වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




හද රිදුම් දෙන මතක

හද රිදුම් දෙන මතක

ජීවිතයේ අපට හමුවන සුන්දර මිනිසුන් හිටි හැටියේ මිය යනවිට අප තුළ කම්පනයක් ඇති වෙයි. පසුගිය සතියේ හිටි හැටියේම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ප්‍රවීණ ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහ මට දුරකතනයෙන් කතා කොට අසුබ ආරංචියක් කීවේය. 'ඇන්ටන් අල්විස් අන්ත්‍රා වෙලා'

මට 'දෙයියනේ' යයි කියවිණ.

ඇන්ටන් අල්විස් යනු පළමුව ප්‍රවීණ පුවත්පත කලාවේදියකි. දෙවනුව ඔහු දක්ෂ චිත්‍රපට තිර නාටක රචකයෙකි. වසර 47 කට පෙර හඳුනාගත් ඇන්ටන් හදිසියේ මියගිය ආරංචිය මට ලැබෙනු විට කිව නොැකි තරම් වේදනාවක් ඇති විය. අපි සමීපව ඇසුරු කළ මිතුරන් වීිමු. සංගීතඥ අභාවප්‍රාප්ත සරත් දසනායකගේ නිවසේ ඇතැම් හවස් වරුවක අප ගත කළ මිහිරි දින ගණන මම අතීතාවර්ජනය කළෙමි. දසනායකගේ තිඹිරිගස්යායේ ෆයිප් පාරේ නිවෙස් පිටුපස විශේෂයෙන් සාදන ලද අසුන්වල සිට කළ ඒ සමාගම ඇන්ටන් අල්විස්, අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, සෝමවීර සේනානායක, උපාලි ධනවලවිතාන (මියගිය), දයා විමලවීර, කුලරත්න ආරියවංශ, සෝමපාල ලීලානන්ද, රංජිත් බෝගොඩ හා මා ද ඇතුළත් විය. මිහිදුම් සිහින, ඡායා, ආත්මා, මධු සිහින, සසර චේතනා, අහිංසා යන චිත්‍රපටල ගීත රචන කළේ ද, තිර නාටකය සකස් කළේ ද මේ ස්ථානයේදීය.

ඇන්ටන් අල්විස් මට මුලින්ම හඳුන්වා දුන්නේ මියගිය ධර්මසිරි ගමගේ (ධර්මසිරි අයියා) විසින් 'ලංකාදීප' කාර්යාලයේදීය.

'මේ ඇන්ටන් අල්විස් . . .'

ඒ කාලයේ ඇන්ටන් ලංකාදීප කර්තෘ මාණ්ඩලිකයෙකි. සිනමාව ගැන ද ලිපි රචනා කළේය. 'පුංචි බබා' චිත්‍රපයට නවක නිළියක් සෙවීමට අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය, ජෝ අබේවික්‍රම, සිසිර සේනාරත්න, සුගතදාස මාරසිංහ සමඟ ගිය අනිත් සගයා ඇන්ටන්ය. 'අකල් වැස්ස' වේදිකා නාට්‍යය නැරඹීමට ගොස් එහි රඟපෑ මාලිනී ෆොන්සේකා 'පුංචි බබා' චිත්‍රපටයට තෝරා ගත් පස් දෙනා අතර ඇන්ටන්ගේ අදහස් ද වැදගත් විය.

පළමු දැකීමෙන් ඇන්ටන් නම් සුන්දර මිනිසා මගේ සිත් ගත්තේය. අපි බොහෝ විට ලංකාදීප කාර්යාලයේදී හඳුනාගෙන, කොටුවේ වයි. ඇම්. බී. ඒ. භෝජනාගාරයට ගොස් බොහෝ වේලා කතා කරමින් සිටියෙමු.

'රන්ජිත්, චන්ද්‍රිකා සිරිවර්ධන හමුවෙලා නැහැ නේද? දක්ෂ ගායිකාවක්. අපි වෙලාවක එයා ගැන ලිපියක් ලියන්න යමුදැයි දිනක් ඇන්ටන් මගෙන් ඇසීය.

1972 වසරේ මම චන්ද්‍රිකා ගැන විශේෂාංගයක් සරසවිය පත්‍රයට ලිව්වෙමි. ඇන්ටන් චන්ද්‍රිකා සමඟ ප්‍රේ්මයෙන් පසුවන බව පසුව මට කීවේය. තවත් දිනක ඔහු මට මෙසේ කීවේය.

'රන්ජිත් දක්ෂ වාදකයෙක් ඉන්නවා හේමපාල කියලා. දක්ෂ බටනළා වාදකයෙක්. හැබෑ දක්ෂ සංගීතඥයෙක්.

වී. හේමපාල පෙරේරා ගැන මම විශේෂාංගයක් ලිව්වෙමි. එය ඔහු ගැන ලියූ මුල්ම ලිපිය ද විය.

