වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




පළමුව සම්මානය ලැබූ දිනත් අද සිටින තැනත් සිහිපත් වුණා

පළමුව සම්මානය ලැබූ දිනත් අද සිටින තැනත් සිහිපත් වුණා

විශාරද නන්දා මාලිනී

‘රන්මුතු දුව‘ පළවෙනි වරට ප්‍රදර්ශනය වෙත්දි මම ගියා බලන්න. හුඟාක් දෙනෙක් ගීතයට අවධානය යොමු කරනවා කියලා දැනුණා. ඊට පස්සේ මට මතකයක් තියෙනවා ඒ ආසන්නම කාලයක ‘බෙන්තොට තරු පායන දවස’ කියලා ලොකු සංදර්ශනයක් තිබුණා. ඒ සන්දර්ශනයේ මේ ගීතය ගායනා කරන්න මාව එක්කගෙන ගියා මතකයි. බෙන්තොට ගඟ ආශ්‍රිතව තමයි සංවිධානය කරලා තිබුණේ. අලුත්ගම හරියේ ඉඳලා පුදුම සෙනඟක් හිටියේ. සෙනඟ මැද්දේ යන්න බැරුව රේල් පාර දිගේ ගියා මතකයි. එතැනදි ලොකු එනවුන්ස්මන්ට් එකක් දිලා මේ ගීතය මම ගායනා කළා. රන්මුතු දූවට හොඳම ගායිකාව විදියට සම්මාන ගත්තට පස්සේ ලොකු ප්‍රබෝදයක් ඇති වුණා.

හතර වටේටම මහ සෙනඟක්. සෙනඟ හසුරුවන්න පොලීසියෙනුත් ඇවිත්. මහ විශාල යානයක නැඟුණු නළු නිළියන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ලේක්හවුස් මන්දිරය ඉස්සරහ පෙළ ගැහිලා. ගමන ආරම්භ වෙන්නේ රීගල් සිනමා ශාලාව ළඟින්. යානයක් කිව්වට ඒක තරු පිරුණු යානයක්. සිනමාවේ ජනප්‍රියතම තරු ගොන්න ඒක ඇතුළේ. ගාමිණී ෆොන්සේකා, ජීවරාණි, සන්ධ්‍යා කුමාරි ඇතුළු මෙකී නොකී සියලු දෙනා. ඒ මදිවට ඉන්දීය නළු නිළියනුත් ඇවිත්. මඟ දෙපස ජනතාව ඉස්පාසුවක් නැතුව පොර කන්නේ තම හිත දිනාගත් සිහින කුමරා, කුමරිය යම්තමින් හෝ දැක ගන්න. සමහරු උත්සාහ කරන්නේ පොඩ්ඩකට හෝ අතින් අල්ලන්න. මේ සිහින තරු රෑන අතර මං කවුද? වෙලාවකට මට එහෙම හිතුණා. මං කවුරුවත්ම නෙවෙයි නේද? අවුරුදු 18 - 19 ක නිකම්ම නිකං තරුණියක්. මාව දන්නේ කවුද? ඒ වුණාට මටත් මේ රිය පෙරහැරේ ගමන් කරන්න වරමක් ලැබිලා. ඒක එසේ මෙසේ වරමක් නොවෙයි. දැනුයි මට දැනෙන්නේ මං ඉන්නේ අවුරුදු 55 ක් ආපස්සට ගිහින්. තරු පිරි යානයෙන් ආයෙත් මාව කොළඹ නෙළුම් පොකුණේ අති උත්කර්ෂවත් වේදිකාවක් උඩට කැන්දනවා. මේ 33 වැනි සරසවිය සිනමා සම්මාන උලෙළ. පළමුවැනි සරසවිය සිනමා සම්මාන උලෙළේ සම්මාන ලැබූ දැනට ජීවතුන් අතර සිටිනවුන් වෙනුවෙන් පිදෙන ‘අභිමානි’ සරසවිය සම්මානය මගේ දෝතට පිරිනමනවා.

