වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවියට පනස් හතරයි

සරසවියට පනස් හතරයි

සරසවිය පුවත්පතට ලබන සඳුදා ට අවුරුදු පනස් හතර සපිරේ.සරසවිය ආරම්භ කරන ලද්දේ 1963 වසරේ අප්‍රේල් මස 10 වැනි දිනය.එහි ආරම්භක කර්තෘ වූයේ ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු කවියකු වූ මීමන ප්‍රේමතිලක මහතාය.එසේ වුව ද සරසවිය ගොඩ නැඟුවේ එයින් මාස කිහිපයකට පසු කර්තෘ ධුරයට පත් විමලසිරි පෙරේරා මහතාය.ආරම්භයේ දී විමලසිරි පෙරේා මහතා සරසවිය නියෝජ්‍ය කර්තෘවරයා විය.විමලසිරි පෙරේරා මහතා සරසවිය පුවත්පතේ දීර්ඝ කාලයක් කතුවරයා ලෙස කටයුතු කලා පමණක් නොව එය එහි ඉහළට ම ගෙනාවේය.සරසවිය සතු සියලු සම්ප්‍රදායන් ගොඩනගන ලද්දේත් අභිමානවත් සිනමා සම්මාන උලෙළ නිර්මාණය කරන ලද්දේත් විමලසිරි පෙරේරා මහතා විසිනි. ඔහු හැමවිටම යහපත් කලාවක් වෙනුවෙන් සරසවිය කැප කළේය.

එයින් පසු ධර්මදාස බොතේජු,ග්‍රැන්විල් සිල්වා,ඒ.ඩී.රන්ජිත් කුමාර,තිලකරත්න කුරුවිට බණ්ඩාර,සුසිල් ගුණරත්න.අනුර බණ්ඩාර රාජගුරු,දීප්ති ෆොන්සේකා.සුනිල් මිහිඳුකුල, ගාමිණී සමරසිංහ යන විශිස්ට පුවත්පත් කතුවරුන් සරසවිය අභිමානය ඉදිරියට ගෙන ගියේය.

ආරම්භයේ සරසවිය සිනමා පුවත්පතක් නොවූ අතර එය ළමා මහළු ජ්‍යෙතිෂ ආදි සියලු කරුණු අඩංගු පුවත්පතක් විය.එහි එක් එක් විෂයන් වෙන් කොට මිහිර,තරුණී,සුබසෙත ආදි පුවත්පත් ගොඩනැගෙද්දී සරසවිය කලා පුවත්පතක් ලෙස යාවත්කාලින විය.සරසවිය සහමුලින්ම සිනමා පුවත්පතක් නොවීය.එහි ප්‍රමුඛතාව ලැබුණේ සිනමාවටය.සියලු කලාවන් සරසවියට අයත් විය.එය සරසවිය නම් ලද්දේ ද එබැවිනි.

වසර පනස් හතරක් ලංකාව වැනි රටක සිනමා කලා පුවත්පතක් නොව මොන යම්ම හෝ පුවත්පතක් පවත්වා ගෙන යෑම ප්‍රාතිහාර්යකි.සරසවිය එම ප්‍රාතිහාර්ය පාන්නේ සියලු කලා කරුවන්ගේ හොඳ හිතත් පාඨක ඔබ සැමගේ ආදරයත් ලේක් හවුස් ආයතනයේ අභිමානයත් නිසාය.

එදා මෙදා කාලයේ සරසවිය පුවත්පත රැකගන්නා ලද්දේ ඒ හැම ගේ ආදරය නොඅඩුව ලැබෙන නිසාය.අපි ඒ ආදරයට විශ්වාසෙට හැම දිනකම පින් සිදුවේවා යැයි පතමු.

