වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 29
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 29

මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාව

ළමා හා යොවුන් නාට්‍යකරණයේ විශිෂ්ටත්වය

සෝමලතා සුබසිංහ

සෝමලතා සුබසිංහ අද්විතීය චරිතාංග නිරූපණ ශිල්පිනියකි. නාට්‍ය නිෂ්පාදකවරියකි. නාට්‍ය ආයතන අධ්‍යක්ෂවරියකි.

සෝමලතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දිය හැකිය. වඩාත් පෘථුල ලෙස කිවහොත් ඇය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ දක්ෂ ගෝලයෙකි. ඒ අනුව ඇය පේරාදෙණියෙන් බිහි වූ දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති, චන්ද්‍රසේන දසනායක, නාමෙල් වීරමුනි නාට්‍ය පරපුරේ සමකාලීනයෙක් වන්නීය.

සෝමලතා වේදිකා නාට්‍ය කලාවට අවතීර්ණ වූයේ ද සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවල රංගනයෙනි. 'රත්තරන්', 'එලොව ගිහින් මෙලොව ආවා' යන නාට්‍ය දෙකෙනි. 'රත්තරන්' නාට්‍යයේ නර්තන වින්‍යාශයට අවශ්‍ය වූ නොංචි කෝලම ඇය උගත්තේ අම්පේ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේගෙනි.

'මූදුපුත්තු', 'චෙරි උයන', 'ලියතඹරා', බෙකට්', 'හිරු නැති ලොව', 'වෙස් මුහුණු', 'නැට්ටුක්කාරි', 'බර්නාඩා සිපිරි ගෙය' සෝමලතා පසුව රඟපෑ නාට්‍ය කීපයකි.

'මුහුදු පුත්තු' නිපද වූ ගුණසේන ගලප්පත්ති ශාස්ත්‍රාලයීය වශයෙන්ම ස්ටැනිස්ලවුස්කිගේ රූපණ විධි ක්‍රමය හැදෑරුවෙකි. ඒ රංග සිද්ධාන්තය තමාගේ නාට්‍යවල රඟපෑ බොහෝ නළු නිළියන්ට ද ඔහු ලබා දුන්නේය. 'මුහුදු පුත්තු' හී රඟපෑ සිරිල් වික්‍රමගේට මෙන්ම සෝමලතාට ද මේ රංග ක්‍රමය අනුගමනය කරන්ට අවකාශ ලැබුණේ ඒ ඔස්සේය.

සෝමලතා වඩාත් ප්‍රකට ළමා හා යොවුන් නාට්‍ය නිෂ්පාදකවරියක ලෙසිනි. පාසල් කීපයකදීම ගුරු වෘත්තියේ යෙදුණු ඇය ඒ ඒ පාසල්වලදී ළමා නාට්‍ය ගණනාවක් ලියා නිෂ්පාදනය කළාය. ඒ අතරින් ද ඇය වඩාත් වැදගත් මෙහෙයක් කළේ බම්බලපිටිය ශාන්ත පාවුළු බාලිකා විදුහලේ සේවය කරද්දීය. ඒ හරහා වේදිකාවට මෙන්ම සිනමාවට ද බිහි වූ විශිෂ්ට රංගවේදිනියන් සංඛ්‍යාව ඉමහත්ය. 'වලස් පවුල', 'හිම කුමරිය', 'ලොවින් එකෙක්', 'ගමරාළ දිව්‍ය ලෝකේ ගිය හැටි', පුංචි අපට දැන් තේරෙයි', 'තොප්පි වෙළෙන්දා' වැනි ළමා නාට්‍ය ඇයගේ ළමා නාට්‍ය අතර වෙයි. 'ලොවින් එකෙක්' ශ්‍රව්‍යාබාධිතයන් සමඟ එක්ව නිපද වූ නාට්‍යයකි. සාර්ථක ළමා නාට්‍යයක් නිපදවන්ට නම් නාට්‍යකරුවාට ළමා මනස පිළිබඳ මනෝ විද්‍යාත්මක දැනුමක් ද අවශ්‍යය. සෝමලතා ළමා මනස පිළිබඳ කෘතහස්ත විශේෂඥවරියක නොවූව ද ගුරුවරියක ලෙස ලද දීර්ඝකාලීන අත්දැකීම් ඔස්සේ ඇය ළමා මනස අන්තර්ග්‍රහණය කරගන්ට සමත් වූ ආකාරය පෙනේ.