‘පළවෙනි සරසවිය සම්මාන උලෙළ තාමත් මට හීනයක්. සරසවියට අභිමානයක් වූ මෙරට ගායිකා පරපුරේ මුදුන් මල්කඩ නන්දා මාලිනිය පවසනවා. ඈ අපේ සිනමාවට ආඩම්බරයක්. ශ්‍රී ලංකාවට ආඩම්බරයක්. පුරා දශක ගණනාවක් නොසැලී ඉදිරියට යමින් මෙරට සිනමාව වෙනුවෙන් පෙනී සිටින සරසවියට ආඩම්බරයක්.

මීට වසර 55 කට ඉහතදී කොළඹ ග්‍රෑන්ඩ්පාස් අශෝකා සිනමා ශාලාවේදි හිමි කරගත් ප්‍රථම සරසවිය සම්මානයේ සිට සරසවිය සම්මාන 12 ට හිමිකම් කී ඈ සරසවිය ‘අභිමානී’ සම්මානයෙන් හරසර ලබනවා. නෙළුම් පොකුණ රඟහල තුළ සියලු දෙනා නැඟී සිට ඇයට ආචාර පිරිනමනවා. ජීවිතය දිගු සිනමාපටයක් ලෙසින් ඇගේ දෑස තුළම වරින්වර මැවෙනවා.

‘මම රන්මුතු දූව චිත්‍රපටයට ගීත ගායනා කළේ 1962 දි. මං හිතන්නේ සම්මාන උලෙළ පැවැත්වුණේ 1964 දී. ඉතින් 62 ඉඳලා 2016 වෙනකම් බැලුවොත් ගෙවිලා තියෙන්නේ ලොකු කාල පරාසයක්. සරසවිය සම්මානය කියන එක මගේ ජීවිතේට ලොකු අභිමානයක්. ඒ සම්මානය තුළින් තමයි මගේ චරිතය අඳුර ගන්නේ. රන්මුතු දුවේ සින්දු කියනකොට මගේ වයස අවුරුදු 19 යි. මට කිසිම දැනුමක් තේරුමක් තිබුණේ නෑ. ඒ කාලේ මට සම්මානයක් ලැබෙනකොට මෙයා කවුද කියලා හැමෝම හිතන්න ඇති. එදා කිසිම දැනුම් තේරුම් නැති අවදියක පළවෙනි සම්මානය ලැබුණා වගේම ‘අභිමානි’ සම්මානය ලැබෙනකොට මම හුඟාක් වයසින් මුහුකුරා ගිහින්. ක්ෂේත්‍රය ගැන පුළුල් දැනුමක් ඇවිල්ලා. මේ වෙනකොට මම සරසවිය සම්මාන 12 ක් අරගෙනත් තිබෙනවා. ‘අභිමානී’ කියන්නේ මට ලැබුණු 13 වැනි සරසවිය සම්මානය. ඒක මගේ ජීවිතේ පටන්ගත්ත ගමන තවමත් ඒ තැනේ ඉන්නවා කියන්න ලොකු සාක්ෂියක්. ජනතාව මාව පිළි අරගෙන තියෙනවා නේද? දක්ෂතම ගායිකාව විදියට මම තවමත් රැඳිලා ඉන්නවා නේද? කියන අභිමානයක් මේ සම්මානයත් එක්ක මට දැනුණා.

සම්මාන උත්සවයට ඇවිත් ඉඳගත්ත වෙලවේ ඉඳලා මට අතීතය මතක් වුණා. අශෝකා සිනමා ශාලාවේ පළවෙනි සම්මාන උත්සවය තියන කොට මාව කවුරත් අඳුරන්නේ නෑ. මට මතකයි ලේක්හවුස් එක ඉස්සරහ රීගල් සිනමා ශාලාවේ ඉඳලා රිය පෙරහැරකින් අපිව අශෝක සිනමා ශාලාව වෙතට රැගෙන ආවා. ගාමිණී, ජීවරාණී, සන්ධ්‍යා කුමාරි, ජෝ අබේවික්‍රම වැනි නළු නිළියෝ බලන්න සෙනඟ පොරකකා හිටියා මට මතකයි. ඒ අය අතර මම ආධුනික මට්ටමේ පතුළෙම හිටපු කෙනෙක්. සම්මාන උලෙළට පැමිණෙන්න කියලා අපිව දැනුවත් කරලා තිබුණ නිසා ආවා.

