වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර සඳහා නවතම අංකයක්

ප්‍රතිචාර සඳහා නවතම අංකයක්

සාර්ථක දේවි

සතියේ දිනවල ස්වර්ණවාහිනි නාලිකාවෙන් විකාශය කෙරෙන 'දේවි' උසස් රසවින්දනයක් ප්‍රේක්ෂකයන් වෙත ලබා දේ. දශක ගණනාවකට පෙර නව පරපුර නොදත් සමාජ සංස්කෘතිය ගෙනහැර දැක්වීම අධ්‍යක්ෂවරයා, නළු නිළියන් ඇතුළුව නිර්මාණ ශිල්පීන් ඉටුකර ඇත.

සරත් ලියනගේ

රන්මුතුගල

කඩවත


සදා ආදරණීය මිල්ටන්

පුරා වසරක් විසි හතරක් යොවුන් සිත් මත් කළ සදාතනික පෙම් ගී රාවය මිල්ටන් මල්ලවාරච්චි ගායකයාණන් ය. ඔබ අපගෙන් සමුගෙන ගොස් වසර දහනවයක් ගෙවී ගොසිනි. ඔබගේ ප්‍රේමාන්විත ගී හඬ අදත්, හෙටත්, මතුවටත් සදා අනුස්මරණීය ලෙස අප හදවතේ සනිටුහන් වී ඇත. සදාදරණීය ගායකයාණනි, ඔබ නැවතත් අප අතර ඉපදී දෙසවන් පිනවන්න.

ඉන්දු වසන්ති රාජපක්ෂ

ගල්ලෙන වත්ත

ගිරිහාගම


නිරෝශා තලගල අගෙයි

ඔබ රංගනයෙන් දායක වූ ‘නැට්ටුක්කාරයෝ’ ටෙලි නාට්‍යයේ චරිතයත්, ‘කළු කුරුල්ලා’ ටෙලි නාට්‍යයේ ඒකපාර්ශික ආදරයක් වෙනුවෙන් තමන්ගේ අභිප්‍රායයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා කළ රංගනයත්, බොහොම විශිෂ්ටයි. ඔබගේ නැටුම් විලාසයත් බොහොම සිතු ගන්න සුලුයි. ඔබ යම් චරිතයක් කරද්දි අවස්ථාවට උචිත පරිදි මුහුණින් හැඟීම් ප්‍රකාශ කිරීම නම් බොහොම තාත්විකයි. නිරෝෂා ඔබේ කලා දිවියට රසික අපගේ ආදරණීය සුබාසිරි!

සුසිලා පතිරාජ

පුබුදුගම

උස්වැටකෙයියාව


දීර්ඝායුෂ ලැබේවා!

හුණුවටයේ නටාලියා ගුණවතී ගුණවර්ධන, 50 වැනි සංවත්සරයේ අප ඇසූ ඔබේ කටහඬ එදා කටහඬ මෙන්ම ප්‍රතාපවත් ය. අපි ඔබට සුබ පතමු. දීර්ඝායුෂ ලැබේවා!

රූපිකා පෙරේරා

යසන්ති ප්‍රනාන්දු

කල්දේමුල්ල

රත්මලාන


තිරයට යළි පිවිසෙන්න

සෑම චරිතයක් ම දක්ෂ ලෙස රඟපාමින් අප නෙත් සිත් පිනවූ දුලීකා මාරපන කුමරියේ යළිත් ටෙලි තිරයට පිවිස අපගේ මනස සතුටින් පුරවන්න.

සුනිල් චන්ද්‍රෙස්කර

යාගොඩමුල්ල

කොටුගොඩ


සුබ

පැතුම්!

ප්‍රථම රාජ්‍ය ගුවන්විදුලි සම්මාන උලෙළේ කඳුරට සේවයේ නිවේදක ප්‍රසන්න ජයම්පති විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් දෙකක් ම සම්මානනීය වීම පිළිබඳ අපගේ සුබ පැතුම්!

නිශ්ශංක, සන්ධ්‍යා, අනෝමා ඇතුළු පිරිස


සිංහසීවලී දියණියට

‘නැත ලොවේ අන් රසඳුනා - ආදරේ මෙන් සුවදෙනා’ තේමාව යටතේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ වේදිකා නාට්‍ය යේ නූතන රංගන කණ්ඩායමේ පොතේගුරු චරිතයේ පටන් සියලුම රංගන ශිල්පීන් තම කාර්ය මැනවින් ඉටුකර ඇත. ඒ අතරින් සිංහසීවලී ලෙස රඟන රශිපබා දුව අපුරු රංගනයක් මවයි. ඒ දියණිය ඇතුළු සියලු ම ශිල්පීන්ට සුබ පැතුම්!

එස්. ඒ. ප්‍රේමලතා

රක්ගහතොටුපල

බණ්ඩාරගම


නිසල සඳ ඔබට කනගාටුව

හිරු නාලිකාවෙන් විකාශය වූ ‘නිසල සඳ ඔබ’ ටෙලි නාට්‍යය ඉතාමත් කෙටි කලකින් නිමාවට පත්විණි. එහි අවසානය හොඳයි. ‘නිසල සඳ ඔබ’ කිසිම කම්මැළිකමක් නොමැතිව නැරැඹිය හැකි ටෙලි නාට්‍යය අතරින් එකක් විය. ඒ ටෙලි නාට්‍යය තවත් දීර්ඝ වූවා නම් වඩාත් ම හොඳයි. එහි රඟපෑ සියලු දෙනාට සුබ පැතුම්!

