වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




සුමීගෙන් අහන්න

කපිරිඤ්ඤා තාලයට සේකර ලියූ ගීතය කුමක්ද?

හිනිදුම නිලන්ති ගමගේ
ප්‍රශ්නය - මහා සිනමාකරු, අධ්‍යක්ෂ, නළු ඕසන් වේල්ස් ලංකාවට පැමිණි තිබෙනවාද?
පිළිතුර -
ඔව්. 1959 ඔහු මෙරටට ආවා. ඒ අවස්ථාවේ ඔහු නැවති සිටියේ ගල්කිස්ස මහ හෝටලයේයි.

දෙල්ගොඩ මිල්ටන් මද්දුමගේ
ප්‍රශ්නය - කපිරිඤ්ඤා තාලයට මහගම සේකර ගීතයක් ලියා තිබේද?
පිළිතුර -
අමිතා දළුගම සහ ළමා පිරිස ගයන 'ඔන්න බබෝ ඇතින්නියා' ගීතය දක්නට ලැබෙන්නේ කපිරිඤ්ඤා නාදරටා.

හුංගමුගොඩ පියදාස අලකෝලංග
ප්‍රශ්නය - 'අසෝකා' චිත්‍රපටයේ සංගීතය පී. එල්. ඒ. සෝමපාලද? නැතිනම් දකුණු ඉන්දීය සංගීතඥ කේ. පී. මහාදේවන්ද?
පිළිතුර -
චිත්‍රපටයේ සංගීතය සෝමපාලගේ. ඒත් ගී තැටි සඳහා කේ. පී. මහාදේවන් සංගීතය සම්පාදනය කළා.

නාවලපිටියේ සරත්චන්ද්‍ර ලාල්
ප්‍රශ්නය - රත්න ශ්‍රී විජේසිංහ චිත්‍රපටවලට ගීත ලියා තිබෙනවාද?
පිළිතුර -
ඔව්. 'කිණිහිරියා මල්', 'පස දිය ගිනි සුළං පහස', 'රන් දම්වැල්' වැනි චිත්‍රපට කීපයකට ගීත ලියා තිබෙනවා.

නිවිතිගල අනුලා විජේසුන්දර
ප්‍රශ්නය - 'රෝජා' චිත්‍රපටයේ එන 'චින්න චින ආසෙයි' ගීතය ලියා ඇත්තේ කවුද?
පිළිතුර -
වෛරමුත්තු නැමැති ප්‍රකට ගීත රචකයා.

බදුල්ලේ බොනිපස් ප්‍රනාන්දු
ප්‍රශ්නය - ලෙස්ටර් ජේම්ස් පීරිස් එංගලන්තයේ සිටියදී නිර්මාණය කළ 'අ සිංහලිස් ඩාන්ස්' නමැති කෙටි චිත්‍රපටයේ නැටුම් ඉදිරිපත් කරන තරුණයා කවුද?
පිළිතුර -
ඔහු අනුර පලිපාන. උඩරට නැටුම් ශිල්පියෙක්. 1949 ලංකාවට ආ ඉන්දීය නැටුම් ශිල්පී රාම් ගෝපාල් අනුරව එංගලන්තටය රැගෙන ගියා.

ඉද්දමල්ගොඩ අසේල ගුරුසිංහ
ප්‍රශ්නය - මාලිනි බුලත්සිංහල ගයන 'තාර පාර දිග පාට පාට කඩ සල්පිල් හෙවනැල්ලේ' ගීතයේ පදමාලාව කාගෙද?
පිළිතුර -
ප්‍රණීත් අභයසුන්දරගේ

කඩවත පහළ බියන්වල භද්‍රා බියංකා මධු
ප්‍රශ්නය - ජෝතිපාල හා ඇන්ජලින් ගයන 'ජීවිතේ වසන්තේ උදාවුණාය මල් පිපී' ගීතය හින්දි තනුවක්ද?
පිළිතුර -
ඔව්. එය 'දිල් දෙක දේකෝ' චිත්‍රපටයට රාෆි හා ආශා බෝස්ලේ ගැයූ ගීතයක තනුවක්. සංගීතය ඌෂා ඛන්නා.

මිටියාගෙඩ මරදානවත්තේ එච්. එල්. තිලකසිරි ද සිල්වා
ප්‍රශ්නය - 'සංදේශය' චිත්‍රපටයේ 'කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා' ගීතය ලීවේ කවුද?
පිළිතුර -
මතක තියාගන්න 'සංදේශයේ' සියලු ගී ලීවේ අරිසෙන් අහුබුදු.

පාදුක්ක බටවල ආරියදාස පිංදෙණිය
ප්‍රශ්නය - හින්දි චිත්‍රපට සංගීතඥ නෞෂාඩ් අලි සංගීතවත් කළ මුල්ම චිත්‍රපටය කුමක්ද?
පිළිතුර -
ප්‍රෙ'ම් නගර් (1940)

මාතර සුදත් නිශාන්ත
ප්‍රශ්නය - විජය කුමාරතුංග, සේන සමරසිංහගේ කිසිම චිත්‍රපටයක රඟපා නැහැ නේද?
පිළිතුර -
නැහැ.

ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න
‘සුමිගෙන් අහන්න’
‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10.