වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




සිග්නිස් සම්මාන සඳහා නිර්මාණ බාර ගැනේ විලේගොඩ විචාර තරඟය මෙවරත්

සිග්නිස් සම්මාන සඳහා නිර්මාණ බාර ගැනේ විලේගොඩ විචාර තරඟය මෙවරත්

සිග්නිස් ශ්‍රී ලංකා ආයතනය මඟින් සිනමා සහ ටෙලි නාට්‍ය නිර්මාණ ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන සිග්නිස් උත්තමාචාර උලෙළෙහි 2017 වසර සඳහා නිර්මාණ බාර ගැනීම මේ දිනවලදී සිදු වේ. මෙවර ඒ සඳහා සලකා බලනුයේ 2016 වසරේ තිරගත වූ චිත්‍රපට සහ 2016 දෙසැම්බර් 31 වැනිදාට පෙර විකාශය නිම කළ කොටස් 100 ට නොවැඩි ප්‍රසාංගික ටෙලි නාට්‍යයන්ය. සිය නිර්මාණ උලෙළට ඉදිරපත් කිරිම සඳහා වන අයදුම්පත අංක 19, බැල්කම් පෙදෙස, බොරැල්ල යන ලිපිනයෙහි ඇති සිග්නීස් කාර්යාලයෙන් ලබා ගත හැකිය. එමෙන්ම ටෙලි සිනමා නිර්මාණයන් ච්ඍච් මාධ්‍යයෙන් අප්‍රේල් 30 වැනිදාට ප්‍රථම එම කාර්යාලයට ගෙනවිත් බාරදිය යුතුය. මෙයට සමගාමීව සිග්නීස් උත්තමාචාර උලෙළේ ජයවිලාල් විලේගොඩ ආධුනික සිනමා විචාර තරගයට විචාරයන් ද බාර ගැනේ. මෙවර මාතෘකාව වනුයේ දේශජ සිනමා ආත්මය, ස්වකීය නිර්මාණ පෙළහරින් විශ්ව තලයට ඔසවාලු ලොව වෘධතම අසහාය සිනමා ප්‍රාඥයා - ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස්ය. එකී මාකෘකාව යටතේ වචන 3000 ට සීමා වු විචාරයන් මෙම මස 30 දිනට ප්‍රථම සිග්නිස් ශ්‍රී ලංකා කාර්යාලයට ගෙනවිත් බාරදිය යුතුය.


ගිනිදඬුදුන්න ටී.එන්.එල්

රිහාන් රවීන්ද්‍ර අධ්‍යක්ෂණය කළ ගිනි දඬුදුන්න ටෙලි සිතුවම එළඹෙන අපේ‍්‍රල් මස 08 වැනිදා සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 7.30ට ටී.එන්.එල්. නාලිකාවේ විකාශය වේ. දිලිප් මනෝහර, පූජන දන්දෙනිය, චන්දිමා කරුණාරත්න, රොෂාන් විමලසේන, චාපා නිමන්ති, පවිත්‍රා වික්‍රමසිංහ, රවීන්ද්‍ර කෝදාගොඩ, උදයශාන්ත ලියනගේ ඇතුළු පිරිස මෙහි රංගනයේ යෙදෙති. රෝඩී ගමක් වටා ගෙතුණු කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ ගිනිදඩුදුන්න චාන්දනී පි‍්‍රයංකාගේ නිෂ්පාදනයකි. සංස්කරණය අසුන් මල්වත්තගෙනි.


විජය කුමාරතුංග අනුස්මරණ සහෘද කලා පදනම වයඹ පළාතටත්

රංගන ශිල්පී අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චි සභාපති ධුරය දරන 'විජය කුමාරතුංග අනුස්මරණ සහෘද කලා පදනම' (වයඹ පළාත් ශාඛාව) ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත. ජනප්‍රිය රංගන ශිල්පියකු මෙන්ම දේශපාලනඥයකු හා මානව හිතවාදියකු වූ මියගිය විජය කුමාරතුංගයන්ට ආදරය කරන ඔහුගේ කලා නිර්මාණ අගය කරන වයඹ පළාතේ විසිර සිටින රසික රසිකාවන් හා කලාකරුවන් එක්රැස් කරමින් පිහිටුවීමට යන මේ පදනම පිළිබඳ විස්තර හා තොරතුරු ලබා ගැනීමට 072-3945721, 077-3863016 යන දුරකථන යන අංකවලට හර්ෂන අමතන්න.