'රන්ජිත් අද හවස මොකද කරන්නේ. හොඳ ක්ලැසිකල් මියුසික් ප්‍රසංගයක් තියෙනවා ලයනල් වෙන්ඩ්ට් එකේ'

මට ශාස්ත්‍රීය සංගීතය රස විඳීමට හුරු කළේ ඇන්ටන්ය. එදා සදානන්ද පට්ටිආරච්චි, පී. වී. නන්දසිරි, ශාන්ති ගීතදේව, හේමපාල පෙරේරා, ඩී. ආර්. පීරිස්, ආදීන්ගේ දුර්ලභ ගණයේ ශාස්ත්‍රීය වාදන අසන්න මඟ හෙළි කළේ ඔහුය.

තවත් දිනක ඔහු සන්රයිස් ක්‍රීඩා සමාජයේ අධිපති ජයසුන්දර මහතා ද (ඔහු එවකට නිපදවමින් සිටි 'හිතක පිපුණ මල්' චිත්‍රපටය ගැනත්) එහි සංගීත අධ්‍යක්ෂ ෂෙල්ටන් ප්‍රේමරත්න ද හඳුන්වා දුන්නේය. ෂෙල්ටන් ප්‍රේමරත්න නම් අති දක්ෂ සංගීතඥයා මට හඳුන්වාදීමෙන් පසු ඔහු ගැන විශේෂාංග රැසක් මම ලිව්වෙමි.

තම බිරිඳට අසීමිත ලෙස ආදරය කළ සැමියෙකු තෝරන තරඟයක් ඇති වුවහොත් ලොව පළමුවන දහ දෙනාට ඇන්ටන් ද ඇතුළත් වෙනු නොඅනුමානය. ඒ තරම් ඇන්ටන් චන්ද්‍රිකාට ආදරය කළේය. ඒ තරම් මිතුරන්ට ආදරය කළේය. ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථා අධ්‍යක්ෂවරයකු ලෙස ද රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ ද අධ්‍යක්ෂවරයකුව සිටිය දී ද තරම තිරම නොබලා පුළුවන් හැම උපකාරයක්ම කිරීමට ඔහු සැදී පැහැදී සිටි බව අපි දනිමු.

මා තුළ බලවත් ශෝකයක් ඇත. ඇන්ටන්ගේ අවසාන කටයුතු සිදු කළ දින මට නොවැළැක්විය හැකි හේතුවක් මත එයට සහභාගිවීමට නොහැකි විය. එහෙත් ඇන්ටන් හමු වූ විට අප හා අව්‍යාජව පාන සිනාරැල්ල නම් කිසිදා අමතක නොවේ. ඔබට සුභ රාත්‍රියක් ඇන්ටන්!

මීට දෙසතියක ඉහත ලියූ ලිපියක මගේ මාධ්‍ය ජීවිතය අගය කරමින් මට පිරිනැමූ සම්මාන ගැන කීවෙමි. පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධානය කළ ජනාධිපති සම්මාන උලෙළේදී පුරෝගාමී සම්මානයක් හිමිවීම මගේ ජීවිතයේ සුවිශේෂයක් ලෙස සඳහන් කරමි.

මම චරිත කතා කියවීමට මෙන්ම චරිත කතා ලිවීමට ද අභිරුචියක් දක්වමි. මේ පුරුද්ද මට ඇති කළේ මගේ අම්මාය. පුවත්පත්වල පළ වූ විශේෂ චරිත පිළිබඳ පළවෙන ලිපි අම්මා කපා කළු පාට ඩ්‍රෝවින් පොතක අලවා මට දී තිබුණාය. ඩී. ඇස්. සේනානායක, බණ්ඩාරනායක මෙන්ම ගාන්ධි, ශ්‍රී නේරු, චර්චිල්, ලින්කන්, අනගාරික ධර්මපාල ආදී චරිත මේ අතර විය.

'ඔයාට ඉස්කෝලෙදි වාක්‍ය රචනා ලියන කොට ප්‍රයෝජනවත් වේවි' අම්මා මට කීවාය.

අම්මා මිය ගියේ මට වයස අවුරුදු 14 වෙද්දීය. එහෙත් මම ඒ පොතට අලුත් චරිත කතා එක් කළෙමි. මා පුවත්පත් කලාවේදියකු වූ පසු චරිත කතා ඇතුළත් විශේෂාංග ලිව්වෙමි. මම එහිදී ගුªණදාස ලියනගේ ලියූ චරිත කතාවල ශෛලිය අනුගමනය කළෙමි. ඔහු මගේ නිල නොලත් ගුරුවරයා විය. ගුණදාස ලියනගේ සූරින්ගේ බිරිඳ චන්ද්‍රලතා ලියනගේ මහත්මිය අතින් මට සම්මානයක් ලැබීම මගේ ජීවිතයේ තවත් සුවිශේෂී අවස්ථාවකි. ඒ මීට වසර කිහිපයකට පෙරය. මගේ ප්‍රියතම චරිත කතා ලියන ලේඛකයාගේ බිරිඳ අතින් එය පිරිනැමුවේ මා කිසිදු උපකාරයක් නොකළ සරසවි නිර්මාණ සංසදයේ සභාපති ප්‍රවිණ ලේඛක, තිර නාටක රචක ලීල් ආනන්ද ගජනායක විසිනි.

