වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




‘ස්වර ගංගා’ ගීත ප්‍රසංගය ලුම්බිණි රඟහලේ

‘ස්වර ගංගා’ ගීත ප්‍රසංගය ලුම්බිණි රඟහලේ

පුෂ්පා ජයවර්ධනගේ හා ශ්‍රී ලක්මාල්ගේ සුසංයෝගයෙන් ‘ස්වර ගංගා’ ගීත ප්‍රසංගය මේ මස 06 වැනිදා පසුවරු 3.00ට හැව්ලොක් ටවුමේ ලුම්බිණි රඟහලේ පැවැත්වෙයි.

මව හා පුතුගේ එකමුතුවෙන් පැවැත්වෙන මේ ගීත ප්‍රසංගයේදී පුෂ්පා ජයවර්ධන ශාස්ත්‍රීය ගීත, නව නිර්මාණ සරල ගීත, නූර්ති ගී, ජන ගී ආශ්‍රිත ගී ගැයීමට නියමිත ය. ඇගේ පුතු ශ්‍රී ලක්මාල් මේ ප්‍රසංගයේදී වාදනය සපයන අතර ඔහුගේ හඬ ශාස්ත්‍රීය ගසල් ගායනා, තුම්රි ගායනා, හින්දි ගී මඟින් රසවත් වෙයි. මේ ප්‍රසංගයේ තිබෙන අනෙක් විශේෂත්වය වන්නේ පුෂ්පාගේ දියණිය ෂරන්යා සත්සරණී ද තබ්ලා වාදන අංගයකින් ප්‍රසංගයට එක්වීමයි. එමෙන්ම ඔවුන්ගේ සහයට ගායනයෙන් විශාරද රශ්මි ශෂින්ද්‍ර සහ ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී ශිල්පී පාලිත රුද්‍රිගු ද එක්වෙයි.

සංගීතය ආදරය කරන පවුලක් වන ඔවුන් සිය දක්ෂතා එළිදක්වන මේ ප්‍රසංගය 2009 වසරේ ‘හෙළ ලක් දූ පුතුන්’ සංයුක්ත තැටිය එළිදැක්වීමෙන් පසුව කරන දෙවැනි ප්‍රසංගයයි. ඉන්දියාවේ ලක්නව් භාත්ඛණ්ඩේ විද්‍යා පීඨයෙන් සංගීතය පිළිබඳ විශාරද උපාධියක් හදාරා ඇති පුෂ්පා ජයවර්ධන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී, නූර්ති ගී, නාඩගම්, ජන හා විරිඳු ගී ගායනවල නියැළෙමින් සිටින ගායිකාවකි. එපමණක් නොව ඈ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයට අයත් කාර්මික තාක්ෂණ ආයතනයේ පරිපාලන නිලධාරිනියක ද වෙයි. ඇගේ පුතු ශ්‍රී ලක්මාල් පෙරදිත හා අපරදිග ගී ගැයීමට මෙන්ම ඒ භාණ්ඩ වැයීමට හපන්කමක් දක්වන්නෙකි. එමෙන්ම කුඩා කල පටන් ම ළමා ටෙලි නාට්‍යවල තේමා ගීත ගැයීමට දක්ෂයෙකි. ඔහු ‘ජීවිතය ලස්සනයි’ ටෙලි නාට්‍යයට ගැයූ ‘ලස්සනට ඉන්න ඕන’ ගීතය බොහෝදෙනා අතර ජනප්‍රිය වූ ගීතයකි. ඔහු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා ගී ගායකයකු මෙන්ම සරල ගී ගායකයකු ද වෙයි.

මවගේ හා පුතුගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ ප්‍රසංගයට රසවින්දනාත්මක හෝරා කිහිපයක් ගත කිරීමට පැමිණෙන්නැයි ඔවුන් ඔබට විවෘතව ආරාධනා කරයි.