වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




අඩු වියදමින් හොඳ චිත්‍රපටයක්

අඩු වියදමින් හොඳ චිත්‍රපටයක්

ශබානා ගේ චරිතය සේම එය නිරූපණය කරන 'තාප්සී පානූ' සිය ජීවිතයේ සිත්ගනා සුලු ගමනක් ආ අයෙක්. නවදිල්ලියේ තාක්ෂණික විද්‍යාලයකින් සිය පරිගණක විද්‍යා ඉංජිනේරු උපාධිය සමත්වූ තාප්සී මෘදුකාංග ඉංජිනේරුවරියක වශයෙන් සේවය කර පසුව නිරූපණ ශිල්පිණියක ලෙසින් නිරූපණ ක්ෂේත්‍රෙයට එක් වූවාය. දකුණු ඉන්දියානු චිත්‍රපටයන්හි (තෙළිගු සහ දෙමළ) රංගනයේ යෙදෙමින් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ තාප්සී කෙටි කලෙකින් ක්ෂේත්‍රයේ ඉහළට පැමිණීමට සමත් විය.

ත්‍රස්ත විරෝධී රහස් ඔත්තු ඒකකයක සාමාජිකයකු වන 'අජේ සිං රාජ්පුත්' (ආක්ෂේ කුමාර්) සහ ඔහුගේ කණ්ඩායම ප්‍රබල ත්‍රස්ත සංවිධානයකට එරෙහිව දියත් කළ මෙහෙයුමක් ගැන කියවෙන කතාවක් රැගත්, 'බේබි' (2015) සාර්ථක ආදායම් ලැබූ චිත්‍රපටයක්. අජේ ගේ කණ්ඩායමේ සිටින එක් චරිතයක් වන්නේ 'ශබානා ඛාන්' නම් තරුණ නිලධාරිනිය යි. 'ශිවම් නෙයාර්' ගේ අධ්‍යක්ෂණයෙන් පසුගිය මාර්තු 31 වනදා තිරගත වීම ඇරඹි 'නාම් ශබානා' ඇයගේ කතාව රැගත් චිත්‍රපටයකි. ශබානා මෙම ඒකකයට සම්බන්ධ වීමට ප්‍රථම ගතකල ජීවිතයත්, සිය පෙම්වතා මරා දැමූ පුද්ගලයින්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් ඒකකයට සම්බන්ධ වීමත් ඉන් පසුව ඇය මුහුණ දෙන වික්‍රමාන්විත ජීවිතයත් 'නාම් ශබානා' හි ගෙනහැර දැක්වේ.

ශබානා ගේ චරිතය සේම එය නිරූපණය කරන 'තාප්සී පානූ' සිය ජීවිතයේ සිත්ගනා සුලු ගමනක් ආ අයෙක්. නවදිල්ලියේ තාක්ෂණික විද්‍යාලයකින් සිය පරිගණක විද්‍යා ඉංජිනේරු උපාධිය සමත්වූ තාප්සී මෘදුකාංග ඉංජිනේරුවරියක වශයෙන් සේවය කර පසුව නිරූපණ ශිල්පිණියක ලෙසින් නිරූපණ ක්ෂේත්‍රෙයට එක් වූවාය. දකුණු ඉන්දියානු චිත්‍රපටයන්හි (තෙළිගු සහ දෙමළ) රංගනයේ යෙදෙමින් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ තාප්සී කෙටි කලෙකින් ක්ෂේත්‍රයේ ඉහළට පැමිණීමට සමත් විය. ඇයගේ පළමු චිත්‍රපටය, 'Jhummandi Naadam' නම් තෙළිගු චිත්‍රපටය (2010) වූ අතර, 2013 වසර වන විට ඇය 'Chashme Baddoor' නම් චිත්‍රපටයෙන් බොලිවුඩයට අවතීර්ණ වූවා පමණක් නොව, ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී 'හොඳම නැගී එන නිළිය' ට හිමි සම්මානය සඳහාත් නිර්දේශ වූවා. 2013 වසරේ තිරගත වුණු Arrambam (දෙමළ) චිත්‍රපටයත් 2016 වසරේ තිරගත වුණු Pink චිත්‍රපටයත් තාප්සී ගේ සිනමා ජීවිතයේ විශේෂ සන්ධිස්ඨාන ලෙස සටහන් කළ හැකියි.

තාප්සී ට අමතරව මෙම චිත්‍රපටයේ ආක්ෂේ කුමාර්, දකුණු ඉන්දීය සිනමා නළු ප්‍රීතිවිරාජ් සුකුමාරන්, මනෝජ් භාජ්පායී සහ අනුපම් ඛේර් ඇතුළු පිරිසක් රංගනයේ යෙදෙනවා. නීරජ් පාන්ඩේ සහ ශිතාල් භාතියා ගේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටයේ නිෂ්පාදන ආයතන වන්නේ 'ප්ලෑන් සී ෆිල්ම්ස්' සහ 'කේප් ඔෆ් ගුඩ් ෆිල්ම්ස්'. මෙම චිත්‍රපටය එහි ප්‍රධාන චිත්‍රපටය වන 'බේබි' ට සාපේක්ෂව ඉතා කෙටි පිරිවැයකින් නිමවූවක් බවත් සඳහන් කළ යුතුයි. බේබි චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට ඉන්දියානු රුපියල් කෝටි 58 ක් පමණ වැය වුවත්, 'නාම් ශබානා' නිම කර ඇත්තේ ඉන්දියානු රුපියල් කෝටි 15 ක පිරිවැයකින්.

නාම් ශබානා ඉන්දීය සිනමා විචාරකයින්ගෙන් සෘණ ප්‍රතිචාර ලැබූ චිත්‍රපටයක් බවට පත් වී හමාරය. චිත්‍රපටයේ ඇතැම් සිද්ධීන් හැරුණු විට නව්‍ය යමක් නොමැති බවත් අනවශ්‍ය ලෙස දිගු කළ එකක් බවත් 'ඉන්දියන් එක්ස්ප්‍රස්' සඟරාවේ සිනමා විචාරක ශුබ්රාශ ගුප්තා පවසනවා.