වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




කළුවරේ ජරමරේ

කළුවරේ ජරමරේ

පුවත්පත් ලෝකයේ අපට සිටින ජ්‍යෙෂ්ඨ ලොකු අයියා කෙනෙක් තමයි අනුර බණ්ඩාර රාජගුරු කියලා කියන්නේ. ඔහු හිටපු සරසවිය කර්තෘවරයා. එහෙත් ප්‍රේක්ෂක ඔබට නම් රාජගුරුව වඩාත් මතක දක්ෂ රංගන ශිල්පියකු හැටියට. ඒ දක්ෂකමට සම්මාන පවා හිමිවෙලා තියෙනවා. මේ ළඟදී දවසක හැන්දෑවක රාජගුරු අයියා තම මිත්‍ර සමාගමත් කැටුව යම් තැනකට ගොඩ වැදුණා. මිත්‍ර සමාගමත් එක්ක යන තැන ගැන දන්න අය නම් දන්නවා. ඒත් රාජගුරු අයියාගේ යහපත තකා අප ඒ ගැන කියන්නේ නැහැ. ටික වේලාවකට පසුව රාජගුරු අයියාට දුරකතන ඇමතුමක් එනවා. ඒ ඔහුගේ ප්‍රිය බිරියගෙන්. (කොළඹ ආනන්දයේ විවාද කණ්ඩායමේ සිටි රාජගුරු අයියා ඒ අවදියේ අනුලා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව සිටි ප්‍රියානි රොද්‍රිගෝව දැලේ දාගත්තු එකත් රස කතාවක්.)

රාජගුරු - ඔව් කියන්න.

බිරිය - මේ ගෙදර කරන්ට් නැහැ. කළුවරයි හැම තැනම .

රාජගුරු - අහල පහළ ගෙවල්වල ලයිට් තියෙනවද?

බිරිය - ඔව්.

රාජගුරු - එහෙනම් අපේ ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙලා ඒක බලන්න.

බිරිය - අපෝ බැහැ. ගෙදරම කළුවරයි. මට බැහැ කළුවරේ ඇතුළට යන්න. අනික ඔය ට්‍රිප් ස්විච් එක තියෙන තැන මං දන්නෙත් නැහැ. ඔයා ගෙදර එන්න.

රාජා අයියට එතනින් එහා මුකුත් කියන්න ලැබුණේ නැහැ. ඔහු කෙළින්ම ගෙදර ගියාලු. රාජ අයියා කොතරම් බිරියට ආදරය කරන ස්වාමි පුරුෂයෙක් ද කියලා මිත්‍ර සමාගමේ අය එදාලු දැනගත්තේ.