ළමා නාට්‍ය නිෂ්පාදනය වන්නේ බොහෝ විට පාසල් සන්දර්භයක් තුළය. අද එය ප්‍රබල අධ්‍යාපන මාධ්‍යයක් ලෙස භාවිතා වෙයි. අප රටේ මුල්ම ළමා නාට්‍යය කාගේ නිපදවීමක් වූයේ යැයි නිශ්චිතව කිව හැකි නොවූවත් හැටේ දශකයේදී හොරණ විද්‍යාරත්නය පමුබිම් කරගෙන නාට්‍ය තැනු චන්ද්‍රසේන දසනායක එහිලා කිසියම් පුරෝගාමිත්වයක් දරන්නේ යැයි කිව හැකිය. 'සත්තුන්ගේ පුංචි ගෙදර', 'ටිකිරි මැණිකේ' වැනි නාට්‍ය ඔහුගේ නිර්මාණ අතර වෙයි.

කැනඩාවේ ප්‍රවිණ අධ්‍යාපන නාට්‍යවේදීයකු වූ මහාචාර්ය ඩේවිඩ් කෙම්ප් වරක් ලංකාවට පැමිණ නාට්‍ය කලා ගුරුවරුන් උදෙසා වැඩ මුළුවක් සංවිධානය කළේය. එයට සහභාගි වු පළමු කණ්ඩායම අතර සෝමලතා සුබසිංහ ද වූවාය. චන්ද්‍රසේන දසනායක, දයා අල්විස්, ලයනල් රන්වල, සුනේත්‍රා සරච්චන්ද්‍ර, ගාමිණී සමරකෝන් ද මෙයට සහභාගි වූ සෙසු අය අතර වූහ.

ළමා නාට්‍යකරණයේදී බෙහෙවින්ම ඉවහල් වන්නේ ජනකතා, ජනශ්‍රැති, සුරංගනා කතා යනාදියයි. ඇතැම් විට ඒවාට නව අර්ථකථන දීමක් ද සිදු කෙරේ. ඒ ළමා මනසට උචිත පරිදිය. නොඑසේ නම් ළමයින් තුළ නව දැනුමක් ආකල්පයක් ඇති කරනු වස්ය.

යොවුන් නාට්‍ය සංකල්පය ළමා නාට්‍යවලට වඩා අලුත් විෂයයකි. එම සංකල්පයේ නිර්මාතෘවරයා පීටර් වර්ෂන්ය.

සෝමලතා 1981 දී තම නිවෙසම කේන්ද්‍ර කරගෙන ළමා හා යොවුන් පදනම නමින් නව සංවිධානයක් පිහිටුවා ගත්තාය. ඇගේ පසුකාලීන නාට්‍ය බිහිවූයේ ඒ ඔස්සේය.

'විකෘති' (1982) ඒ යටතේ නිෂ්පාදිත යොවුන් නාට්‍යයකි.

1977 දී අපේ රටේ ආර්ථිකය විවෘතවීමත් සමඟම අධ්‍යාපන ක්ෂේ්ත්‍රයේ ඇති වූ දැවැන්ත කඩා වැටිමත් දෙමව්පියන්ගේ ගතානුගතික ආකල්ප නිසාත් සිසු දරුවන් මුහුණ දෙන මානසික පීඩනය මෙම නාට්‍යයෙන් ඉදිරිපත් කෙරේ. වසර 20 කට ආසන්න කාලයක් උපාධිධාරී ගුරුවරියක ලෙස විශ්ව විද්‍යාල ප්‍රවේශ පන්තිවල ශිෂ්‍යයන්ට සිංහල, ඉතිහාසය, අර්ථශාස්ත්‍රය වැනි විෂයයන් උගන්වමින් සිටියදී සෝමලතා ලද අත්දැකීම් සම්භාරය මෙම නාට්‍යය රචනා කරන්ට ඉවහල්ව ඇත.

විකෘති නාට්‍යයේ පෙළ මුද්‍රිත කෘතියට පෙරවදනක් ලියූ සෝමලතා මෙසේ කියා ඇත.