සරසවිය සම්මාන උලෙළින් මෙන්ම මා 20 වසරක් සංවිධානය කළ සුමති සම්මාන උලෙළින් ද මට සම්මාන පිරිනැමිණ. එම උලෙළේදී පිරිනැමෙන උසස්ම සම්මානය වූ යූ. ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානය ද මට හිමි විය. එය ද මගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවකි. ඒ පිළිබඳව අභාවප්‍රාප්ත ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මිය, එතුමියගේ පුතුන් වූ ජගත් සුමතිපාල හා තිලංග සුමතිපාල මහතුන්ට ද කෘතඥවෙමි. එදා එම සම්මානය මට පිරිනැමූණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතිනි.

මා විසින් සරසවිය පුවත්පතට ලියන ලද යටගිය දවස විශේෂාංගය නතර කිරීමට කාලය ඇවිත් තිබේ. මීට මාස ගණනකට පෙර කිහිප වතාවක්ම එය නතර කිරිමට උත්සාහ කළ ද සරසවිය කතුවරයා එයට ඉඩ නුදුන්නේය. මගේ ජීවිතයේ සිනමා ලේඛන කලාවට ද 50 වසරක් සපිරී ඇත. මා ජීවත් වූ කාලය වැඩිය. ජීවත්වීමට ඇත්තේ ටික කාලයකි. ජීවිතය දෙස නැවත හැරී බලන විට පසුතැවීටම ද කිසි දෙයක් නැත. හැකිතාක් සියලු දේ අත් හැරීමට හැකි තරම් මම උත්සාහ කරමි. ආදරයෙන් වසර ගණනාවක් එකතු කළ පොත්පත් අතහැරීම කළ නොහැකිය. විශ්‍රාම සුවයෙන් මම ඒ පොත් අතගාමින් කියවමින් කාලය ගත කිරීමෙන් අපමණ සතුටක් ලබන්නෙමි. ශ්‍රේෂ්ඨ කතුවරයන් කතුවරියන් තම අත්සන යොදා තිළිණ කළ පොත් නැවත බලන විට ඇතැම් විට ශෝකයක් උපදී. ඇතැම් ලේඛකයන් අද මිය ගොසිනි. ඔවුන්ගේ ඇසුර මතක් කරන විට කඳුළක් නැගේ. මා පොත් කවර නිර්මාණය කළ ඒ ලේඛකයන් ඊට පෙර මගේ වීරයන්ය. ඇතැම් අය සමීපතම මිතුරන්ය. හාපුරා කියා පොත් කවරයක් වයස අවුරුදු 15 දී ඇඳීමට දුන් කරුණාරත්න සපුතන්ත්‍රී අද ජීවතුන් අතර නැත. මහා ලේඛකයන්ගේ ඇසුර ලබා දී වියතුන් හා මැද සිටිමට මඟ පෑදූ කේ. ජයතිලක මහතා අද ජීවතුන් අතර නැත. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ජී. බී. සේනානායක, ඒ. වී. සුරවීර, සුචරිත ගම්ලත්, ඒ. පී. ගුණරත්න, විමල් අභයසුන්දර, හෙන්රි ජයසේන, මොනිකා රුවන් පතිරණ, ගුණසේන ගලප්පත්ති, පියසේන කහඳගම, ඇන්. ටී. කරුණාතිලක, මඩවල ඇස්. රත්නායක අද ජීවතුන් අතර නැත. සුමති ආයතනයට බැඳුණු පසු එහි සිටි හොඳම මිතුරා රේ ඉලංගකෝන් ද අකාලයේ මිය ගියේය. 50 වසරක මාධ්‍ය ජීවිතයේ මගේ ළෙන්ගතු මිතුරන් කිහිප දෙනෙක් ද ජීවිතයෙන් සමුගෙනය. රංජිත් ලාල්, තිස්ස අබේසේකර, අසෝක පීරිස්, ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, දයානන්ද ගුණවර්ධන, සුගතපාල ද සිල්වා, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා, කිංස්ලි දිසානායක, රංජිත් දයානන්ද මේ අතර සුවිශේෂය. මේ අය ඉඳහිට හෝ මතක් වන විට හදවත රිදුම් දෙයි.

අද මගේ ලෝකයේ පුංචි වීරයන් දෙදෙනා මගේ මුනුපුරන් දෙදෙනාය. මේ දෙදෙනා නිවුන්නුය. ඔවුන්ගෙන් තොර ජීවිතයක් මට නැත. මාත් බිරිඳ දමයන්තිත් මුනුපුරන් දෙදනාත් සමඟ ගෙවන ජීවිතය කොතරම් ආස්වාදනීයද ? සුන්දර ද?