මම දැන අඳුනගෙන හිටියේ ඉතාම සීමිත පිරිසක් විතරයි. මානවසිංහ මහත්තයා දැන හඳුනාගෙන හිටියා. ඒ පටිගත කිරීම්වලදී හමුවුණ නිසා. අමරදේව සර්ව, නාරද දිසාසේකරව දැනගෙන හිටියා. එදා සම්මානේ ලැබුණ වෙලාවේ ඡායාරූපයට පෙනී හිටියෙත් මමයි අමරදේව සර්රුයි, නාරද දිසාසේකරයි.

ඒ කාලේ ගීතයක් පටිගත කළේත් හුඟාක් දුක් විඳලා. අද වගේ ට්‍රැක් එකේ නොවෙයිනේ පටිගත කළේ. මට මතකයි රන්මුතු දුවේ ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතය අපි පටිගත කළේ නුගේගොඩ තිබුණු සරසවි ශබ්දාගරයේදී. මර්වින් රොද්‍රිගූ නම් ශබ්ද පරිපාලකවරයා තමයි ගීතය පටිගත කළේ. ගීතයේ පුහුණුවීම් කටයුතු කළේ ශේෂා පලිහක්කාර මහත්තයාගේ ගෙදර. රාජගිරියේ මාදින්නාගොඩ පාරේ කඳු ගැටයක් උඩ ලස්සන ගෙදරක් තිබුණා. ඒ ගෙදර තමයි අපි පුහුණුවීම් කළේ. එතකොට මගේ ගෙදර තිබුණේ කොටහේනේ. මට මතකයි අමරදේව සර් කොටහේනේ අපේ ගෙදරට ඇවිත් මාවත් අරගෙන බස් එකේ යනවා රාජගිරියේ මාදින්නාගොඩ ශේෂාගේ ගෙදරට. ඒ කාලේ වෙනකොට නාරද දිසාසේකර ජනප්‍රියයි. ඔහු ‘චන්දන ඇඟ ගාලා’ ගීයත් ගායනා කරලා ශබ්ද ඉංජිනේරුවෙක් විදියට ගුවන් විදුලි සංස්ථාවේ වැඩ කළේ. අමරදේව සර් මේ ගීතය ගායනා කරන්න මාව තේරා ගත්තේ මම ළමා පිටියේ ගීත ගායනා කරනවා දැකලා. සර් මාව තෝරා ගත්තේ මගේ හැකියාවටයි. දැනහැඳුනුම් කමකට එහෙම නොවෙයි.

අපේ පුහුණුවිම්වලට සෑම වෙලේම මානවසිංහ මහත්මයා ආවා. වචන හදනවා. ආයේ ලියනවා. අමරදේව සර් තනු නිර්මාණය කරනවා. ඔය දේවල් මමත් බලාගෙන ඉන්නවා. මයික් විල්සන් සුදු මහත්තයත් නිතරම මෙතන හිටියා. තිස්ස ලියනසූරියත් හිටියා. ඒ නිසා මේ හැමෝම අතරේ යාළුකමක් ඇති වුණා.

