වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




ඔහොම බිව්වොත් නම් මොනවා හරි වේවි

ඔහොම බිව්වොත් නම් මොනවා හරි වේවි

මෙතෙක් කතාව

සන්දේශ් හා මිහිරි යනු විවාහ ගිවිස ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පෙම්වතුන් යුවලකි. මිහිරිට 'ඩවුන් සින්ඩ්‍රොම්' නැමැති බුද්ධි හීන ආබාධයෙන් පෙලෙන සොහොයුරෙකු සිටී. මෙම හේතුව මත සන්දේශ්ගේ දෙමව්පියෝ ඔවුන්ගේ විවාහයට කැමැත්තක් නොදක්වති.

සන්දේශ් පසුව උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට යයි. එහිදී ඔහු නතාශා නැමැති රූමත් ලාංකික යුවතියක් හඳුනාගෙන ඇය හා ආදරෙන් බැඳේ. දිනක් මිතුරු සාදයකදී ගැටුමකට මැදිවන සන්දේශ් සඳළුතලයකින් පහළට වැටෙයි. එහිදී කොඳු ඇට පෙළෙට දරුණු ලෙස හානි සිදු වී ඔහුගේ ජීවිතය රෝද පුටුවට සීමා වේ. මෙම හේතුව නිසා නතාශාගේ දෙමාපියෝ ඔවුන්ගේ විවාහයට විරුද්ධ වෙති. පසුව සන්දේශ් නතාශාගෙන් වෙන් වී යළිත් ලංකාවට පැමිණේ.

දිනක් සන්දේශ්ගේ උපන් දින සාදයකදී ඔහුට අහම්බෙන් මිහිරි මුණ ගැසේ. එහිදී මිහිරි තම පෙම්වතා වන ගයන්ත සන්දේශ්ට හඳුන්වා දෙයි.

(අද එතැන් සිට)

අලුත් මිතුරන් කිහිපදෙනෙකු හඳුනා ගැනීමට ලැබීමත් ගෙවි ගිය විනෝදබර කාලයක් ගැන ගයන්ත තුළ තිබුණෙත් තෘප්තිමත් හැඟීමකි. ඔහු හා මිහිරි සන්දේශ්ගෙන් සමුගෙන නිවසින් පිට වන විට මධ්‍යම රාත්‍රියටත් ආසන්න වී තිබුණි. ගයන්තගේ ඩබල් කැබ් රිය ගමන් කරමින් තිබුණේ මිහිරිගේ නිවස දෙසටය. රාත්‍රී කාලය නිසා මාවත තරමක පාළු ස්වභාවයක් ඉසිලීය.

"සන්දේශ්ට නං වේච්ච දේ හරි පව්. අසනීපයක් හැදුණම සල්ලි, බලය, සතුට ඒ ඔක්කොම යටයි. සන්දේශ් අද වෙන්නැති සෑහෙන කාලෙකට පස්සෙ ඔහොම හරි ටිකක් සන්තෝසෙන් හිටියෙ"

"ආමි එකේ ඉන්න ඩිසේබල් අයටත් ට්‍රීට් කරන ස්පෙෂලිස්ට් කෙනෙක් මං දන්නවා. ඕන නං අපි එයාවත් කන්ටෑක් කරල බලමු"

ගයන්ත එසේ කීවේ සන්දේශ් කෙරෙහි අවංකව සිතේ උපන් අනුකම්පාවත් සමඟමය.

"ඔව් අනේ, එයාට අපිට එහෙම උදව්වක්වත් කරන්න පුළුවන් නං ලොකු දෙයක්. සන්දේශ් හරිම අසරණ වෙලා ඉන්නෙ"

"හ්ම්"

ගයන්ත මෝටර් රථය පැද වූයේ කලෙකින් හමු නොවූ දොස්තර මිතුරා සම්බන්ධ කර ගන්නේ කෙසේ දැයි සිතමිනි. ඒ අතර මිහිරි ගයන්තගේ මුහුණ දෙස හොඳීන් බැලුවාය.

"මට හිතෙන්නෙ මෙයාවත් ස්පෙෂලිස්ට් කෙනෙකුට පෙන්නුවොත් හොඳයි වගෙ"

ගයන්ත මිහිරි දෙස බැලුවේ තරමක කුතුහලයෙන් යුතුව ය.

"ඇයි, මට මොකද වෙලා තියෙන්නෙ?"

"ඔහොම බිව්වොත් නං මොනවහරි වෙයි තමයි"

ගයන්තගේ මුවට පළමුව නැගුණේ සිනහවකි.

"මං අද එච්චර බිව්වද?"

"මොකද නැත්තෙ. ඔය ඇස් දෙකත් රතු වෙලා"

"ආ......... ඒ ඇස්දෙක රතුවෙලා තියෙන්නෙ ඔයාගෙ යාළුවට වෙච්ච දේ අහල දුකට"

"ඔව්...... ඔව්"

"අනිත් එක දැම්ම ඉඳලා බොන්න පුරුදු වෙන්නත් එපැයි"

"ඒ මොකටද?"

