වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




මං නෝම්බි කාලෙත් චිත්‍රපට හැදුවා

මං නෝම්බි කාලෙත් චිත්‍රපට හැදුවා

කොට උඩ එක්ස්ප්‍රස් හැදූ - ඒ. ඒ. ජුනයිඩීන්

සාමාන්‍යයෙන් චිත්‍රපටයක් තිරතවන්නට පටන් ගන්නේ පූර්ව ප්‍රචාරයකුත් එක්ක. ඒක සිනමාපටයක තිබෙන සම්ප්‍රදායක්. එහෙම නැතුව ඩෝං ගාලා පසුගිය බ්‍රහස්පතින්දාවේ චිත්‍රපටයක් රිලීස් කළා. ඒකේ නම කොට උඩ එක්ස්ප්‍රස්. සිනමාව ගැන අවධානයෙන් සිටින නිසා අපනම් ඒ ගැන දැනගත්තා. කොට උඩ එක්ස්ප්‍රස් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඒ. ඒ. ජුනයිඩීන්. මේ ඔහුගේ දහ හතර වැනි චිත්‍රපටය. සද්දයක් බද්දයක් නැතුවම තිරගත කළ නිසා අප අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රථමයෙන් ඇහැව්වේ ඒ ගැන.

මේ චිත්‍රපටය මම නිම කරලා තිරගත වෙන්න ලයිනප් කරලා තිබුණා. ඒ පෝලිම දිග වැඩියි. ඔය අතරේ මට ලැබුණා හදිසි අවස්ථාවක්. දෙවතාවක් හිතුවේ නැහැ මං ඒ ලැබූ අවස්ථාවේ තිරගත කළා.

* ප්‍රචාරයකුත් නැතුව?

ඔව්. දැන් තමයි ප්‍රචාරක වැඩ ආරම්භ කළේ.

* ඔබට එය පාඩුවක් නොවේද? මොකද බහුතරයක් දන්නෙවත් නැහැ මෙහෙම චිත්‍රපටයක් තිරගත වෙනවා කියලවත්?

පාඩුවක් තමයි. ඒත් මක් කරන්නද. දිගටම පෝලිමේ තිබ්බා නම් එය තිරගත වෙන්න තිබුණේ දෙදහස් දහ අටේදී. එච්චර කල් බලාගෙන ඉන්නේ නැතුව මේ මොහොතේ කොට උඩ එක්ස්ප්‍රස් තිරගත වෙන එක හොඳයි කියලා හිතුණා.

* සාමාන්‍යයෙන් අපේ රටේ චිත්‍රපටයක් නිර්මාණය කරන්න ලෙහෙසියි. නමුත් තිරගත කරගන්න අමාරුයි?

ඒක ඉස්සර ඉඳලම තිබුණු ප්‍රශ්නයක්නෙ. වර්තමානයේදීත් ඒ ගැටලුව තියෙනවා. එයට මුහුණ දෙන්න ඕන චිත්‍රපට කරන හැමෝම.

* වර්තමානයේ අප සිනමාව තිබෙන තැන ගැන ඔබගේ අදහස කුමක්ද?

අද අපේ සිනමාව ව්‍යාපාරයකුත් නොවෙයි, කලාවකුත් නෙවෙයි. මේ අතරමඟ මොකක්දෝ තැනක සිනමාව හිරවෙලා. මං හිතන විදිහට සිනමා කර්මාන්තය තුළ ව්‍යාපාරික අරමුණු තිබිය යුතුයි. ඒ වගේම කලාව ද අන්තර්ගත වෙන්න ඕනෑ. නැත්නම් ඒක චිත්‍රපටයක් වෙන්නේ නැහැනෙ. නමුත් මේ එකක්වත් නොවන තැනක සිනමාව හිරවෙලා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනෑ. කොච්චර තාක්ෂණය දියුණු වුණත් අප් සිනමාව එහෙම දියුණු වෙලා නැති බවයි පේන්නේ.

* එතකොට චිත්‍රපට තිරගත කෙරෙන ක්‍රමෝපායන් ගැන ඔබට කියන්න තියන්නේ මොනවද?

ඉස්සර තිබුණා සිස්ටම් එකක් මෙන්න මෙහෙම චිත්‍රපට පෙන්වන ශාලාවල තීරණය කරගත්තු මුදලක් තිබුණා. ඒ මුදල එක් දිනක් තුළදී ඉක්මවා සොයන්න බැරි වුණොත් ඒ චිත‍්‍රපටය ශාලාවෙන් ඉවත් කරනවා. ඒක කොයි කාටත් පොදුයි. නමුත් වර්තමානයේදී එහෙම නැහැ. දුවන්නේ නැති චිත්‍රපට සර්කිට්වලට ඕනෑවට ශාලාවල නිකරුණේ තියාගෙන ඉන්නවා. නමුත් අර සිස්ටම් එක තිබුණම කාටත් වාසියි.

* කොට උඩ එක්ස්ප්‍රස් කා වෙනුවෙන් නිර්මාණය වූ චිත්‍රපටයක් ද?

පවුලේ සැමට මේක බලන්න පුළුවන්. පවුලේ කතාවක්. ඒ වගේම මෙමගින් සමාජයට විශාල පණිවුඩයකුත් දෙනවා. කොමඩිත් තියනවා. මං කොහොමත් චිත්‍රපට නිර්මාණය කරන්නේ පවුලේ සැමටනෙ.