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා


බන්ධන හෙට තිරයට

කළු - සුදු ඇඳ එන්නැයි ආරාධනා

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිල්ලි හදි හූනියම් ආදී ජන විශ්වාසයන් අලළා ගෙතූ කතා පුවතකින් සමන්විත උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමාපටය වූ බන්ධනය හෙට සිට රීගල් ඇතුළු සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීම ඇරැඹේ. කළු සුදු මාධ්‍යයෙන් තිරගත වන එහි තිර රචනය මෙන්ම නිෂ්පාදනය ද උදයකාන්තගෙනි.

සිරිල් වික්‍රමගේ, සුවිනීතා වීරසිංහ, හේමාල් රණසිංහ, දුලානි අනුරාධා, සහේලි සමරසිංහ, නිල්මිණි තෙන්නකෝන්, ලියෝනි කොතලාවල, රවින්ද්‍ර යසස්, ප්‍රියංකර රත්නායක, විල්මන් සිරිමාන්න, සෝමවීර ගමගේ, සුදම් කටුකිතුලේ උදය කුමාරි රණසිංහ, ආරියසේන ගමගේ, රන්ජිත් සිල්වා, කුමාර වඳුරැස්ස, අසංක දේවමිත්‍ර, නන්ද වික්‍රමගේ, ජයතිස්ස අතුලසිරි, සෝමසිරි කොළඹගේ, රංජිත් රූබසිංහ, සුනෙත් මැල්සිරිපුර, ජානක හාල්පන්දෙනිය, නිමාෂා ද සිල්වා ඇතුළු පිරිස බන්ධනය රංගනයෙන් හැඩ කරති.

කේ. ඩී. දයානන්දගේ කැමරා අධ්‍යක්ෂණයකි. සංස්කරණය ප්‍රවීන් ජයරත්නගෙනි. අරුණ ඩයස් කලා අධ්‍යක්ෂවරයාය. ඩොනල්ඩ් ජයන්තගේ සහාය අධ්‍යක්ෂණයකි. ඇඳුම් නිර්මාණය ශාන්ති වර්ණසූරියගෙනි. නිෂ්පාදන කළමනාකරු අශෝක ආරියරත්නය. මහේෂ් නිශාන්ත නිශ්චල ඡායාරූප ශිල්පියායි. ලතා කුලරත්න, නඳුන් රත්නායක සහ කුමාර වඳුරැස්ස නිෂ්පාදනයෙන් එකතු විය. නඳුන් රත්නායකගේ සංගීත අධ්‍යක්ෂණයකි. පිටපත් සම්බන්ධිකරණය සහ ප්‍රචාරක කටයුතු නිහාල් සංජයගෙන්ය.

බන්ධනය සිනමාපටය හි මංගල දැක්ම වෙනුවෙන් නිර්මිත ආරාධනා පත්‍රයෙහි දිනය, වේලාව, තැන මෙසේ සඳහන්ව ඇත.

ඇඳුම - සුදු - කළු හෝ කළුපාට

ඒ අනුව එදින ආරාධිතයන් ද පැමිණිය යුත්තේ බ්ලැක් ඇන්ඩ් වයිට් ඇඳුමෙනි. චිත්‍රපටයේ ත්‍රිමාණ පිටපත් තෝරා ගත් සිනමා ශාලාවල තිරගත වන බව උදයකාන්ත පැවසුවේය.


ප්‍රේමය නම් පනහ පනී

ප්‍රේමය නම් සිනමාපටය තිරගත වීම ආරම්භ වී දින පනහ සපිරෙයි. ඒ සඳහා බන්ධනය තිරගත වන ඇතැම් සිනමා ශාලා හි 4.30 දර්ශනය පමණක් වෙන්කොට ඇත. වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ යන දෙසොහොයුරන් අධ්‍යක්ෂණය කළ ප්‍රේමය නම් සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වී තිබේ. ශ්‍යාම් ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා මෙහි ප්‍රධාන චරිතයන් නිරූපණය කරයි. ප්‍රේමය නම් එච්. ඩී. ප්‍රේමසිරිගේ නිෂ්පාදනයකි.