සරත් සේනාධීර

කලඑළිය

ජා - ඇල


‘භවත්‍රා’ නැවත

විකාශයට තුති

කලකට පසු වුවද ස්වර්ණවාහිනි රූපවාහිනි සේවය මඟින් පිට සක්වල ජීවියකු හා මනුෂ්‍ය ලොව සම්බන්ධ කෙරෙන ක්‍රියාවක් පදනම් කරගෙන ‘භවත්‍රා’ ටෙලි නාට්‍යය නැවතත් විකාශය විය. එහි රඟපෑ අසහාය නළු ජෝ අබේවික්‍රම හා මහේන්ද්‍ර පෙරේරා යන ප්‍රවීණ නළුවන් රඟපෑ ඒ ටෙලි නාට්‍යය විකාශය කිරීම ගැන අපගේ සතුට සමඟ ස්තුතිය පිරිනමන්නෙමු.

මැණිකේ විල්වල

තිලකරත්න විල්වල

කෑගල්ල


දැක ගැනීමට

ලැබීම සතුටක්

සරසවියට ලියන ඇසින් නොදුටු නමින් පමණක් දැන සිටි සෑම සොයුරු සොයුරියක ම සරසවිය මොඩ්ල් බෑන්ක් මඟින් දැක ගැනීමට ලැබීම සතුටකි.

සුනිල් බී. වේහැල්ල

ගෝනපොල


නැවත ඉපදෙන්න

විමල් කුමාර ද කොස්තා ඔබ අග්‍රගණ්‍ය කලාකරුවකු වුව ද සාමාන්‍ය ජනතාව වන අප අතර සිටියේ කිසිම අහංකාරකමක්, උඩඟුකමක් නැති සහෝදරයකු මෙන් ය. ඔබේ ඒ ලෙන්ගතු බව සදා අප මතකයේ රැඳී තියේවි. විමල් අයියේ, නැවත අප අතර ම ඉපදෙන්න.

ජගත් චන්ද්‍රසිරි

මීරිගම පාර

පස්යාල


නිරෝගී සුව ලැබේවා!

ප්‍රවීණ නිවේදක ධම්මික පී. රත්නායක මහතාට නිරෝගී සුව ලැබේවා! ඔබේ සුමියුරු හඬ නොමැති වීම අඩුවකි.

නන්දන වීරසිංහ

අසන්තා කුසුම්

පිටුම්පේ

පාදුක්ක


ස්තුතිය පුද කරමි

50, 60 දශකවල අතිශය ජනප්‍රිය වූ ‘වන මෝහිනී’, ‘දුප්පතාගේ දුක’, ‘අහිංසක ප්‍රයෝගය’ ආදී චිත්‍රපට ඩී.වී.ඩී. මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීම පිළිබඳ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩ විතාන මහතාට ස්තුතිවන්ත වෙමි.

මහින්ද

බෙලිගල

කෑගල්ල


ජන හදවතේ සදා

නිබඳව රැදේ

එදත්, අදත් සමාජයට ගැළපෙන අයුරින් දෙබස් සහිත චිත්‍රපට පෙළක් සිනමාවට දායද කළ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා කලාකරුවාණනි, ඔබ ජන හදවතේ සදා නිබඳව මතකයේ රැදේ.

ගාමිණී මහබැලගේ

පිළියන්දල


සන්දර්ශන වේදිකාවට ආලෝකයක්

එළිමහන් ප්‍රසංග වේදිකාව උඩු යටිකුරු කරමින්, සංදර්ශන වේදිකාව මත චතුර කථිකත්වය මනා ලෙස ඉස්මතු කරමින්, පෙළහැර පෑ සමිත් කරුණාරත්න වන ඔබ ඒ වේදිකාවට සුවිශේෂී නිවේදකයෙකි. සංදර්ශන වේදිකාව ඔබට යෝධ ශක්තියකි. ඔබගේ කලා දිවියට නිරතුරුව ම සුබ පතමි.

එච්. ඉන්ද්‍රපාල

සංඝමිත්ත මාවත

මුංහේන


වැඩිහිටියන්ගේ ගී ගයන ළමයි

අද රූපවාහිනි නාලිකාවල ජනප්‍රිය වැඩසටහන් වී ඇත්තේ රියැලිටි වැඩසටහන් ය. කුඩා ළමයින් වුවද ළමා ගී නොගයා ගායනය කරන්නේ වැඩිහිටියන්ගේ ගීතයි. පුරුදු පුහුණු කරන අයට නොතේරීම විශ්මයට කරුණකි.

අතුල රම්‍යසිරි

පානදුර


දෝණිට සුබ පැතුම්

සඳුදා සිට සිතුරාදා දක්වා ම දවස 6.30ට හිරු රූපවාහිනියෙන් විකාශය වන හඬ කැවීම් අංශයේ කසුන් ජයවර්ධන ගේ ඉදිරිපත් කිරීමක් වන ‘දෝණි’ ටෙලි නාට්‍යයේ ඉන්දියානු දෝණියට හඬ ලබාදෙන අපේ නෙතත්මි සෙහන්තා දියණියට සුබ පැතුම්!

දයාරත්න ගනේගොඩ

කැලණිය