* කවුද මෙහි රඟපාන නඵ නිළියන්?

ටෙනිසන් කුරේ, දිල්හානි ඒකනායක, දයාසිරි හෙට්ටිආරච්චි, ආනන්ද අතුකෝරාල, හරිත් වාසල, ගාමිණී මෙන්ඩිස්, නයෝමි තක්ෂිලා ප්‍රධාන වශයෙන් රඟපානවා.

* මා දන්නා පරිදි ඔබේ වෘත්තීය චිත්‍රපට නිර්මාණය කිරීම පමණයි?

ඔව්. අවුරුදු හයක් දවස පත්තරේ වැඩ කළා. ඊට පස්සේ කෙළින්ම වෘත්තීය වශයෙන් මේ කර්මාන්තයට යොමු වුණා.

* ජීවත්වීම සඳහා එය ප්‍රමාණවත්ද?

අනේ ඔව්. මං විශ්වාස කරන කරුණක් තියෙනවා. ඒ දෙයක් ලැබෙන්න තියෙනවා නම් ඒක මට නිතැතින්ම ලැබෙනවා කියන කාරණය. නොලැබෙනවා නම් නොලැබෙනවාමයි. ඒකේ වචන දෙකක් නැහැ. චිත්‍රපට කරලා වාසි අත් වුණා. ඒ වගේම පාඩුත් වුණා. නමුත් මේ කර්මාන්තේ අත හැරියේ නැහැ. හැට හයේ ඉඳලා මේකේ ඉන්නවා.

* මේ ක්ෂේත්‍රය එපා වෙච්ච අවස්ථා නැතිද?

එපා වෙව්ච අවස්ථා නම් නැහැ. නමුත් කනස්සලු වුණු වෙලාවල් ඕනෑ තරම් තියෙනවා. නමුත් චිත්‍රපට කෙරුවාව නම් එපා වෙන්නේ නැහැ.

* ඔබට මතකද ක්ෂේත්‍රය ගැන වැඩියෙන්ම කනස්සලු වුණ අවස්ථාව?

දිනක් මං චිත්‍රපට සංස්ථාවේ යම් කර්යයකට ලියුමක් ගන්න ගියා. මට ඒ ලියුම ගන්න නොසෑහෙන්න රස්තියාදු වෙන්න සිදු වුණා. මට ඒ වෙලාවේ මතක් වුණේ ඒ සංස්ථාව බිහි කරන්න අප උනන්දු වුණ විදිහ. මට එදා හරියට දුක හිතුණා. සතියක් විතර ප්‍රමදා වෙලයි මට ලියුම ලැබුණේ.

* ඔබ මේ වන විට දෙමළ භාෂිත චිත්‍රපට කිහිපයක්ම හදපු කෙනෙක්. ඒ ගැන වැඩි දෙනෙකු දන්නේවත් නැහැ?

මගේ පළමු චිත්‍රපටය වුණෙත් දෙමළ එකක්. ඒකේ නම ටැක්සි ඩ්‍රයිවර්, එක්දාස් නවසිය හැට හයේදියි තිරගත වුණේ. ඊට පසුව දෙමළ චිත්‍රපට විසි පහක් විතර හැදුවා. ඒවා ඔක්කොම තිරගත වුණා. දන්න අය දන්නවා මං ඒ චිත්‍රපට හැදුවා කියලා. මට ඒ ඇති.

* ඔබේ ඊළඟ සිනමාපටය මොන වගේ එකක් වේවිද?

මේ වන විට එහි වැඩ කටයුතු නිමා කරමින් පවතිනවා. එය මේජර් කෙනෙකු පිළිබඳ කියවෙන කතාවක්. තව මාසෙකින් එහි වැඩ අරඹනවා.

* ඔබ තනිව සිනමාව වෙනුවෙන් යමක් කරන්න යන බවක් පේනවා?

ඔව්. මං එදා ඉඳලා එහෙමයි. මං ඔය සංගම්වල නැහැ. මට ඕනෑ මේ සිනමාවට යමක් කරන්න. ඒක මං නොනවත්වා කරනවා. මට නොකා නොබී සිටිය හැකියි. නමුත් චිත්‍රපට හදන්නේ නැතුව ඉන්න බැහැ. මෝම්බි කාලෙත් චිත්‍රපට හදපු කෙනෙක් මං.

* වෙනත් ජාතිකයකු වෙලත් ඔබ සිංහල සිනමාව මහත් වූ ළෙංගතුකමක් දක්වන අයකු වග ඒ කතාවෙන් පැහැදිලියි?

මං සිංහල භාෂාවට ආදරෙයි. සිංහල භාෂාව හරිම මිහිරි භාෂාවක්. ඒ වාගේම මං සිංහල සිනමාවට ආදරෙයි. බලන්නකො මගේ සිනමාපටයක මං ලියපු දෙබස් කොහොමද කියලා. හිතන්න බැහැ ඒවා වෙනත් ජාතියක අයකු ලිව්ව දෙබස් කියලා. මේ වෙලාවෙ මං ඉල්ලීමක් කරන්නත් කැමැතියි. ඒ සිනමාවේ නියැළී සිටින කලාකරුවන් ජාතීන් වශයෙන් වර්ග කරන්න එපා කියන කාරණය. අපි හැමෝම මොන ජාතියේ වුණත් සිනමාවට ආදරෙයි. ඒකනේ මෙතන අද ඉන්නේ.