'විකෘති' නාට්‍ය පිටපත මා දහනව වසරක් පුරා 10, 11 සහ 12 ශ්‍රේණි සඳහා අර්ථ ශාස්ත්‍රය හා සිංහල සාහිත්‍යය ඉගැන්විමේදී ලත් අත්දැකිම් ඇසුරෙන් බිහිවූවකි. ඔවුහු මා සමඟ බොහෝ විට පැවසූ ප්‍රශ්න හා අත්දැකීම් ඇසුරෙන් ඇති වූ කම්පනය මෙමඟින් විවරණය වේ යැයි සිතේ. මෙමඟින් විවරණය වන්නේ වැඩිහිටි අයගේ අපේක්ෂා මුදුන් පමුණුවා ගැනීම සඳහා බාල පරපුර සතු සිතුම් පැතුම්, අපේක්ෂා, හැකියා බිලිදෙන ආකරයයි. මෙම ප්‍රශ්නයට අද දක්වාම අපගේ තරුණ පරපුර මුහුණ දෙමින් සිටී."

නාට්‍යය අවසානයේ ගැයෙන පහත එක ගීය නාට්‍යයේ අරුත මනාව කුළුගන්වන සුලුය.

කෑමට බිමට ඇඳුමට පැලඳුමට

ගෙයට දොරට යාන වාහනයට

තරගයක් නැති ලොවක්

සෑම සම වන ලොවක්

ළඟා කර දෙන්න ගුරුනි, දෙගුරුනි අපට

සහජ දස්කම් අනුව - රුචිය අරුචිය අනුව

වැඩ පුහුණුවන්නට - නිපැයුමෙහි යෙදෙන්නට

සහන ගෙන දෙන ලොවක් - ළඟා කර දෙන්න

ගුරුනි, දෙගුරුනි අපට

මෙම නාට්‍යයේ අන්තර්ගතය මෙන්ම එය ඉදිරිපත් කළ ආකෘතිය ද වැදගත්ය. තාත්වික නාට්‍යයක් වුවත් එය ශෛලිගත ලක්ෂණය දරයි. ගීත, නර්තන ද මෙයට ඇතුළත්ය. සංගීත නිර්මාණයේදී එම්. ආර්. චූලවංශ, ටිලානි අමරසිංහ සමඟ සෝමලතා ද එක්ව ඇත. තිස්ස අබේසේකරගේ පහත එන ප්‍රකාශය මෙහිලා වැදගත්ය.

'විකෘති නාට්‍යයට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණේ එහි අන්තර්ගතය නිසා නොවේ. එහි අපූර්ව ආකෘතිය ද ඒකාකාරී නාට්‍යයන්ගෙන් විඩාපත්ව සිටි රසිකයන්ට අලුත් අත්දැකීමක් විය. නාට්‍යයට වස්තු වූ තරුණ ජිවිතය රිද්මයට උචිත වූ සංගීතමය ආකෘතියක් නිර්මාණය කර ගැනීමේදී මතු වී ආවේ සෝමලතා නිර්මාණ කුසලතාව පමණක් නොවේ. සම්ප්‍රදාය අතික්‍රමණයටත් අත්හදා බැලීමටත් ඇය තුළ වූ නොපැකිළි බව ඉන් ප්‍රකට විය."

'විකෘති' නාට්‍යය මහජනයා හමුවට ඉදිරිපත් වුයේ 1982 දී වුවත් 1979 දී පාඨශාලාන්තර කෙටි නාට්‍ය උළෙල සඳහා ඇය මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විදුහලේ සිසුවියන් සමඟ නිපදවා ඇත.

විකෘතිවලින් පසු සෝමලතා දිගින් දිගම පරිවර්තන හෝ අනුවර්තන නාට්‍ය කෙරෙහි යොමු වූවාය. ඊට එක් හේතුවක් ලෙස අනුමාන කළ හැක්කේ ඇය 'විකෘති' නාට්‍යයෙන් (තම අත්දැකිම් ඔස්සේ) තමන්ට කියන්ට අවශ්‍ය වූ දේ ඕනෑවටත් වඩා උපරිමයෙන් කියා ඇති බවය.