ජනාධිපති සම්මාන උලෙළ ගැන

සුනිල් ෆොන්සේකා අදහස් දක්වයි

පසුගිය 31 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජනාධිපති සම්මාන උලෙළට සහභාගි වූ කලාකරුවන්, මැති - ඇමතිවරුන් අතර චිත්‍රපට නිෂ්පාදක, ස්වර්ණ සංඛ පදනමේ සභාපති සුනිල් ෆොන්සේකා ද විය. මේ උලෙළ ආරම්භක මොහොතේ සිට අවසාන වනතුරු එහි සිටි ඔහු ඒ උලෙළ සංවිධායක වී තිබූ අයුරු දැක බෙහෙවින් සත්ටට පත්විය. එතැනින් නොනැවතුණු හේ ඒ පිළිබඳ සිය අදහසක සරසවිය පුවතපතට ලියා එවන ලද්දේ මෙසේයි.

"1979 වසරේ ආරම්භ කරන ලද ජනාධිපති සම්මාන උලෙළ මා දන්නා පරිදි දේශපාලන කතා ඇතුළත්ව පවත් වන ලදී. එහෙත් 2017 මාර්තු 31 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජනාධිපති සම්මාන උලෙළ මෙවර කිසිදු දේශපාලන කතාවකින් තොරව පැවැත්විණි. එය පැය දෙක හමාරක් වැනි කාලයක් ඇතුළත ප්‍රේක්ෂකයන්ට වෙහෙසකාරී නොවන අයුරින් නියමාකාරයෙන් උලෙළ විඳීමට ඉඩ සලස්වන ලදී. එවැනි සම්මාන උලෙළක් පැවැත් වීම ගැන ජනාධිපතිතුමාට, අමාත්‍යතුමාට, නියෝජ්‍ය අමාත්‍යතුමාට සහ සභාපතිතුමාට හෘදයාංගම ස්තුතිය පුද කරමි."


හේමන්තයේ ගීතයක් ප්‍රසංගය අතුරුගිරියේ

නවපරපුරේ ගායන ශිල්පියකු වන විපුල හේමන්ත ඉදිරිපත් කරන 'හේමන්තයේ ගීතයක්' සංගීත ප්‍රසංගය මේ මස 09 වැනිදා අතුරුගිරිය ශාන්ත ලෝක ගම ක්‍රීඩාංගණයේදී පසුවරු 7.00ට පැවැත්වෙයි.

මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ ශිෂ්‍යයකු වන විපුල හේමන්ත එදින ඔහුගේ ස්ව නිර්මාණ රැගත් ගීත කිහිපයක් ම ගායනා කිරීමට නියමිත ය. එහිදි මහාචාර්ය සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි, නන්දා පතිරණ, චන්දන හෙට්ටිආරච්චි, කුමාර තිරිමාදුර, මුතු තරංගා, පියුමි බොතේජු, අංජුලා රාජපක්ෂ, යන ශිල්පීන් හා ශිල්පිනියන් ගයන මියුරු ගීතාවලියකින් විලත්ගමුව සැරසෙයි. බත්තරමුල්ල රශ්මී සංගීත කණ්ඩායමේ රසාලිප්ත සංගීතයෙන් හැඩගැන්වෙන මේ ප්‍රසංගය හෝමාගම රේන්බෝ නර්තන කණ්ඩායමේ නෙත්කලු නර්තනයෙන් වඩාත් සුන්දර වෙයි.සම්බන්ධීකරණය චන්ද්‍රලාල් තේවහෙට්ටිගේ විසිනි.


හෙන්රි ප්‍රියශාන්තගෙන් ‘රිදී තිරය ඔප කළ තරු’ කෘතිය පාඨක අතට

ලේඛකයකු, ඡායාරූප ශිල්පියකු මෙන්ම ඉතා වැරවෑයමෙන් ජනමාධ්‍යවේදියකු ලෙස සිය වෘත්තීය ජීවිතය ගොඩනඟා ගත් හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස්ගේ 'රිදී තිරය ඔප කළ තරු' කෘතිය දිවයින ඉරිදා සංග්‍රහයේ 'මීවිත' අතිරේකයේ පළ වූ රසවත් ලිපි පෙළක එකතුවකි. දශක පහකටත් වැඩි කාලයක් අපේ රටේ කලාකරුවන් වෙනුවෙන් උදාර මෙහෙවරක නිරත වූ ඔහු‍ගේ මේ කෘතිය සඳහා කලා ලොවේ වසන විවිධ ක්ෂේත්‍රවලට අයත් ශිල්පින් හා ශිල්පිනියන් පනස් හයදෙනෙකුගේ තොරතුරු ඇළත්ව ඇත. ඒ අතර ශාන්ති අබේසේකර, ශ්‍රීලා පීරිස්, ලැටීෂියා පීරිස් , උදුලා දාබරේ, ක්ලැරිස් ද සිල්වා, එඩ්නා සුගතපාල, අයිරාංගනී සේරසිංහ, එම්. වී. බාලන්, සුගතපාල සෙනරත් යාපා, ත්‍යාලා එන්. එඩ්වඩ්, පෝල් පීරිස්, මියුරි සමරසිංහ, සොමී රත්නායක, ස්ටැන්ලි පෙරේරා, නිහාල් නෙල්සන්, තලතා ගුණසේකර, අමරසිරි කලංසූරිය, ෂෙල්ටන් ප්‍රේමරත්න, ක්‍රිස්ටෝපර් පෝල්, තිස්ස ලියනසූරිය යන කලාකරුවෝ සිටිති.

