දැන් මම 7 : 1

සැප්තැම්බර් 26, 2018

මෙවර සරසවිය සම්මාන උලෙළේ දී හොඳම ශබ්ද පරිපාලනය 2016 වසර සඳහා සම්මානනීය වූයේ සරිගම චිත්‍රපටයේ ශබ්ද පරිපාලනය සිදු කළ අරුණ ප්‍රියන්ත කළුආරච්චියි. දෙවන වතාවට ද සරසවිය සම්මාන උලෙළකින් සම්මානනීයවීමට වාසනාව ලද මේ කලාකරුවා ඔහු ලද සම්මානයේ සතුට අප සමඟ බෙදාහදා ගත් අයුරුයි මේ.

 

හොඳම ශබ්ද පරිපාලකයා ලෙස ඔබට ලැබුණු සම්මානය ගැන මෙකද හිතෙන්නේ?

මාව මේ විදිහට ඇගයීමට ලක් කිරීම පිළිබඳව සරසවියට හුඟක්ම ස්තුතිවන්ත වෙනවා. මේ විදිහට සම්මාන උලෙළක් පවත්වා ක්ෂේත්‍රයේ ශිල්පීන් ඇගයුමට ලක් කිරීම ඉතාම ප්‍රශස්ත වැඩක්. මොකද මේ ක්ෂේත්‍රයේ නියැලිලා ඉන්න අපිට මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න අත්වැලක් වගේම එය අපේ නිර්මාණ ජීවිතයට විශාල තෘප්තියක්. එවිට තමයි කලා කෘතියක් වුණත් අපිට සතුටින් තව තවත් විශිෂ්ට ලෙස කරන්නට ඉඩ ප්‍රස්තා ලැබෙන්නේ.

සරසවිය සම්මාන උලෙළකින් මේ ඔබ ලබාගත් දෙවන සම්මානය?

ඔව්. සරසවිය මුල්ම සම්මානය මට හිමි වුණේ පසුගිය 2016 වසරේ පැවැති සම්මාන උලෙළින්. ඒ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා අධ්‍යක්ෂණය කළ 'මහරජ ගැමුණු' චිත්‍රපටය වෙනුවෙන්. සරසවිය දෙවන සම්මානය හිමි වුණේ සෝමරත්න දිසානායක මහතාගේ 'සරිගම' චිත්‍රපටයේ ශබ්ද පරිපාලනය වෙනුවෙන්.

ඔබ මේ ක්ෂේත්‍රයට අත් පොත් තබන්නේ?

මීට වසර දහයකට පහළොවකට පමණ පෙරාතුවයි මම මේ ක්ෂේත්‍රයට එක්කාසු වුණේ. ඒ TVT ආයතනය ඔස්සේයි. මම මුලින්ම TVT ආයතනයට එකතු වෙලා එහි අධ්‍යක්ෂක රවීන්ද්‍ර ගුරුගේ මහතා යටතේ මේ පිළිබඳව හදාරන්න කටයුතු කළා. ඔහු ඇසුරේ ශබ්ද පරිපාලන කටයුතු පිළිබඳ අධ්‍යයනය කරමින් දැනුම ලබා ගත්තා. අදටත් TVT ආයතනයේ තමයි සේවය කරන්නේ. ඒ වගේම චිත්‍රපට ක්ෂේත්‍රයට යොමු වෙන්නට මට අත්වැලක් වුණා කාලිංග ගිහාන් පෙරේරා. ඔහු සම්මානලාභියෙක්. ඔහුගෙන් ලැබුණු දැනුමත් මෙහිදී මම සිහිපත් කළ යුතුමයි.

මේ ක්ෂේත්‍රයට එකතුවීම ගැන මොකද හිතෙන්නේ?

ලොකු සතුටක් දැනෙනවා. විවිධ නිර්මාණකරුවන් අපට හමුවෙනවා. මේ අයගේ නිර්මාණ ඔස්සේ අත්දැකීම් ලබමින් වැඩ කිරීමත් එක්ක තමයි ශබ්ද පරිපාලන අංශයෙන් මට මේ පළපුරුද්ද ලැබී තිබෙන්නේ. වැඩි චිත්‍රපට ප්‍රමාණයක වැඩ කිරීම තුළ ඔවුන්ගේ දැනුම අනුව ඔවුන් සමඟ කටයුතු කිරීමෙන් බොහෝ දේ ඉගෙන ගන්නට මේ කලාව තුළ ඉඩ ප්‍රස්තා ලැබෙනවා.