ඩෙඩාන් කිමතිගේ විනිශ්චය (1992) බ්‍රිතාන්‍ය මණ්ඩලය වෙනුවෙන් ඉංග්‍රීසියෙන් නිෂ්පාදනය කරන ලද්දකි. මෙය ලෝක ප්‍රකට කෙන්යානු ලේඛක න්ගුගි වා තියොන්ගේ නාට්‍ය ආචාර්යවරියක වන මිසරේ මුගෝ සමඟ එක්ව ලියූ ඊඅධ්ඒඹ් ර්‍ණජ් ච්ඡ්ච්ඒව් ම්ධ්ර්ඒඊඩ්ධ්) නමැති නාට්‍යයයි. මෙය කෙන්යාවේ ගොවි ජනයාගේ නිදහස් අරගලය පසුබිම් කර ගත්තකි. ඩෙඩාන් කිමති යනු 1952 - 1960 කාලයේදී කෙන්යාවේ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයේ සූරාකෑමට හා දුෂණයට එරෙහිව දැවැන්ත සටනක නිරත වූ සුප්‍රකට මාවු මාවු ව්‍යාපාරයේ ප්‍රබල නායකයෙකි. අධික පීඩනයට හා අවමානයට ලක් වූ අසරණ ගොවි ප්‍රජාව ඒකරාශි වූයේ මේ වීර චරිතය වටාය. බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් මොහු ඝාතනය කරන ලදී. සමන් පුෂ්ප ලියනගේ මෙහි ඩෙඩාන් කිමතිගේ චරිතය රඟපෑවේය.

මෙම නාට්‍යයම සෝමලතා ඊළඟ වසරේදි 'යදම්' නමින් නිෂ්පාදනය කර ඇත. පරිවර්තනය ද සෝමලතාගේමය).

ප්‍රකට අප්‍රිකානු ලේඛක වොලේ සොයින්කාගේ 'ඔපෙරා වොන්යෝසි' නාට්‍යය සෝමලතා කොළඹ සරසවියේ සිසුන් සමඟ එක්ව නිෂ්පාදනය කළාය. මෙය ත්‍රිභාෂා නාට්‍යයක් වීම විශේෂත්වයකි.

'ඇන්ටගනී' (1994) සොමලතාගේ ඊළඟ නාට්‍ය නිෂ්පාදනය විය. එය ග්‍රීක නාට්‍ය රචක සොපොක්ලිස්්ගේ ඉහත නමින්ම යුතු නාට්‍යයේ පරිවර්තනයකි. මෙහි ඇන්ටිගනි ලෙස කෞශල්‍යා ප්‍රනාන්දු රඟපෑ අතර ඇය ඒ වසරේදී මේ රංගනය උදෙසා හොඳම නිළිය ලෙස සම්මාන ද ලැබුවාය.

'මවකගේ සංග්‍රාමය' (1998) බර්්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ ' ද මදර් කරේජ්' නාට්‍යයේ පරිවර්තනයකි. එහිලා හෙන්රි ජයසේනගේම නාට්‍ය පරිවර්තන පෙළ යොදා ගන්නා ලදී. මෙය නිපදවූයේ බ්‍රෙෂ්්ට් ජන්ම සංවත්සරය වෙනුවෙනි.

සෝමලතා චිත්‍රපට නිළියක ද වූවාය. 'මඩොල් දුව', 'සිරිබෝ අයියා', 'වසන්තයේ දවසක්', 'දාහකින් එකෙක්', 'මහගෙදර', 'විරාගය', 'පර සතුරෝ'', මේ මගේ සඳයි' ඇය රඟපෑ චිත්‍රපට කීපයකි.

2013 දී සෝමලතාට දර්ශන සූරී සම්මානය පිරිනැමුණේය.

2016 දී ඇය මෙලොව හැර ගියාය. ඒ සිංහල වේදිකාවට දක්ෂ නාට්‍ය නිෂ්පාදකවරියක මෙන්ම වේදිකා, චිත්‍රපට හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ රංගනයට දක්ෂ දියණියක අප ඉදිරියේ තබමිනි. සෝමලතාගේ හොඳම කෘතිය ඇයයි. ඇය කෞශල්‍යා ප්‍රනාන්දුය.

- සුනිල් මිහිඳුකුල