්නක්. ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් විසින් බෙදාහරින ලද මෙම චිත්‍රපට ඇසුරෙන් නවකතා කෘති, චිත්‍රකතා සහ පරිගණක ක්‍රීඩා රැසක් නිර්මාණය වීමත් සඳහන් කළ යුතුමයි. Predator චිත්‍රපට මාලාවද මේ සමඟ සම්බන්ධ කරමින් Alien vs. Predator නමින් තවත් චිත්‍රපට මාලාවක් නිර්මාණ කෙරුණා.

Alien චිත්‍රපට මාලාවේ සිව්වැන්න තිරගත වූ 1997 වසරෙන් පසු එය විරාමයක් සනිටුහන් කළ අතර එම සිදුවීම්වලට පෙර සිදු වූ දේ ගැන කීමට තවත් චිත්‍රපටයක් 2012 වසරේදී තිරගත කෙරුණා. ප්‍රථම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රිඩ්ලි ස්කොට් විසින්ම අධ්‍යක්ෂණය කළ එය නම් කෙරුණේ Prometheus  නමින්. ඉදිරියේදී එහි දෙවැන්න සහ තෙවැන්න තිරගත වීමට නියමිතයි. මෙය යම් පමණකින් Star Wars චිත්‍රපට මාලාවේ සැලසුම සිහිගන්වන්නක්. එහිද කාල රාමුව ගතහොත් චිත්‍රපට මාලාව ඇරඹෙන්නේ සිව්වැනි චිත්‍රපටයෙන්. මේ අනුව Alien චිත්‍රපට මාලාවද ආරම්භ වී ඇත්තේ සිව්වැන්නේදී වන අතර පළමු, දෙවැනි සහ තෙවැනි කොටස් පසුව තිරයට පැමිණෙනවා.

Alien චිත්‍රපට මාලාවේ පූර්වගාමි චිත්‍රපට අතරේ පළමු වැන්න වන Prometheus  චිත්‍රපටයේදී විශ්වයේ අඳුරු පැති සොයා යන ගවේශකයින් පිරිසක් පිටසක්වල ජීවින් සමඟ කෙරෙන වික්‍රමාන්විත සිදුවීමක් ගෙන එනවා.

එහි මීළඟ කොටස Alien:Covenant හෙට (මැයි 19) සිට ලොවපුරා තිරගත කිරීම අරඹන්න සූදානම්. මුල් කතාවේ දිවිගලවා ගෙන පැමිණෙන ගවේෂක කණ්ඩායමේ සාමාජිකයකුට 2104 වසරේදී ඔවුන් සොයමින් සිටි ග්‍රහ ලොවක් හමුවන අතර එහිද ඉතා දරුණු පිටසක්වල ජීවීන් පිරිසක් සිටිනා බව දැන ගැනීමට ලැබීමත් සමඟින් සිදුවන්නේ කුමක්ද යන්න Alien:Covenant  ඔස්සේ දිග හැරේ.

මෙම චිත්‍රපටයද අධ්‍යක්ෂණය කර ඇත්තේ, Gladiator, Black Hawk Down, Gangster, Hannibal  වැනි අති සාර්ථක සිනමා නිර්මාණ රැසක් අධ්‍යක්ෂණය කළ සම්මානනීය අධ්‍යක්ෂක රිඩ්ලි ස්කොට් විසින්. 79 වැනි වියේ පසු වන ඔහු බ්‍රිතාන්‍ය සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් කළ සේවය උදෙසා 2003 වසරේදී නයිට් පදවියෙන් පිදුම් ලැබීය. මයිකල් ෆැසබෙන්ඩර්, කැතරින් වෝටර්ස්ටෝන්, බිලි කර්ඩප්, ඩැනි මැක්බ්‍රයිඩ් ඇතුළු පිරිසක් Alien: Covenant හි රංගනයෙන් දායක වේ. මේ වන විට එය IMDB  දර්ශයේ ප්‍රේක්ෂක මනාපය ලකුණු 8.5/10ක් වශයෙන් ලබාගෙන ඇති අතර රොටෙන් ටොමැටෝස්හි සියයට 75ක් සහ මෙටා ක්‍රිටික් දර්ශකයේ සියයට 66ක් ලෙසින් ඇගයීමට ලක් වී ඇත.

රොටෙන් ටොමැටෝස් පොදු විචාරය පවසන්නේ මෙය ගැඹුරු විශ්වයේ සිදුවන භයානක සිදුවීම් මාලාවක් ළඟින් සිට අත්දැකිය හැකි නිර්මාණයක් බවයි. මෙහි කතාව නව මානයකට රැගෙන නොගියද බොහොම තෘප්තිමත් එකක් බවත් එහි ඇතුළත්ය. තවත් විචාරකයකුගේ අදහස නම් දශකයක පමණ කාලයක් සොයාගත නොහැකි වූ ප්‍රේක්ෂකයා රඳවා තබා ගැනීමට හැකි වන තරමේ විශිෂ්ට නිර්මාණයක් බවයි. පළමු චිත්‍රපට දෙක තරමටම ආකර්ශණයක් නොමැති නමුත් එම චිත්‍රපට ද්විත්වය සේම හරය පවත්වා පවතවා ගැනීමට මෙම නව චිත්‍රපටයද සමත් වී ඇති බව බිල්ජ් ඒබ්‍රි නම් විචාරකයාගේ අදහසයි.