"ඔයාව බැන්දට පස්සෙ පවුලෙ ප්‍රශ්න ආවම.... බොන්න"

ගයන්තගෙ විහිළු කතා සමහරවිට මිහිරිගේ සිත බියටත් පත් කරයි. එත් ඔහු ගැන අහිතක් තවමත් ඇගේ සිතට ඇතුළු වී නැත. ඇය ගයන්තගේ කතාවට පිළිතුරු දුන්නේ සිනහවකිනි.

එහෙත් ඇය ඊළඟට රියේ වින්ඩ්ස්ක්‍රීනය තුළින් දුටු දෙයින් මඳක් තැති ගත්තාය.

"ආ..... ඔන්න පොලීසියෙන්. හොඳ වැඩේ. මං ඔයාට කිව්වත් එක්ක. දැන් ඉතිං බේර ගන්න. මේ වෙලාවට බීලා කාර් එලවන කට්ටිය තමයි අල්ලන්නෙ"

මාවත ඉදිරියෙ සිටියේ ට්‍රැෆික් පොලිස් නිලධාරීන් දෙදෙනෙකි. ඔවුන් අසල මාවත පසෙක ජීප් රියක් ද විය. එක් නිලධාරියෙකු අත ඉදිරියට යොමු කරන අයුරු රියේ ඉදිරිපස ආලෝකයෙන් පැහැදිලිව පෙනිණ.

"ඔයා බය නැතුව ඉන්නකො"

ගයන්ත තම රිය පොලිස් නිලධාරියා ඉදිරියේ නැවැත්වූයේය. ඔහු ඊළඟට රියේ වීදුරු කවුළුව පහතට දැමුවේය. ඔවුන් සමීපයට පැමිණි පොලිස් නිලධාරියා හිස පහත් කොට දෙදෙනා දෙසත් රිය තුළත් විමසිල්ලෙන් බැලුවේය.

"ඇයි රළහාමි?"

ගයන්ත ඇසුවේ මඳ සිනා රැඳී මුවිනි.

"කොහාටද මහත්තයෙල යන්නෙ"

"යන දිහා නෙවිනෙ. රාළහාමිට දැන ගන්න ඕන මං බීලද නැද්ද කියලනෙ"

ගයන්තගෙ පිස්සු කතා මිහිරි තුළ ඇති කළේ පැහැදීමක් නෙවේ. පොලිස් නිලධාරියා සැහැල්ලුවෙන් සිනාසෙන අයුරු ඇයට පෙනිණ.

"ඒක නං දැනගෙන තියෙන්නෙ. ලයිසන් එකත් අරගෙන පොඩ්ඩක් එළියට බහිමුද?"

මිහිරිගේ සිතට දැනුණේ තරමක බියකි. අනවශ්‍ය කරදරයක පැටලෙනු ඇතැයි ඇයට සිතිණි. ගයන්ත සමහර වේලාවට කරන විහිළු පමණ ඉක්මවා යයි.

"අපි මේ නෝනගෙ යාළුවෙක්ගෙ පාටියකට ගියේ. වැඩිය බිව්වේ නෑ රාළහාමි. දෙකයි දාගත්තෙ"

ගයන්ත තුළ කිසිදු කලබලයක් නොපෙනෙයි. ඔහු කලිසම් සාක්කුවේ ඇති පසුම්බිය ගෙන එහි තිබු ගුවන් හමුදා හැඳුනුම්පත පොලිස් නිලධාරියා වෙත දිගු කළේය. එය අතට ගත් පොලිස් නිලධාරියා හැඳුනුම්පත දෙසත් ගයන්තගේ මුහුණ දෙසත් විමසිල්ලෙන් බැලුවේය.

"මහත්යා ප්ලේන් එලවන්නෙත් මෙහෙම දෙකක් දාගෙන නං, ඒකෙ යන අයට දෙයියන්ගෙම පිහිටයි"

"කමක් නෑ. ගයන්තගේ විහිළුවල සීමාවක් ඇත්තේම නැත. මිහිරි පොලිස් නිලධාරියා දෙස බැලුවේ බිය රැඳී මුහුණිනි. සිනා රැඳී මුවින් යුතුව රාජකාරී හැඳුනුම්පත අතට ගත් ගයන්ත රිය ඉදිරියට අද්දන්නට පටන් ගත්තේය. පොලිස් නිලධාරියා තරමක විශ්මයෙන් තමන් දෙස බලා සිටින අයුරු මිහිරි ඇස් කොනින් දුටුවාය.

"ගයන්ත, ඔයා නං මාරයි." මිහිරිගේ කටහඬෙහි තිබුණේ නොරිස්සිල්ලකි.

"රසකර ගී ගයන වෙලේ......."

පෙර ඇසූ ගීතයක් යළිත් ගයන්තගේ මුවින් නික්මෙන්නට විය.
"ගයන්ත"
ඔහුගේ ගීත ගායනය මඳකට නතර විය
"ඇයි?"
"ඔයාගෙ මේ හැටිද, පිස්සුද?"