ඔබ දායක වූ සිනමා නිර්මාණ නරඹත් දී ඒවායේ ශ්‍රව්‍ය ප්‍රයෝග ගැන මොකද හිතෙන්නේ?

සමහර වෙලාවට චිත්‍රපටයක් කරලා සිනමා ශාලාවක එය නරඹද්දී මට හිතෙනවා මේක මෙහෙම වුණා නම් හොඳයි නේද? තව මට මේ දේවල් එක්කාසු කරන්න තිබුණා නේද කියලා. ඒවා ගැන නිතරම අවධානයෙන් ඉඳලා ඊළඟ චිත්‍රපටයේදී ඒ දේවල් හදා ගන්නවා.

ශබ්ද පරිපාලනයෙන් ඔබ ලැබූ පළමු සම්මානය මතකද?

මම තනිවම දායක වුණු පළමු සිනමා නිර්මාණයටම මට සම්මානයක් හිමි වුණා. ඒ 2011 වසරේ ඕ. සී. අයි. සී. සම්මාන උලෙළින් බඹර වළල්ල චිත්‍රපටය සඳහා. ඊට අමතරව 'සුළං කිරිල්ලී' වගේ චිත්‍රපට බහුතරයක සහාය ශබ්ද පරිපාලක ලෙස මම කටයුතු කළා. ඒ අත්දැකීම් මගේ වෘත්තීය දිවියට විශාල ආලෝකයක් වුණා.

ශබ්ද පරිපාලකයාට සිනමා නිර්මාණයකදී පැවරෙන කාර්ය භාරය අභියෝගාත්මකයි නේද?

ඔව්. සිනමා නිර්මාණයකදී අපිට හම්බ වෙන්නේ නිකං පින්තූරයක්. ඒ පින්තූරයේ එයට අවශ්‍ය සියලුම ශබ්ද අපි නැවත අලුතින්ම සැකසිය යුතුයි. හඬ කැවීමේ සිට අලුතින්ම ශබ්ද පටයක් නිර්මාණය කළ යුතුයි. එය විශාල අභියෝගයක්. ඒ වගේම බොහොම කාලයක් ගත වෙන දෙයක්. හැම ශබ්දයක්ම එයට ඇතුළත් කරන්න ඕන. රෙකෝඩින් කරන්න ඕන දින විසි පහක් තිහක්. ඒ කියන්නේ මාසෙක පමණ කාලයක් ගත වෙනවා. චිත්‍රපටයක ශබ්ද පරිපාලන කටයුතු නිම කරන්නට එය අමාරු කාර්යයක්.

ඔබ ටෙලි නාට්‍ය සඳහා දායක වෙලා තිබෙනවාද?

ශබ්ද පරිපාලනය ඔස්සේ කිසිම ටෙලි නාට්‍යයකට මම දායක වෙලා නැහැ. චිත්‍රපට සඳහා විතරයි තවම මගේ දායකත්වය ලබා දුන්නේ.

ශබ්ද පරිපාලනය කරත්දී අසීරු අවස්ථාවලට ඔබ මුහුණ දී නැත්ද?

එවැනි අසීරු අවස්ථාවලට අනන්තවත් මුහුණ දී තිබෙනවා. අපි දායක වන සිනමා නිර්මාණය සාමුහික ප්‍රයත්නයක්. මූලික වශයෙන්ම අපිට භාරදෙන කාර්යයෙන් අපි උපරිමයෙන්ම එහි අධ්‍යක්ෂවරයා සතුටු කළ යුතුයි. ශබ්ද පරිපාලනයෙන් ඔහු සෑහීමකට පත් කළ යුතුයි. එවන් අවස්ථාවලදී යම් යම් ගැටලුවලට මුහුණ පෑවත් හැකි උපරිමයෙන් චිත්‍රපටයට සාධාරණය ඉටු කරන්නට අපි වග බලා ගන්නවා. අපි අත්දැකීම් ලබමින් තමයි අපේ කාර්යය වැඩි දියුණු කරගන්නේ. ඒ ඔස්සේ තමයි අපේ දැනුම මුවහත් වෙන්නේ.

සරිගම චිත්‍රපටය ගැන කතා කළොත් එහි විශේෂත්වය ඔබට දැනුණේ කොහොමද?