මම පුංචි ළමයෙක් හැටියට ගී සින්දු කියනවා අහන්න බලන්න මානවසිංහ මහත්තයත් කැමැති වුණා. අමරදේව සර්, මයික් විල්සන් ඇතුළු හැමෝම කැමැති වුණා. මේ ගීතය ගයද්දිත් මට කිසිම දැනුමක් තේරුමක් තිබුණේ නෑ. මම ඔහේ හිටියා. මට මතකයි මහ රෑක තමයි පටිගත කිරීම් කළේ. අද වගේ වටපිට ශබ්ද බැහැර කරන්න උපකරණ එදා තිබුණේ නෑනේ. කුරුල්ලෙකුගේ ශබ්දයක් ආවත් ඒකට කරදරයක්. ඒක නිසා ශබ්ද අඩුවෙනකම් රෑ වෙනකම් හිටියා. මේ ගීිතයේ වතුර වගේ ඇහෙන ශබ්ද වාදනය සඳහා වාදන භාණ්ඩයක් ගෙනත් තිබුණා. ඒක නාවික හමුදාවෙන් තමයි ගෙනාවේ කියලා අමරදේව සර් කියනවා මට මතකයි. ඒක වාදනය කරන කෙනා ඇවිල්ලා හිටියෙත් නාවික හමුදාවෙන්. ඒ ඇරෙන්න රොක්සාමි මාස්ටර් හිටියා මතකයි. කේ. නඩරාජා මහත්තයා තමයි තබ්ලා ගැහුවේ. ගීතය පටිගත කරන්න මම මියික්‍රෆෝනය ළඟට ගියාම ඒකට උස මදි. මට මතකයි මර්වින් රොඩ්‍්‍රගු මහත්තයා පොඩි පෙට්ටි කෑල්ලක් ගෙනත් තියලා ඒක උඩට නැඟලා කියන්න කීවා. කොහොම වුණත් ගීතය පටිගත වුණාට පස්සේ හැම දෙනාගේම මූණේ සතුටක් තිබුණා කියලා මට මතකයි.

‘රන්මුතු දුව‘ පළවෙනි වරට ප්‍රදර්ශනය වෙත්දි මම ගියා බලන්න. හුඟාක් දෙනෙක් ගීතයට අවධානය යොමු කරනවා කියලා දැනුණා. ඊට පස්සේ මට මතකයක් තියෙනවා ඒ ආසන්නම කාලයක ‘බෙන්තොට තරු පායන දවස’ කියලා ලොකු සංදර්ශනයක් තිබුණා. ඒ සංදර්ශනයේ මේ ගීතය ගායනා කරන්න මාව එක්කගෙන ගියා මතකයි. බෙන්තොට ගඟ ආශ්‍රිතව තමයි සංවිධානය කරලා තිබුණේ. අලුත්ගම හරියේ ඉඳලා පුදුම සෙනඟක් හිටියේ. සෙනඟ මැද්දේ යන්න බැරුව රේල් පාර දිගේ ගියා මතකයි. එතැනදි ලොකු එනවුන්ස්මන්ට් එකක් දිලා මේ ගීතය මම ගායනා කළා. රන්මුතු දූවට හොඳම ගායිකාව විදියට සම්මාන ගත්තට පස්සේ ලොකු ප්‍රබෝදයක් ඇති වුණා. ඒ කාලේ පෙපර් කටින් බැලුවොත් එක රැයින් ජනප්‍රිය වුණු ගායිකාව කියලා තමයි මාව හඳුන්වලා දීලා තිබුණේ. රන්මුතු දූව චිත්‍රපටය ඒ කාලේ අපූරු නැවුම් චිත්‍රපටයක් වුණා. අපි ඒ කාලේ චිත්‍රපටවලින් අහ අහ හිටියේ ඉන්දියානු ද්‍රවිඩ සංගීතය. අපේ සිංහල චිත්‍රපටවලත් අපට හුඟක් දුරට ඇහුණේ ඒවා. රන්මුතු දූව කරපු සෙරන්ඩිබ් කියන ආයතනය බොහොම දැනුවත් කණ්ඩායමක්. ආතර් සී. ක්ලාක් පවා මේ කණ්ඩායමට ඇතුළත් වුණා. මේ අයට ඕනෑ වුණේ අලුත්ම දෙයක් ගේන්න. මයික් විල්සන්, තිස්ස ලියනසූරිය, ශේෂ පලිහක්කාර, ආතර් සී. ක්ලාක් මේ ඔක්කොම එකතු වෙලා සුවිශේෂ චිත්‍රපටයක් කළා. ඒ වගේම ඔවුන්ට ඕන කළා සංගීතය පැත්තෙන් සුවිශේෂී වෙනසක් මේ චිත්‍රපටයෙන් කරන්න. තේමා වාදනයක් කියන එක පළමුවරට චිත්‍රපටකට ගෙනත් තියෙන්නේ රන්මුතු දුවෙන්. මේක ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටය. ඒ වගේම තමයි අමරදේව සර්ට ලැබුණු පළවෙනි චිත්‍රපටය. මානවසිංහ මහත්මයාගේ වචන. මගේ පළවෙනි ගායනය. එදා සම්මාන උලෙළේදී සංගීතය පැත්තට අයිති සියලුම සම්මාන දිනා ගත්තේ ‘රන්මුතු දුව‘. ඒකයි මම කියන්නේ මේ චිත්‍රපටය එතෙක් තිබුණු සිනමා ගමන් මඟ උඩු යටිකුරු කළ චිත්‍රපටයක් වු බව. ඒක විවිධ විද්වතුන්ගෙන් සාකච්ඡාවට භාජනය වෙලා තිබෙනවා. අනිත් විශේෂ කරුණ තමයි ගාමිණී, ජීවරාණිගේ සුවිශේෂ රඟපෑම්. ඒකත් සුවිශේෂ සලකුණක් තබන්නට හේතු වූ කරුණක්.