විචාරකයින්ගේ හා රසිකයින්ගේ දැඩි අවධානයට පාත්‍ර වූ ප්‍රේමය නම් පසුගිය සති කිහිපයේ සම්පූර්ණ දර්ශන හතර වාර බැගින් තිරගත වීම ද විශේෂයකි.


‘ආලෝකෝ උදපාදි’ට පසුව ‘අලි කතාව’

දැන් ඊ. ඒ. පි. මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය වන 'ආලෝකේ උදපාදි' චිත්‍රපටයට පසුව තිරගත වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ 'අලි කතාව' ළමා චිත්‍රපටයයි. 'ගඟ අද්දර' රචනා කළ ලෙටීෂියා බොතේජුගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය කර ඇති 'අලි කතාවේ' ප්‍රධාන චරිතය රඟපාන්නේ වසර 2 1/2 ක් පමණ වයසැති අලි පැටවෙකි. මේ අලි පැටවා සමඟ කෞශල්‍යා ප්‍රනාන්දු සහ යොහානි හංසිකා යන ළමා නළු නිළියෝ සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරති. වැඩිහිටි චරිත රඟපාන්නේ රවීන්ද්‍ර රන්දෙණිය, ධනංජය සිරිවර්ධන, තාරුකා වන්නිආරච්චි, ගිරිරාජ් කෞශල්‍ය, රොඩ්නි වර්ණකුල, දුලිකා මාරපන, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, විල්සන් ගුණරත්න, දීපානි සිල්වා ආදින්ය. කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රියගෙනි. කලා අධ්‍යක්ෂණය බිමල් දුෂ්මන්ත, සහාය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රිය, නිෂ්පාදන කළනාකරණය මමෝහාරි හේවාවසම්, වේශ නිරූපණය හර්ෂ මංජුල, වස්ත්‍රාභරණ තිළිණ හෙට්ටිගමගේ, දෘශ්‍ය ප්‍රයෝග චත්‍ර වීරමන්. නර්තන අධ්‍යක්ෂණය චන්දන වික්‍රමසිංහ, සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහ. නන්දා මාලිනී සහ රොඩ්නි වර්ණකුල සමඟ 'අලි කතාවේ' ගීත ගායනා කරන්නේ දෙරණ ලිට්ල් ස්ටාර් රියැලිටි ගායනා තරඟයේ 2012 ජනප්‍රියම ගායන තරුව වූ ඉරෝෂන් මධුශංඛ සහ 2015 ජනප්‍රියම ගායන තරුව වූ විදුෂා නේත්‍රාංජලීය. සිප්වින් චිත්‍රපට වෙනුවෙන් 'අලි කතාව' නිෂ්පාදනය කරන්නේ 'මහරජ ගැමුණු' චිත්‍රපටයෙන් 2015 විශිෂ්ටතම නිෂ්පාදකවරයා ලෙස සරසවි සම්මාන ලත් ගුණපාල රත්නසේකරය.


අනුරාගිනි පිළිබඳ කතෝලික සභාවෙන් නිවේදනයක්

ළඟදීම තිරගතවීමට නියමිතව ඇති චන්ද්‍රන් රත්නම්ගේ අනුරාගිනි (According to Mathew) සිනමාපටයෙහි කතා පුවතෙහි සිටින දේවගැතිතුමා කතෝලික පියතුමකු නෙවන බව අගරදගුරු පදවි ජන සන්නිවේදන කේන්ද්‍රයෙහි අධ්‍යක්ෂ ගරු එඩ්මන්ඩ් තිලකරත්න පියතුමා ලිඛිතව සරසවියට දන්වා තිබේ.

චිත්‍රපටයෙහි පියතුමා විවාහ වූ අයකු බවත් එලෙස විවාහ වන සම්ප්‍රදායට ඇතුළත් වන පියතුමන්ලා රෝමානු කතෝලික සභාවේ නොමැති බවත් රෝමානු කතෝලික සභාවේ පියතුමන්ලා විවාහ නොවන බවත් පියතුමන් වැඩිදුරටත් සඳහන් කොට ඇත.