ශබ්ද පරිපාලනය පැත්තෙන් ගත්තොත් 'සරිගම' චිත්‍රපටයේ විශේෂත්වය තමයි එය සංගීතය වැඩි වශයෙන්ම පාදක කරගත් චිත්‍රපටයක්. සංගීතය පැත්තෙන් වැඩි යමක් එයට කරන්නට මට සිදු වුණා. දවස් 25 ක් වගේ කාලයක් මෙහි ශබ්ද පරිපාලන කටයුතු උදෙසා මට වැය වුණා. එලෙස කැපවීමක් කළ චිත්‍රපටයකින් මෙවැනි සම්මානයක් ලැබීම ලොකු සතුටක්.

කලාකරුවනට සමාජයෙන් ලැබෙන පිළිගැනීම ගැන ඔබේ අදහස?

කලා ලෝකයේදී අපිට සම්මාන ලැබෙනවා. මේ වන විට මටත් සම්මාන 10 ක් හොඳම ශබ්ද පරිපාලනය වෙනුවෙන් හිමි වී තිබෙනවා. එවැනි සම්මානනීය කලාකරුවන්ට රටක් ඇතුළේ තියෙන්න ඕනෑ මොනවාද, එයා ලැබිය යුතු දේවල් මොනවද කියන එක ගැන සමාජයට අවබෝධයක් අවශ්‍යයි. නැතුව සම්මාන ලැබූ අයත් නොලැබූ අයත් එක මට්ටමකට දාන්න බැහැ. ඔවුනට යම් පිළිගැනීමක් වටිනාකමක් සමාජයෙන් ලැබිය යුතුයි.

ඔබේ පෞද්ගලික ජීවිතය ගැනත් කතා කරමු?

මගේ පියා චන්ද්‍රදාස කළුආරච්චි. ඔහු ගුරුවරයෙක්. අද ජීවතුන් අතර නැහැ. මව ආර්. දසනායක. බිරිය චම්පිකා. ඇය ගුරුවරියක්. දරුවන් දෙදෙනයි. ඔවුන් තවම පාසල් යනවා. ගෙදර සියලු වැඩ කටයුතු බලා කියාගෙන මේ රැකියාව වෙනුවෙන් බිරිය මට විශාල සහයෝගයක් ලබා දෙනවා.

ඔබේ අනාගත බලාපොරොත්තු?

අලුත් තාක්ෂණයත් එක්ක ශබ්ද පරිපාලන කටයුතුවලින් ඉදිරියටම යන්නයි බලාපොරොත්තුව. අද වනවිට සෙවන් පොයින්ට් වන් තාක්ෂණය සහිත ස්ටුඩියෝවක් අපිට තිබෙනවා. අපි වැඩ කරන්නේ 7.1 තාක්ෂණය ඔස්සේයි. එදා වැඩ කළේ 5.1 වලින්. දැන් මේ නිසා චිත්‍රපට හඬ කවන්න ඉන්දියාවට යන්න ඕන නැහැ. ලංකාවේ ඉඳන්ම චිත්‍රපටයක ඉධභදඤ සම්පූර්ණ කරන්න පුළුවන්. මේ වන විට මම චිත්‍රපට පනහකට වැඩි ගණනකට දායක වී තිබෙනවා. අපි තාක්ෂණයෙන් කොතරම් ඉදිරියට ගියත් වැඩක් නැහැ. ඊට සමගාමීව චිත්‍රපට ශාලාත් තාක්ෂණයෙන් ඉදිරියට යන්න ඕන. මොකද අපේ අතින් නිර්මාණය වන චිත්‍රපටය තිරගත වෙන ශාලාව හොඳ නම් තමයි චිත්‍රපටයේ ශබ්දය හොඳින් පවතින්නේ. අපි වගේම චිත්‍රපට ශාලාත් අප්ඩේට් විය යුතුයි.

ශබ්ද පරිපාලන ක්ෂේත්‍රයට එක් වීමට සිටින නවකයනට ඔබ දෙන පණිවිඩය?

මේ වෘත්තිය ඉතාම කැපවීමකින් කළ යුතු වැඩක්. හරිම අමාරු කාර්යයක්. හොඳ කට්ටක් කන්න වෙනවා. නිදිමරාගෙන වැඩ කරන්නට පුරුදු වෙන්න අවශ්‍යයි. නැත්නම් අපට ලැබෙන චිත්‍රපට ප්‍රමාණය අනුව එය නිම කරන්න අපහසු වෙනවා.