මේ අතීත දිවියට අවුරුදු 55 ක් ගත වූ තැන තමයි පළමු සම්මාන උලෙළ සිහිපත් කරලා සරසවිය අභිමානී සම්මානය මට හිමි වුණේ. වේදිකාව මතදී සම්මානය අතට ගන්න කොට මට ලොකු සතුටක් දැනුණා මෙවැනිම සම්මානයක ඇරඹුමින් තමයි මගේ ගමන පටන් ගත්තේ. ඒ ගමනේ අද මම ඉන්න තැන ගැන මෙනෙහි වෙන කොට ඒ සම්මානය ගැන අප්‍රමාණ ගෞරවයක් භක්තියක් හිතේ ඇති වෙනවා.

ගායන ශිල්පිනියකට ලබන්න පුළුවන් ඉහළම ජන සම්මානය මම ලබලා තියෙනවා. සිනමා ක්ෂේත්‍රය ගැන වර්තමාන කාල සීමාවේ හිතා බලනවා නම් ඉතාම දක්ෂ තරුණ නිර්මාණකරුවෝ අප අතරේ ඉන්නවා. චිත්‍රපට ගීත ක්ෂේත්‍රය ගත්තත් නිර්මාණ බිහි නොවනවා නොවෙයි. මම පහුගිය කාලේ විතරක් චිත්‍රපට 5 ට පසුබිම් ගීත ගායනා කළා. අපිව සම්බන්ධ කරගන්න පුළුවන් එවැනි නිර්මාණ බිහි වෙනවා කියන එකත් ලොකු සතුටක්. චිත්‍රපට ගීතයක් ගායනා කිරීම සුවිශේෂී දෙයක්. ඒක ඒ අවස්ථාවට, චරිතයට, කතාවට සුදුසු දෙයක් වෙන්න ඕනෑ. මට මතකයි මම සුදු සෙවණැලි චිත්‍රපටයට ගායනා කළේ කවි. ඊට කලින් ‘සිරිබෝ අයියා’ චිත්‍රපටයට කවි ගායනා කළා. ‘සැඩොල් කඳුළු’ චිත්‍රපයට කවි ගායනා කළා. ඒවට සම්මානත් ලැබුණා. ඊට පස්සේ මට මතකයි උප්පලවණ්ණා චිත්‍රපටයට කවි ගායනා කළා. මේ හැම එකක්ම ඒ අවස්ථාව දර්ශන පිළිබද අවබෝධයකින් යුතුව කරපු භාවාත්මක ගායනා. මෙවැනි අවස්ථා ගායන ශිල්පිනියකුට ලැබෙන දුර්ලභ වරප්‍රසාද. අදටත් අපෙන් වැඩක් ගන්න හැකි චිත්‍රපට නිර්මාණය වෙනවා නම් ඒත් එක්ක වැඩ කරන්න අපිත් බොහොම කැමැත්තෙන් ඉන්නවා.