50 දහකයේ සිට නළු නිළියන්ගේ ජීවිත විස්තර පාඨකයන් වෙතට ඉදිරිපත් කරන හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස් ලියන ලද සමහර ලිපි මඟින් විවිධ ගැටලුවලට පත්ව සිටි කලාකරුවන් රැසකට ම යම් විසඳුමක් ලැබී තිබෙන අතර ඔහු 'ලංකා චලන චිත්‍ර', 'විසිතුර', 'පියකරු', 'සුරතුර', 'සිත්සර' යන සිනමා පුවත්පත් රැසකට ම ලිපි ලියූ ලේඛකයෙකි.


කිරි ඉතිරෙන කොවුල් ගී සර

සිංහල දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අවුරුදු ගීත 50 ක් ඇතුළත් කිරි ඉතිරෙන කොවුල් ගී සර නමැති ගී තැටිය සහ ගීත පොත දැන් නිකුත් වී ඇත. එච්. ආර්. ජෝතිපාල, මොහිදින් බෙග්, ලතා වල්පොල, ඇන්ජලින් ගුණතිලක, මිල්ටන් පෙරේරා, සුජාතා අත්තනායක, විජය කුමාරතුංග, ඩෙස්මන්ඩ් ද සිල්වා, පුන්සිරි සොයිසා, රූපා ඉන්දුමතී සහ චන්ද්‍රලේඛා පෙරේරා ගැයූ අවුරුදු ගීතයන් මෙයට ඇතුළත්ව ඇත. ගී තැටිය සහ ගීත පොත හි ප්‍රකාශනය සහ නිෂ්පාදනය ඩබ්ලිව්. ජයසේන ද අල්විස්ගෙනි. ග්‍රන්ථයෙහි සංස්කරණය රූපසේන සිල්වා විසිනි. ප්‍රේම් දිසානායක කවරය නිර්මාණය කොට ඇත.


ආර්.ආර්. සමරකෝන්ගේ

සුන්දරා එළිදකියි

රාජ්‍ය සම්මානලාභී නාට්‍යකරුවකු මෙන්ම ලේඛකයකු වූ ආර්. ආර් සමරකෝන් ලියූ 'සුන්දරා' නවකතාවේ නවතම මුද්‍රණය මේ මස 11 වැනිදා මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්‍රදර්ශනාගාරයේදී එළිදකියි.


හුටපට වීදිය එළිදකියි

ගුණරත්න ඒකනායකගේ නවකතා මාලාවේ අලුත්ම කෘතිය 'හුටපට වීදිය' මේ මස 06 වැනිදා පස්වරු 9.30ට සොයිසාපුර නිපුන් පොත් මැදුරේදී එළිදකියි.


නිව්ටන් ගුණසේකරගෙන් ගලන ගඟ මනරම්

ප්‍රවීණ ලේඛක නිව්ටන් ගුණසේකර ලීයූ සත්‍යවාදී මිනිසකුගේ හද ගැස්ම 'ගලන ගඟ මනරම්' කෘතිය පසුගියදා එළිදැක්විණි.


සඳකි මම අහසට පෙම් බැඳ

රසාංගිකා සුමුදු කුමාරිගේ 'සඳකි මම අහසට පෙම් බැඳී' කෘතිය නිසදැස් සමූහයක එකතුවකි. මේ නිසදැස් ඔස්සේ ආදරයේ සොඳුරු බලාපොරොත්තු මෙන්ම විරහ වේදනාවන් ද සියුම්ව කිවියට මුසු කර ගැනීමට කිවිඳීය සමක් වී ඇත.


බලකොටුව දෙදරයි

'ලෑන්ඩ් අ හෑන්ඩ් ටු මර්ඩර්' යන ජෝන් ක්‍රීසි විසින් මයිකල් හැලිඩේ යන අන්වර්ථ නාමයෙන් ලියන ලද ත්‍රාසය හා කුතුහලය කැටිකර ගත් නවකතාවකි. 'බලකොටුව දෙදරයි' ලෙසින් ඔබ අතට පත්වන්නේ එහි පරිවර්තනයයි. පළපුරුදු කෘතහස්ත ලේඛකයකු වන රංජිත් ඉල්ලුපිටිය පරිවර්තනය කරන ලද මේ කෘතිය නිර්මාණශීලී ප්‍රයත්නයකි.